ගාමිණී ලොකුගේලා සහ දිවයිනේ වෙල්ගමලා රෝගීන්ගේ බත් පත උදුරා ගත් හැටි

පසුගිය 22 දා දිවයින පුවත්පතේ 10 වැනි පිටුවේ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් නමැත්තෙකු විසින් “රෝහල ලඟ‌ නොමිලේ කන්න දෙන මුස්ලිම් සංවිධාන ගැන සොයන්න -ගාමිණී ලොකුගේ ආණ්ඩුවෙන් ඉල්ලයි” යන සිරස්තලය යටතේ වාර්තා කර තිබිණ. ගාමිණී ලොකුගේගේ ඡායාරූපයක් ද සහිතව ඔහු දිවයිනට කීවා යැයි ප්‍රකාශයක් සඳහන් කර තිබුනේ මෙසේය.

දිවයින වාර්තාව…
—————————–
කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, පිළිකා වැනි රෝහල්වල සායන වලට එන ජනතාවට නොමිලේ බුෆේ කෑම කන්න දෙන මුස්ලිම් සංවිධාන ගැන වහාම අවධානය යොමු කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ගාමිනී ලොකුගේ මහතා දිවයිනට පැවසීය.

“දැන් මේ නොමිලේ කෑම දෙන සංවිධානය කුමන අරමුණකින් කෑම දෙනවාද කියා සැකයි. මේ දෙන ආහාර හරහා කාන්තාවන් වඳ භාවයට පත් කරනවා ද කියලත් සැකයක් තියෙනවා. මොවුන්ගේ මේ තරම් උනන්දුව මොකද? මේවා සෞඛ්‍ය බලධාරීන් වහා සොයා බලන්න ඔ්නෑ. දැන් මේ අය රජයේ රෝහල් වලට එන බෞද්ධ ජනතාව ලඟට ගිහින් ටිකට් එක දෙනවා. කාන්තාවන්ට තමයි මේ ටිකට් එක විශේෂයෙන් දෙන්නේ. එහෙම දීලා කියනවා සායනයෙන් කරගන්න වැඩේ කරගෙන අපේ මේ තැනට ගිහින් කෑම කන්න කියලා. එතන කුකුල් මස්, එළවළු, පරිප්පු ඇතුළු තවත් කෑම බුෆේ විදිහටයි කන්න දෙන්නේ මම ජනාධිපතිතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා මේ ගැන සොයා බලා ඉක්මන් පියවරක් ගන්න කියලා.” ගාමිණී ‌ලොකුගේ කීවා යැයි දිවයින වාර්තාවේ දැක්වේ.

ගාමිණී ලොකුගේ යනු ජනාධිපතිගේ අපූරු ආරක්ෂක මණ්ඩලයේද අසුන් ගන්නා අයෙක් වීම ද සැලකිල්ලට ගැනීම නිසා දෝ මෙකී දුර බැහැර සිට පැමිණෙන අසරණ රෝගීන්ට නොමිලේ ආහාර ලබා දෙන ජනපෝෂ පදනම නමැති සංවිධානය විසින් තම සේවාව අද(25) සිට අත්හිටුවා තිබේ. ඔවුන් ඒ සම්බන්ධයෙන් සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්වයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණ.

පසුව ගාමිණී ‌ලොකුගේ කිව්වේ නෑ කියයි…
——————————————-
ජනපෝෂ පදනමේ ඒ නිවේදනයෙන් පසුව ගාමිණී ලොකුගේ ප්‍රකාශ කරන්නේ තමන් එවැනි ප්‍රකාශයක් දිවයින පුවත් පතට කිසිදා නොකී බවයි. එම සද් ක්‍රියාවට තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බවද හේ පවසයි. දැන් ඇත්ත කියන්නේ කවුදැයි ප්‍රශ්නයක නමුත් සිදුව ඇත්තේ දිනපතා උදේට සහ දවල්ට එක් වේලකට රෝගීන් 350 දෙනා බැගින් රෝහල් 3 ක් අසල දී රෝගීන් 2100 කට දිනකට ලැබුණු ‌නොමිලේ ආහාර වේල නොලැබී යාමයි.

සත්‍ය වශයෙන්ම ගාමිණී ලොකුගේත් නයිදිවත් එකතු වී දුප්පත් අසරණ ජනතාවකගේ බත්පතට වැලි දමා ඇත. මේ සම්බන්ධයෙන් ජනපෝෂ පදනම නිකුත් කරන ලද නිවේදනය මෙසේය.

අසරණ ජනතාවගේ කුසගිනි නිවූ ජනපෝෂ පදනම සිය කටයුතු නිමා කරයි.
————————————-
අසරණ ජනතාව වෙනුවෙන් වසර ගණනක් පුරා සේවය සැපයූ ජනපෝෂ පදනම සිය නොමිලයේ ආහාර බෙදා දීමේ ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව නිවේදනය කරයි. 2019 ජුනි මස 25 වෙනිදා සිට මෙලෙස සිය ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය නවතා දමන බව දන්වා සිටින්නේ දැඩි කනස්සල්ලෙන් සහ කම්පාවෙන් යුක්තවය.

