පැණියකට වහවැටී එන්නත අහිමි කර ගත් රටක කතාව

කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසයට එරෙහිව ලෝකය නිපද වූ එන්නත් ජනතාවට ලබා දීමට රාජ්‍යයන් ගණනාවක් කටයුතු කර තිබුණ ද, ලංකාව තවමත් කිසිදු එන්නතක් ගෙන ඒමට කටයුතු යොදා නැත.

ඉන්දියාව පවා ඉකුත් සතියේ සිට සිය රටවැසියන්ට එන්නත් ලබා දීම ආරම්භ කරනු ලැබී ය. ඉන්දියානු ‘භාරත බයෝටෙක්’ ආයතනය නිපදවූ ‘කොවැක්සීන්’ නම් එන්නත හා ඔක්ස්ෆර්ඞ් ආයතනය ඉන්දියාව සමඟ එකතුව වැඩිදියුණු කරන ලද ‘කොවිෂීල්ඞ්’ නම් එන්නත මෙලෙස ඉන්දියානු ජාතිකයන් වෙත ලබා දීමට කටයුතු යොදා තිබේ. ‘කොවිෂීල්ඞ්’ එන්නත ඔක්ස්ෆර්ඞ් ‘ඇක්සා සැනිටා’ එන්නතේම දිගුවකි.

අසල්වැසි රටවලට ද කොවිෂීල්ඞ් එන්නත් ලක්ෂය බැගින් ලබා දීමට ද ඉන්දියාව සූදානම් වේ. ඒ අනුව භූතානය, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය හා සීෂෙල්ස් රාජ්‍යයන් සඳහා ඉකුත් 21 දා සිට එම එන්නත් යැවීමට කටයුතු කළ බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඉන්දීය කොවිඞ් එන්නත ලබා ගැනීම වෙනුවෙන් ගිවිසුම්ගත වූ එම රාජ්‍යයන් සඳහා එම එන්නත් මුදාහැරි බව ද ඉන්දියාව නිවේදනය කළේ ය. නමුත්, ලංකාව, ඇෆ්ගනිස්ථානය හා මුරුසි රාජ්‍ය ඖෂධ අධිකාරීන් ඉන්දියාවේ එන්නත සඳහා මෙතෙක් අනුමැතිය ලබා දී නැති බැවින්, එම රාජ්‍යයන්ට එන්නත් නිකුත් නොකරන බව ද ඔවුහු පවසති. එම රටවල ඖෂධ අධිකාරීන් විසින් සිය එන්නතට අනුමැතිය දෙනු ලැබූ පසු එම රටවල් වෙත ද එන්නත යැවිය හැකි බව ද ඉන්දියානු විදේශ අමාත්‍යාංශය පවසයි.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් සරසවියට අනුබද්ධ ‘ඇක්සා සැනිටා’ ආයතනය විසින් කොවිඞ් සඳහා එන්නතක් නිපදවීම වෙනුවෙන් ඉන්දියාවේ ‘භාරත් බයෝටෙක්’ ආයතනය සමඟ මෙන් ම ලංකාවේ ජයවර්ධනපුර සරසවිය සමඟ ද එක්ව පරීක්ෂණ දියත් කළේ ය. මෙරට පරීක්ෂණ සඳහා ආණ්ඩුවෙන් ආධාර, අනුබල නොලැබුණ ද, භාරත් බයෝටෙක් සමාගමට ඉන්දියානු ආණ්ඩුවේ ආධාර, අනුබල හිමි විය.

ඒ අනුව නිපද වූ එන්නත අද ඔවුන් අවට රටවල් වෙත බෙදාහැරීම ආරම්භ කළෝ ය. ශ්‍රී ලංකා ආණ්ඩුව ධම්මික පැණියක් පෙන්වමින් එහි ඉදිරියට ගියේ ය. මාධ්‍ය මඟින් ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් සරසවිය සමඟ එක්ව කරන පර්යේෂණයට ප්‍රචාරයක් ලබා නොදුන්න ද, ධම්මික පැණියට නම් ඉහළ ප්‍රචාරණයක් ලබා දුන්නේ ය. එම නිසා ජනතාව පොරකමින් කෑගල්ලේ ධම්මික පැණිය සොයා ගියෝ ය.

