යෞවන ඇසුර අපිවත් යෞවනයෝ කරනවා

සිය අටවන කවිපොත වන “මුහුදට මුහුණ ලා සොහොනකි” හා දෙවන කෙටිකතා පොත “අපරාදේ ඒ නොවැම්බරය” පාඨකයා වෙත ගෙනෙන කපිල එම්. ගමගේ

නුදුරේ එළිදකින ඔබේ හයවැනි කවි පොත ‘මුහුදට මුහුණ ලා සොහොනකි’, දෙවැනි කෙටිකතා පොත ‘අපරාදේ ඒ නොවැම්බරය’. ඔබේ මීට පෙර කවි පොත වුණේ ‘තෙරියුම් කෝකිලා’ පාඨකයා අතට පත් වුණේ මීට අවුරුදු තුනකට පෙර. කෙටිකතා පොත මීට අවුරුදු අටකට පෙර…?

මෙහෙමයි, ඔය අතර වකවානුවෙත් මම ලිවීම දිගටම අඛණ්ඩව කරගෙන ආවා. ටික කලකින් ආපහු හැරිලා බලන කොට මගේ අතේ කවි ටිකක් තිබුණා. අපි දැන් ටිකෙන් ටික වයසට යනවා. ඒ හින්දම මම හිතුවා ලියා එකතු වුණු කවි ටික මගේ පාඨකයා අතට දෙන්න ඕනේ කියලා.

මේ කාලය කවි, කෙටිකතා විකිණෙන්නේ නැහැ කියන තත්ත්වයක් යටතේ කපිල කොහොම ද ඒ අභියෝගය දරා ගන්නේ ?

අපි කවි ලියලා මොකට ද ඒ කවි අපේ රසික සමූහයා අතට පත් නොකර. අපි කෙටිකතා ලියලා මොකට ද ඒවා අපේ පාඨක සමාජය වෙතට පත් නොකර. ඒ නිසා අපිට ඔබ අහන අභියෝගය තියෙනවා. අපි ඒක ජය ගන්න අසමත් නම්, මම හිතන්නේ අපි නිර්මාණකරුවන් විදිහටම අසමත්.කවි පොතක් විකුණා ගන්න අපහසු එහෙම කාලයක් තිබුණා. කවි පොතක් විකුණා ගන්න පුදුම මහන්සියක් දරන්න වුණා. ඒත්, දැන් නම් මම හිතන්නේ ඒ තත්ත්වය වෙනස්. හරියටම ක්‍රමය දන්න කෙනකුට කවි පොත් පන්සීයක් විකුණා ගන්න එක අපහසු දෙයක් නෙමෙයි.මම කියන්නේ මේ සිස්ටම් එක ඇතුළේ ආර්ට් කියලා කියන්නෙම ප්‍රාග්ධන මූලික කාරණයක්. ඒ නිසා කවි පොතක් විකුණා ගන්න මාර්කටින් යොදා ගන්න එක නරක දෙයක් කියලා මම හිතන්නේ නැහැ. කවි පොත් පන්සීයක් විකුණා ගන්න බැහැ කියපු කාලෙක මම ‘තෙරියුම් කෝකිලා’ පිටපත් එක්දහස් පන්සීයක් පාඨකයා අතට පත් කළේ ඒ විදිහටයි.

ඒ මාර්කටින් අර්ථයෙන් ද ‘අපරාදේ ඒ නොවැම්බරය’ කියලා ඔබේ කෙටිකතා පොත නම් කළේ ?

ඕනෑ නම් එහෙම හිතන්න පුළුවන්. ඇත්තටම එහෙම කෙටිකතාවක් තියෙනවා. අපි හිටපු දේශපාලන ආස්ථානයේ හුන් එක් සහෝදරයෙක් සහ මා අතර වූ සංවාදයක දී ඒ සහෝදරයාගේ හැඟීම් හා බද්ධව පිට වුණු දෙබසක වචන කිහිපයක් තමයි “අපරාදේ ඒ නොවැම්බරය” යන්න. ඉතින් එය ඒ බරින්ම මම පොතේ කෙටිකතාවටත් පොතේ නමටත් ‘අපරාදේ ඒ නොවැම්බරය’ යෙදුවා.

තව දුරටත් කවිය පොත් මතම නතර නොවී සමාජ මාධ්‍ය ජාලාවලත් ඉඩ අත්කර ගනිමින් තිබෙනවා. මෙය විටෙක කවියට අත් වන විනාශයක් විදිහට ඇතැමෙක් දකිනවා ?