ජනපෝෂ පදනම 2012 වසරේ පටන් නිහඬව මෙවර දුගී සහ අවම වරප්‍රසාද ලාභී ප්‍රජාව වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටු කළ බව බොහෝ දෙනෙකු නොදන්නා කරුනකි. සැබෑ ශ්‍රී ලාංකේය සංවිධානයක් ලෙස එම පදනම උපකාරයක් අපේක්ෂාවෙන් තමන් වෙතට පැමිණෙන සියළු දෙනා හට සිය සෙනෙහසේ දෑත දිගු කෙළේය.

මෙරට ප්‍රධාන රෝහල් වෙත පැමිණෙන ජනතාවගෙන් බහුතරයක් දෙනා තම ආරණීයයන්ගේ රෝගී තත්ත්ව හේතුවෙන් දුරු කතර ගෙවා දමමින් රෝහල් වෙත පැමිණෙන බවත්, තමන් අත ඇති සුළු මුදල ඉතිරි කර ගැනීමට හෝ තම කුසගින්න පිලිබඳ කල්පනා කිරීමට තරම්වත් වේලාවක් නොමැති වීම නිසා හෝ ඔවුන් අසරණභාවය කරපින්නාගෙන සිටින බව ජනපෝෂ පදනම ආරම්භයේ පටන්ම හඳුනා ගත්තේය.

තම සහෝදර ජනතාව තවදුරටත් කුසගින්නෙන් අසරණ නොවිය යුතුය යන තිර අදිටනින් යුතුව ඒ පදනම ආරම්භයක් ලෙස කොළඹ මහ රෝහල අසල නොමිලයේ ආහාර බෙදාදීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙළේය. ඔ්නෑම කුලයකට ජාතිකයට කුසගින්න පොදු ධර්මතාවයක් බැවින් ජනපෝෂ පදනම විසල් සෙනෙහසින් යුතුව ජනතාව පෝෂනය කිරීමට උර දුන්නේය. කළුබෝවිල ශික්ෂන රෝහලට සහ මහරගම අපේක්ෂා රෝහලට පැමිණෙන අසරණ ජනතාව ද දෛනිකව අත් විඳින මෙම අපහසුතාවන් හඳුනාගත් එම පදනම පිළිවෙලින් 2016 සහ 2017 වසර වලදී එම රෝහල් පරිශ්‍ර තුලද සිය සද්කාර්ය දියත් කෙළේය.

මේ දක්වා ජනපෝෂ පදනම මගින් වාර්ෂිකව සේවය ලබා ගත් මිලියන භාගයකට ආසන්න වූ ජනතාව සිය ආගම, ජාතිය, කුලය යනාදිය නොසලකා හැර සහෝදරත්වයෙන් යුතුව ජනපෝෂ පදනම විසින් සපයන ලද ආහාරවේල් හරහා සිය කුසගිනි නිවා ගත්හ.

කෙසේ වෙතත්, අසරණයන්ට පිහිටවීමේ මනුෂ්‍යත්වය පදනම් කර ගත් ජනපෝෂ පදනමේ කටුයුතු වරදවා වටහා ගනිමින් විවිධ පාර්ශව මගින් එල්ල වූ චෝදනා හේතුවෙන් වගකීම් සහගත ලෙස රට තුළ පවත්නා තත්ත්වයද සැලකිල්ලට ගනිමින් තමන් වහාම ක්‍රියාත්මක වන පරිදි කළුබෝවිල සහ මහරගම රෝහල් වල මෙහෙයුම් කටයුතු මෙතෙකින් සමාප්ත කරන බව සංවේදී ලෙස නිවේදනය කරමු.

මෙම සද්කාර්යයට අසම සමව කැපවීමෙන් කටයුතු කරන විවිධ ජනවර්ග වලට අයත් කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉලක්ක කරමින් යම් ගැටුමක් ඇතිවුවහොත් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමද මෙම තීරණයට පදනම් විය. මෙතෙක් කලක් අසරණයන්ගේ කුසගිනි නිවීම සඳහා දියත් කළ මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම උදෙසා විවිධ අයුරින් සහයෝගය ලබා දුන් සියළු දෙනා වෙත ජනපෝෂ පදනම සිය කෘතඥතාව පළ කර සිටී.

මෙලෙස ප්‍රශ්න කරමු…
—————————–
ප්‍රශ්න කළ යුත්තේ තමන් නොකී දෙයක් පළ කළානම් ගාමිණී ලොකුගේ දිවයින පුවත්පතට එරෙහිව නඩු දමනවාද? අසරණයන්ට දැන් නොමිලේ කන්න දෙන්නේ ගාමිණී ‌ලොකුගේ ද? දිවයින අයිතිකාර වෙල්ගමලාද? නැතිනම් කර්තෘ අනුර සොලමන්ස් ද? මේක ලියූ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් නමැත්තාද?

LEN

Leave A Reply

Your email address will not be published.

20 − 20 =