කාලි මැණියන්ගේ අනුහසින් තමන් නිපද වූ බව කියූ ‘ධම්මික පැණිය’ රැගෙන ධම්මික බණ්ඩාර දළදා මාලිගාවට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, මාධ්‍ය ආයතනවලට මෙන්ම පාර්ලිමේන්තුවට ද ගියේ ය. සෞඛ්‍ය ඇමැතිනිය ධම්මික පැණිය පානය කොට හිස සැලුවේ රස පරීක්ෂා කරන්නියක විලසිනි. පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කිහිප දෙනකු ද, කථානායක සමඟ එක්ව පැණිය පානය කරන ඡායාරූප මාධ්‍යයේ පළ විය.

අනතුරුව ජනතාව පොදිකමින් කෑගල්ලේ පෝලිම් ගැසුණේ ධම්මික පැණිය ලබා ගන්නට ය. මුලින් නොමිලේ දුන් ධම්මික පැණි බෝතල් කාලකට පසුව රුපියල් 6,500.00ක මුදලක් අය කළේ ය. මුදල් ගෙවමින් ජනතාව ධම්මික පැණිය පානය කරන්නට වූයේ, එන්නතට වඩා ධම්මික පැණිය බලවත් බවට ආණ්ඩුවේ මැදිහත් වීමෙන් දුන් ප්‍රචාරණය හේතුවෙනි.

සෞඛ්‍ය බලධාරීන් කෑගල්ලට පැමිණ පොදිකන ජනතාවට දැනුම් දුන්නේ, තවත් කොවිඞ් පොකුරු, අනුපොකුරු ඇති නොකරන්න ය කියා ය. නමුත්, ඊට හොඳ මාධ්‍ය ප්‍රචාරණයක් ලැබුණේ නැත. ජනතාව ධම්මික පැණිය සොයා කෑගල්ලේ පොදිකෑමේ ප්‍රතිඵල එළියට පැමිණියේ එයින් මාසයකට පමණ පසුව ය. කෑගල්ලේ කොවිඞ් වර්ධනය ඉහළ ගිය අතර ධම්මික පැණිය බිව් අය ද ඒ අතර සිටින බවට ප්‍රචාරය විය.

ධම්මික පැණිය ප්‍රචාරණය කරද්දී, ධම්මික බණ්ඩාර දුන් පොරොන්දුව වූයේ, එම පැණිය පානය කරන්නකුට කිසි විටෙක කොවිඞ් නොවැළඳෙන බව ය. නමුත්, කෑගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට හා ඔහුගේ පවුලේ සියලු දෙනාට ම කොවිඞ් ආසාදනය වී තිබිණි. ඔවුහු ධම්මික පැණිය බිව් අය වූහ. නියමිත මාත්‍රාවට තමා ඇතුළු පවුලේ සැම ධම්මික පැණිය පානය කළ බව ඔහු මාධ්‍යයට කියා ඇත.

මෙහි දී ධම්මික බණ්ඩාර කියා සිටියේ, තමන්ගේ පැණිය වෙනත් පිරිස් විසින් ව්‍යාජ ලෙස නිපදවා අලෙවි කරන බව ය. ඔහු එය කියා දින කිහිපයක් ගත වන්නටත් පෙර ධම්මික පැණිය ප්‍රසිද්ධියේ පානය කළ රාජ්‍ය ඇමති පියල් නිශාන්තට ද කොවිඞ් වැළඳී ඇති බවට වාර්තා විය. ඔහු පාර්ලිමේන්තුවේ දී මෙම පැණිය පානය කළේ ධම්මික බණ්ඩාර මෙන්ම කථානායකවරයා ද ඉදිරියේය.

රජය මිථ්‍යාව පසුපස ගියා මිස විද්‍යාත්මක ඖෂධ පසුපස ගියේ නැත. කොවිඞ් එන්නත මිල දී ගැනීමට සූදානම් වූයේ ද නැත. වසංගත අවස්ථාවක දී ඒ වෙනුවෙන් නිපදවන ඖෂධ සහන ණයක් යටතේ ලබා දීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ‘කොවැක්ස්’ නම් සමාගම ස්ථාපිත කළේ ය. කොවිඞ් එන්නත් දෙකකට අවසර ලද සැණින් ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් ගණනාවක් මෙම කොවැක්ස් ආයතනය සමඟ ගිවිසුම්ගත වූයේ, සහන ණයකට එන්නත ලබා ගැනීමට ය. නමුත්, ලංකාව එලෙස ගිවිසුම්ගත වූයේ නැත. තවමත් ඔවුන් ගිවිසුම්ගතව නැති බැවින්, ඉන්දියානු එන්නත පවා ගෙන්වා ගැනීමට නොහැකි වී තිබේ.