මම නම් එහෙම හිතන්නේ නැහැ. ඔබට මතක ඇති අපි කවි ලිවීම ආරම්භ කළ කාලය. අපිට කවි ලියන්න තිබුණ එකම අවකාශය තමයි පත්තර. ‘යොවුන් ජනතා’, ‘සිළුමිණ’, ‘දිවයින’, ඊටත් පස්සේ ‘රාවය’, ‘ලක්දිව’, ‘හිරු’ දක්වා ඒ ගමන ඇදුණා. ඒ යුගයේ ලියවුණු කවියක් පළ කරන්න තිබුණේ වර්ග අඟල් ගණනක කුඩා ඉඩක්. එවැනි මොහොතක තමයි මේ සයිබර් අවකාශය හැදෙන්නේ. මේ අවකාශය කවිය වෙනුවෙන් හැදුණු ඉඩක් නෙමෙයි. ඒත් තරුණ පරපුර මේ ඉඩ ආක්‍රමණය කළා. කවිය විතරක්ම නෙමෙයි ඒ ගැන කතා කරන, අදහස් දක්වන, හැඩතල නංවන ඉඩක් මේ සයිබර් අවකාශයේ ඇති වුණා.මේ මුල් යුගයේ දී පත්තරවල පළ වුණු කවි සයිබර් අවකාශයේ උපුටා පළකළා. ඒත් පසු කලෙක සයිබර් අවකාශයේ පළ වූ කවි උපුටා නැවතත් පත්තර පිටුවල පළ වෙන්න පටන් ගත්තා. මේ නිසා පොදුවේ කවි ප්‍රිය කරන, කවි කියවන පිරිසක්, කවිය අභ්‍යාස කරන පිරිසක් සයිබර් අවකාශය තුළින් මතු වුණා.මෙතැන දී දෙයාකාරයෙන් කවියාට සහ කවියට මේ ඉඩ බලපෑවා. උදාහරණයක් විදිහට කෙනෙක් කවියක් ලියලා තමන්ගේ මුහුණු පොතේ පළ කළා ම ඊට ලැබෙන කොමෙන්ට් හෝ ලයික් ගණනින් සමහරු විනාශ වෙනවා. සමහරු මේ නිසා තමන් කවියෙක්, තමන්ගේ කවිය මාරයි වගේ අධිතක්සේරුවකට එනවා. මම කියන්නේ ඒක සිය දිවි නසා ගැනීමක්. කවියටත්, කවියාටත් විවේචන ඕනෑ. ඒක අපි දරා ගන්න ඕනෑ. මට මතකයි අපි කවි ලිවීම පටන් ගත්ත 88 – 89 කාලෙ දී පෙර පරපුරේ කවියෝ අපිව විවේචනය කළ ආකාරය. ඒවා බරපතළ විවේචන. ඒ සමහර විචාර කවිය කියන ක්ෂේත්‍රය දිහා හැරිලා නොබලන්න හිතෙන විදියේ දරුණු විවේචන. ඒත් අපි ඒවා ගත්තේ සුබවාදීව. මට මතකයි අපි හතර දෙනෙක් එකතුව කළ කවිපොතකට පෙරවදන ලියූ තිලකරත්න කුරුවිට බණ්ඩාර ලිව්වේ, පනින්න කලින් පොළොව අඳුනගෙන ඉන්න කියලා. තවත් අය ප්‍රශ්න කළේ “තමුසෙලා කවියෝ ද?” වගේ දරුණු ලෙසින්. අපි ඒවා ගත්තේ සාධනීය විචාර විදිහට.දැන් සයිබර් අවකාශයේ කවි ගත්තොත්, සමහර ප්‍රවීණයෝ ඒ කවි විචාර කරන්නේ ඉතාමත් නරක විදිහට. මම හිතන්නේ, ඒ එන ඕනෑම විචාරයක් හිස නමාගෙන බාර ගන්න ඕනේ. ඒ විචාර, විවේචන ඕනෑවට වඩා වැඩියෙන් හිතට ගන්නත් ඕනේ නැහැ, නොසලකා ඉන්න ඕනෙත් නැහැ. තමන් හිමින් සැරේ තමන්ගේ වැඬේ කරගෙන යන්න ඕනේ.

කපිල. එම්. ගමගේ වන ඔබ අපි දැකලා තියෙනවා බොහෝ විට අලුත් පරපුර හා යහපත් සහසම්බන්ධයක් පවත්වාගෙන යනවා ?

