වයස සීයේ නූතනයා

“පුතා දැන් ඔයාට හොඳ ‘ නවයුගය’ පත්තරේ ” .
‘මිහිර ‘.පුවත් පතෙහි පාඨකයකුව සිටි මට ‘ නවයුගය’ පුවත් පත හඳුන්වා දුන්නේ , රඹුක්කන පුවත් පත් ඒජන්තවරයාය .
එකල නවයුගයේ පළ වූ
“පුංචි ළිඳේ වතුර රසයි .” වැනි මාලා ලිපි අපේ යුගයේ ඇත්තන්ගේ මතකයේ තවමත් තැන්පත්ව ඇත්තේ ඒවා රසවත් තරමටම හරවත්ද වූ බැවිනි .පුංචි ළිඳේ වතුර රසයි යනු කුරුම්බාව හෙවත් වෑවරයට තේරවිල්ලකි .එය ලිපිමාලාවකට නමක් සේ යොදා ගැනීමම ආශ්චර්යවත් ක්‍රියාවකි .අද වෙනත් පත්තරවල නම් කියමින් ඇවිදින අ⁣ප වැන්නන්ට පුවත් ශීර්ෂපාඨවල සුවඳ දැනෙන්නට ඇත්තේ එවැනි ⁣ලෝගෝ වලින් වන්නට ඇතැයි දැන් මම කල්පනා කරමි . ‘ දුක දිනා ජයගත් හපන්නු.’ යනු ද එවැනි තවත් මාලා ලිපිකි . එකල නවයුගය යනු රස අර්ථ ගුලාවකි .ඇතැම් විදෙස් ලේඛකයන් අපට මුල් වරට මුණගැස්වූයේ නවයුගයයි . අපට කවි කෙටිකතා හුරුකළේ නවයුගයයි . ඒ දැවැන්ත කටයුත්ත මෙහෙයවූ මහා බලය එඩ්වින් ආරියදාසයන් බව මා දැනගත්තේ , නවලිය තරුණි වැනි පුවත් පත්වල කවි කෙටි කතා ලියා , නවසරණ සීදේවි පුවත් පත්ද කියවා පත්තර කන්තෝරුවල රැකියාවට ගියාටත් පසුවය .
එතෙක් මගේ සිතෙහි සිටි ආරියදාස මහතා විදෙස් තොරතුරු විග්‍රහ කරන්නෙකි .
එකල මා රූපවාහිනී පාඨමාලාවක සිසුවෙකි . එදින දේශනය සිනමාව සම්බන්ධයෙනි . දේශකයා දෙපැත්තෙන් කැපූ අත් කොට කමිස⁣යකින් සහ කලිසමකින් සැරසුණු තලතුනා මහතෙකි .
” ජපානයේ තියෙනව ‘කැරොකේ ‘ කියල කලාවක් , කැරොකේ එක්ක ඕන කෙනෙකුට ලේසියෙන් ගායනා කරන්න පුළුවනි .”
දෙසුම අතරතුර දේශකයා කීවේය . ලංකාවේ ජනතාව කැරොකේ නම ඇසුවේත් ඔහු අපට ඒගැන කියා අවම වසර පහ හයකට පමණ පසුව වන්නට පුළුවන .
එදින ඒ දේශකයා අප ඉදිරියේ ‘ජුරාසික් පාර්ක් ‘ චිත්‍රපටයයද ප්‍රදර්ශනය කළේය . චිත්‍රපටය පෙන්වූවා පමණක් නොව එය නිපදවන්නට බලපෑ කාරණය චිත්‍රපටයේ තාක්ෂණික උපක්‍රම ආදියද ඔහුගේ දෙසුමට අඩංගු විය .එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාර්ථක දෙසුමකි .දේශකයා ගේ නම එඩ්වින් ආරියදාස . ජුරාසික් පාර්ක් මෙරට ප්‍රදර්ශනය කෙරුණේ ඔහු අපට එය නරඹන්නට සලස්වා වසර පහකට පමණ පසුවය .ආරියදාස මහතාගේ බුද්ධි ප්‍රභාව විදෙස් විත්තිවලට පමණක් කොටු වූවක් නොවන බව මට දැණුනේ එදිනය .
දිනමිණ විශේෂාංග මුල් පුටුවේ මා සිටි මුල්වතාවේ දිනෙක කාර්යාල දුරකතනයට ඇමතුමකි .
” මම ඩොක්ටර් එඩ්වින් ආරියදාස කතා කරන්නේ ‘.
“ඔව් සර් ” මම කීවෙමි .
” මටවිශේෂාංග කර්තෘ තුමාට කතා කරන්න ඕන . ” .
ඒ මහතාගේ නිහතමානීකමේ මහත මා මුලින්ම හඳුනාගත්තේ එදිනය .
ඉන් පසුව වරක් දෙවරක් ඔහු දිනමිණ විශේෂාංග අංශයටත් ආවේය . ඒ තනිව නොව කවුරු හෝ ආධුනිකයකුද සමඟය .ඒ ඔවුනට උපකාරයක් ලබා දීම සඳහාය .
නිවෙසේ සිට පුවත් පත් කියවූ කාලයේ ඇතැම් පත්තරකාරයන් ගැන සිතෙහි ඇඳී තිබුණු ප්‍රතිරූප පත්තර රස්සාවට එක්වූවාට පසුව බිම වැටුණු වැල ගෙඩි මෙන් දෙහෙදු වී යද්දී , ආරියදාස මහතා ගේ රූපකාය මගේ මනසේ දෙගුණ තෙගුණව නැගුණි .හේතුව මට කොළඹදී මුණගැසුණේත් ගමේදී සිතේ සිටි තැනැත්තාම වීමය .
⁣දිනමිණ විශේෂාංග මුල් පුටුවේ සිටි අවසන් වතාවේ ලිපි සපයා ගැනීමට උපකාර ඉල්ලූ සෑම විටෙකම කුඩා දරුවකු මෙන් නිහතමානීව ඔහු ඉල්ලීම් බාර ගත්තේය .නියමිත වේලාවටත් කලින් ලිපිය ලියාදුන්නේය . ඒ , ඒ මහතාගේ ජනමාධ්‍යවේදී ජීවගුණයයි .
එකුන් සියවසක් දිවිගෙවා සිටියදී පවා හෙතෙම කෙතරම් තරුණව සිටියේද යන්නට හොඳම සාක්ෂිය ඔහු ලංකාදීපයට සැපයූ ” සකෝ බල ලෝ ” ලිපි මාලාවයි .
-අනුර කේ. එදිරිසුරිය

Leave A Reply

Your email address will not be published.