මුලින් ගිවිසුම්ගත වූ පිරිසට කොවැක්ස් ආයතනයේ මැදිහත් වීමෙන් එන්නත ලබා ගත හැකි ය. එය දෙන්නේ ද 20%ක ප්‍රතිශතයකි. පසුව ගිවිසුම්ගත වන අයට එන්නත ලැබෙන්නේ අවස්ථා කිහිපයක දී ය. ඒ අනුව ලංකාව මේ මොහොතේ ගිවිසුම්ගත වුව ද, මෙරටට ලැබෙන්නේ 03%ක ප්‍රමාණයක් පමණකි. අවස්ථා කිහිපයක දී 20% ප්‍රමාණය ලබා දෙනු ඇත.

කොවැක්ස් ආයතනය මෙලෙස දෙන ප්‍රමාණය කොටස් කරනුයේ එන්නත් නිපදවීමේ ධාරිතාව අඩු මට්ටමක පවතින බැවිනි. 03% ගෙන්වා ගැනීමටවත් තවම ලංකාව කොවැක්ස් ආයතනය සමඟ ගිවිසුම්ගතව නොමැත. එනයින් මේ එන්නත ලංකාවට පැමිණීම තවත් ප්‍රමාද වීම වැළැක්විය නොහැකි ය.
එන්නත් නොගෙනාව ද, ලංකා ආණ්ඩුව යුක්රේන සංචාරකයන් ගෙන්වා ගන්නේ, සංචාරක ව්‍යාපාරය දියුණු කරන බව පෙන්වමිනි. ඒ අනුව ඉකුත් සතිය වන විට මෙරටට යුක්රේන සංචාරකයන් 1,500කට ආසන්න පිරිසක් පැමිණි බව සංචාරක අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබිණි. ඔවුන් දින 14ත් 30ත් අතර දින ගණනක් මෙරට රැඳී සිටි අතර, ඒ සඳහා තරුපහේ හෝටල්වල නවාතැන් පහසුකම් සපයා තිබිණි.

දළදා මාලිගාව, සීගිරිය, යාල වනෝද්‍යානය, දකුණු වෙරළ තීරය ඇතුළු ස්ථාන ගණනාවක මෙරට සිටි කාලය තුළ මොවුහු සංචාරය කළහ. යුක්රේන සංචාරකයන් පී.සී.ආර්. පරීක්ෂාවලට භාජනය කළ ද, ඔවුන් සමග පැමිණි අයකු කොවිඞ් ආසාදිතයකු වුව ද, අනෙක් පිරිස නිරෝධායනය කළේ නැත.
නිරෝධායනය නොවූ සංචාරකයෝ රට වටා සංචාරය කළහ. එක් සංචාරකයන් කණ්ඩායමක් දළදා මාලිගාවට ගිය අතර, එම ස්ථානයට පැමිණි භික්ෂුන් වහන්සේ නමක් ඊට විරෝධය පළ කළහ. අවසානයේ දළදා මාලිගාවේ මුරපොළේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් 20කට අධික සංඛ්‍යාවක් කොවිඞ් ආසාදිතයන් බවට හඳුනා ගැනිණ.

යුක්රේන සංචාරකයන්ගේ පැමිණීමෙන් රුපියල් කෝටි 42ක ආදායමක් මෙරටට ලැබී ඇති බව ද මාධ්‍ය නිවේදනය කළේ ය. එය ගණනය කළ විට එක් යුක්රේන ජාතිකයකු දිනකට වියදම් කර ඇත්තේ, රුපියල් 13,500.00කට ආසන්න මුදලකි.
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ද කොරෝනා ආසාදිතයන් අටදෙනකු හඳුනා ගැනිණි. ඒ අතර නියෝජ්‍ය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ රියැදුරා ද විය. සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසනුයේ, හැකි ඉක්මනින් කොරෝනා එන්නත මෙරටට ගෙන්වන බවකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ, එන්නත ගෙන ඒමේ වැඩපිළිවෙළ මන්දගාමී බවය.
මේ වන විට කොරෝනා ආසාදිතයන් 50000 ඉක්මවා ඇති අතර, මරණ ගණන 280ක් වී ඇත. නමුත් එන්නත ගෙන්වන පාටක් තවමත් නැත●

-ලසන්ත වීරකුලසූරිය

Leave A Reply

Your email address will not be published.

four × 4 =