අපි ලියන්න පටන් ගත්තේ දේශපාලන ලෝකයක අත්දැකීම් අතරේ. අපේ දේශපාලනය වැඩුණේම අපිව පසු කර යන පරපුරක් හැදීමේ සද්වුවමනාවෙන්. ඒ නිසාම මම අපෙන් පසු පරපුර ගැන ඉතාමත් සුබවාදීව බලන කෙනෙක්. සමහර සයිබර් කවි කියවද් දී මම මගේ කවි කවි ද කියලා හිතලා තියෙනවා. ඒ තරම්ම ඒ අලුත් කවි කවි රසයෙන් අනූනයි. අලුත්. ඔබත් මමත් දන්නවා අපේ මිතුරු රෝහිත භාෂණ අබේගුණවර්ධන නම්, අද කවි නොලියන කවියා ගැන. විටෙක මම භාෂිට කියලා තියෙනවා ඔබේ කවි අපිට කවි ලියන්න උගන්වනවා කියලා. ඒ වගේමයි අනුර කේ. එදිරිසූරිය වගේ කවීන්. ඔහුත් දැන් කවි නොලියන තරම්. මේ වගේ අපෙන් පසු පරපුරේ ප්‍රසාද් මස්ඉඹුල වැනි කවීන් කොයි තරම් අරුත්බර නූතන කවීන් ද? මම නම් හැකි හැම මොහොතකම පොතක, පත්තරයක, සයිබර් අවකාශයේ අලුත් කවියක් මගේ මිනුමට අනුව සෑහීමකට පත්වෙනවා නම්, මම ඒ කවිත්, කවීන්වත් නොපැකිළව අගය කරනවා. ඒක අපේ යුතුකමක් විදිහටයි මම නම් දකින්නේ. මගේ පරම්පරාවේ ඉන්ද්‍රනාථ තේනුවර තමයි, මට කියන්නේ මේ අලුත් අවකාශය ගැන. ඔහු නිසා තමයි මම සයිබර් අවකාශය අඳුනා ගන්නේ. මම ඒ අවකාශයේ හොඳ, නරක දෙකම දකිනවා. මේ මෑතක සිද්ධ වුණු සමහර සිද්ධීන්වල දී අපි දැක්කා අපේ කලාකරුවන්, කවීන් හැසිරුණු විදිහ. ඒක විශ්වාස කරන්න අපහසු හැසිරීමක්. ඒත් ඒ සමඟම අංකුර කලාකරුවන්, කවීන් අතුරින් බොහෝ දෙනෙක් ඊට ප්‍රතිපක්ෂව හිටියා. ඒක විඳගන්න අපහසු භාවිතාවන් මැද හිර වුණු අපව, බලාපොරොත්තුසහගත කරවන මැදිහත් වීමක්. ගයාන් පීරිස්, ජනිත් විතාරණ වගේ කිහිප දෙනෙක් ඉන්නවා අපිව කවිය විතරක් නෙමෙයි සමාජය වෙනස් කිරීමේ වුවමනාව මතත් බැඳ තබන. මේ නිසාම තමයි, අපේ පරපුරේ තිඹිරියාගම බණ්ඩාරගෙන් කුඩා ඉඩක් ඉල්ලා ගෙන ‘රැස’ පත්තරයට අලුත් කවීන් ගැන ලියන්නේ. මම හිතන්නේ ඒක මගේ යුතුකමක් විතරක් නෙමෙයි, වගකීමක් කියලයි. ඒ විතරක් නෙමෙයි මේ යෞවන ඇසුර අපිවත් යෞවන කරනවා. මේ නිසාම මට නම්, පරණ පරම්පරාවත් මචං, අලුත් පරම්පරාවත් මචං.

කපිල, කවියත් කෙටිකතාවත් අතර වෙනස ඔබ කොහොම ද වෙන් කර ගන්නේ ?

මම මේ දෙකටම ආදරෙයි. මට කවියයි, කෙටිකතාවයි දෙකම දැනෙන්නේ ජීවිතයට එල්ල කරන ක්ෂණික ආලෝක ධාරාවන් විදිහටයි. ඒක හරිම වෙනස් හැඟීමක්. ඒක නවකතාවට වඩා වෙනස් ධාරාවක්. ඒ එකිනෙකට ඇති වෙනස නිසාමයි මට කවිපොත් අටක් රසිකයා වෙත දෙද්දී, කෙටිකතා පොත් දෙකක් විතරක් දෙන්න වෙන්නේ. ඇත්තටම මම ලියපු කෙටිකතා සමහර වෙලාවට ඉරලා විසි කරලා තියෙනවා යළිත් කියවද්දී. එහෙම වුණේ අලුත් පරපුරේ කෙටිකතා කියවද් දී මට හිතුණා මගේ සමහර කෙටිකතා මොන කෙටිකතා ද කියලා. එහෙම කිහිප වාරයක් කළ නිසා ඒ ගැන දැනගත්ත මගේ සමීපතමයෙක් කිව්වේ, “ඔය සැරෙන් සැරේ බැලිල්ල නොකර, ලියපු කෙටිකතා ටික ප්‍රින්ට් කරන්න” කියලා. ඒක ඇත්ත කියන හැඟීම මටත් ඇති වුණු නිසයි ‘අපරාදේ ඒ නොවැම්බරය’ කෙටිකතා එකතුව පොතක් වෙන්නේ.

සිසිර යාපා

Leave A Reply

Your email address will not be published.

11 − ten =