පනස් වසරක් ඉපැරණි ලොව පළමු එක්දින තරගය

මීට අවුරුදු 50කට පෙර 1971 ජනවාරි 5 වෙනිදා යනු ලෝකයේ ක්‍රිකට් විලාසය වෙනස් කළ දිනයයි. 1970-71දී එංගලන්තය ඔස්ට්‍රේලියාවට ගියේ ටෙස්ට් තරගාවලියකට සහභාගී වීමටයි. මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය සුදානම්ව තිබුණේ, දෙපිලෙහි තෙවන ටෙස්ට් තරගය සඳහායි. එහෙත්, තරගයට පෙරම වර්ෂාව ආරම්භ විය. මුලින් ම නියමිත දින දෙක කල් තියාම කල් දැමී ය. නැති වූ වේලාව පියවා ගැනීම සඳහා ඉරිදා දිනක යළි තරගය ආරම්භ කළ හැකි බවට වූ යෝජනාවක් කණ්ඩායම් දෙකම ප්‍රතික්ෂේප කළේ ය. සති අන්තයේ ඇදහැලුණු අධික වර්ෂාව නිසා තරගය තෙවන දිනයත් අත්හැර දමන ලදී.

මෙල්බර්න් බලධාරීන්ට ඩොලර් 80,000ක් දක්වා පාඩු විඳීමේ අවදානමත් සමඟම කණ්ඩායම් දෙකම අතිරේක ටෙස්ට් තරගයක් පැවැත්වීමට එකඟ වූහ. එංගලන්ත ක්‍රීඩකයන් කෝපයට පත් වූ අතර අවසාන අදියර දක්වාම ආරවුලක් ඇති වූ අතර, ඔවුහු අමතර මුදල් ඉල්ලා සිටියහ. දින 40ක් තුළ ටෙස්ට් තරග 4කට ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කිරීම අසාධාරණ යැයි ඔවුහු තර්ක කළහ.

ප්‍රේක්ෂකයන්ට නැරඹීමට යමක් ලබා දීම සඳහා කෙටිකාලීන පියවරක් ලෙස, ටෙස්ට් තරගයේ පස්වන දිනය ‘තරගයක්’ පැවැත්වීමට ද එකඟ විය. එංගලන්ත XI සහ ඔස්ට්‍රේලියානු XI ලෙස කණ්ඩායම් දෙක නම් කරන ලදී. ‘රොත්මන්ස්’ නම් වූ දුම්කොළ සමාගම අවසන් මොහොතේ තරගයේ අනුග්‍රාහකත්වය භාර ගත්තේ ය. ඒ ඩොලර් 5,000ක ගිවිසුමකටයි. යෝජිත තරගය පිළිබඳව මාධ්‍ය තුළ සැක පහළ විය. සමහරුන් අනාවැකි පළ කළේ එය අඟහරුවාදා දිනයේ දී මෙන් ජනප්‍රිය නොවන බවයි. තරගයට පෙර දින 20,000ක් පමණ පිරිසකට සූදානම් වන ලෙස මෙල්බර්න් ක්‍රීඩාංගණ සංවිධායකයන් විසින් ආහාර පාන සපයන්නන්ට උපදෙස් දී තිබිණි. තරගය ආරම්භ වන විට ඒ ඓතිහාසික දිනයේ සාක්ෂිකාර නරඹන්නෝ 46,006ක් ක්‍රීඩාගාරයේ අසුන් ගෙන හුන්හ.

ආරම්භයට පෙර ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රීඩකයන් එකට කැඳවා බංකුවක් මත සිටගෙන ඔවුන් ඇමතී ය. ඔහු කණ්ඩායම් අමතා මෙසේ පැවසී ය:

“ඔබ ඉතිහාසය ගොඩනැඟීම දකින්නෝ වනු ඇත”. සත්තකින්ම එය එසේම විය.

ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ කෙටි රැස්වීමකින් අනතුරුව කණ්ඩායම් ‘ඔස්ට්‍රේලියාව’ සහ ‘එංගලන්තය’ ලෙස නම් කරන ලදී. 46,006ක් ප්‍රේක්ෂක අසුන් හොබවන්නන් අතර ඔස්ට්‍රේලියානු පාලක මණ්ඩලයේ සභාපති ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සහ මෙල්බර්න් ක්‍රීඩාංගණයේ සභාපති ශ්‍රීමත් සිරිල් හෝකර් මුලසුන ගත්හ. එංගලන්ත XI නායකත්වය ගත්තේ රේ ඉලින්ග්වර්ත් ය. ඔස්ට්‍රේලියානු XI නායකත්වය ගත්තේ බිල් ලෝරි ය.

වසර පනහකට පෙර 1971 ජනවාරි 5දා ආරම්භ කළ ඓතිහාසික පළමු ජාත්‍යන්තර එක්දින තරගයේ පන්දු ඕවරයක් පන්දු අටක් විය. කණ්ඩායම් දෙකම ඕවර 40කට මුහුණ දීමට එකඟ වූහ. මන්දගාමී මෙල්බර්න් තණතීරුව හා ආසන්තම හතරේ සීමාවේ මායිම යාර 85ක් ලෙස මනිනු ලැබීය.

කාසියේ වාසිය දිනුවේ ඔස්ට්‍රේලියාවයි. එංගලන්ත XI කණ්ඩායම සිය පන්දු ඕවර 40න් 39.4කදී ලකුණු 190ක් රැස් කළේ ය. ඒ අතර ජෝන් එඩ්රිච් සිය ඉනිම ලකුණු 82ක් කරමින් ඓතිහාසික එක්දින තරගයේ පළමු අර්ධ ශතකලාභියා විය. එඩ්රිච් ඊට පන්දු 119ක් වැය කළේ ය.

ඔස්ට්‍රේලියානු XI ක්‍රීඩකයන් වූ ඈෂ්ලි මල්ලෙට් සහ කීත් ස්ටැක්පෝල් කඩුලු තුන බැගින් ලබා ගත් අතර වේග පන්දු යවන්නා වූ ග්‍රැහැම් මැකෙන්සි කඩුලු 2ක් ලබා ගත්තේ ය.

ජයග්‍රහණය සඳහා ලකුණු 191ක් හඹා ගිය ඔස්ට්‍රේලියනුවෝ කඩුලු 5ක් දැවී සිය ඓතිහාසික ජයග්‍රහණය ලැබූහ. පන්දු ඕවර 34ක් සහ පන්දු හයක් ඔවුහු ඒ සඳහා වැය කළහ. ඉයන් චැපල් ලකුණු 60ක් ලබා ගත්තේ පන්දු 103ක දීයි. ඔහු හා ඩග් වෝල්ටර්ස් (41) ඔවුන්ගේ ඉනිම වෙනුවෙන් ලකුණු 66ක සම්බන්ධතාවයක් ගොඩනැඟූහ.

එංගලන්තයේ නායක රේ ඉලින්ග්වර්ත් හොඳම පන්දු යවන්නා වූයේ ලකුණු 50කට කඩුලු තුනක් ලබා ගැනීමෙනි. වේග පන්දු යවන්නන් වන කෙන් ෂට්ල්වර්ත් සහ බැසිල් ඩි ඔලිවෙයිරා අනෙක් කඩුලු දෙක ලබා ගත්හ.

මේ ඓතිහාසික පළමු තරගයේ වීරයා වූයේ සම්මානනීය එක්දින තරග ඉතිහාසයේ පළමු අර්ධ ශතකයට හිමිකම් කී ජෝන් එඩ්රිච් ය.

ලකුණු සටහන් කරන්නා වූයේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී රිංහැම් ය. එකම එක අතිරේක ක්‍රීඩකයකු වූ අතර ඔහු ඔස්ට්‍රේලියාවේ ජේ. ඩබ්ලිව්. ග්ලීසන් ය. එංගලන්තය අතිරේක කිසිවෙක් නම් කර නොතිබිණි. තරගයේ විනිසුරුවන් වූයේ ලූ රෝවන් සහ ටොම් බ්රුක්ස් ය.

සාවින්ද සුභාෂ්වර

Leave A Reply

Your email address will not be published.

eleven + eight =