පොළොවෙන් උපන් නායකයෙක්

ට්‍රම්ප් යුගය නිමා වුණා. ඇමෙරිකාවේ මෑත ඉතිහාසයේ බිහිවුණු ආන්දෝලනාත්මකම ජනාධිපතිවරයා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්. ඔහුගේ පාලන යුගය අතිශයින් විවාදාත්මකයි. රාජ්‍යතාන්ත්‍රික වැල්වටාරම් වලට කොටු නොවී කියන්න තියෙන දේවල් මූණටම කිව්වා. ඒ නිසා ට්‍රම්පච්චි ගැන හැමදාම කතා කරන්න දෙයක් තිබුණා.
ට්‍රම්පච්චි මළාම මිනිය ගෙදර තියාගන්නෙ නැති නිසා දැන් අපිට බයිඩන් මහත්තයාගෙ දෑත් ශක්තිමත් කරන්න යන්න වෙනවා. නැත්නම් පැවැත්මක් නැහැ. එතුමා සරල ජනාධිපතිවරයෙක්.පොළොවෙන් උපන් නායකයෙක්.දැන් අපි ඉදිරියට කතා කරන්නෙ ජෝ බයිඩන් හෙවත් ජෝසප් රොබිනට් බයිඩන් (කණිෂ්ඨ)ජනාධිපතිතුමා ගැන.
ඒ අනුව ඉදිරි අවුරුදු හතරේදී ලෝකයේ බලවත්ම පුද්ගලයා ලෙස 78 හැවිරිදි මේ අපූරු මිනිසා වැජඹෙනු ඇති. විශේෂත්වය වන්නේ ට්‍රම්ප් යුගයට වඩා බයිඩන් යුගයේ ලෝකය ඇමෙරිකානු ක්‍රමයට අනුගත වීමට ඇති ප්‍රවනතාවයි. ට්‍රම්ප්ට වඩා බයිඩන් එක්ක ඉන්න කණ්ඩායම වැඩියි.
නීතීඥයෙකු ලෙස ජීවිතය ඇරඹූ ජෝ මහත්‍තයා ඉක්මනින්ම දේශපාලනයට පිවිසුණා. 1972 දී ඔහු Democratic පක්ෂය නියෝජනය කරමින් ඉතිහාසයේ ළාබාලතම සෙනෙට් සභිකයෙකු බවට පත්වුණා. ඊට මාසෙකට පස්සෙ සිදූවූ රිය අනතුරකින් ඔහුගේ ආදරණීය බිරිඳ හා දියණිය එතැනම මිය ගියා. ඔහුගේ පුතුන් දෙදෙනාත් බරපතල තුවාල ලැබුවා. තරුණ බයිඩන් තම පුතුන් දෙදෙනා සමඟ තනිවුණා.සියදිවි නසා ගන්න හිතුනත් ඔහු පුතුන් දෙදෙනා නිසා ජීවත් වුණා.
දුම්රියේ ගෙදර යන ගමන් ඔහු දරු නැලවිලි ගීත කටපාඩම් කළා.ඒ ගෙදර ගියාම දරුවන් නිදි කරන්න ඕන නිසයි.මහ පාන්දරම අවදි වෙලා කෑම උයලා දරුවන්ට කැව්වා.ඊට පස්සෙ රැකියාවට ගියා.
පස් වසරකට පස්සේ ඔහු දරුවන්ට පුංචි අම්මා කෙනෙක් කැන්දා ගෙන ආවා. ඇයත් දික්කසාද වෙලා හිටපු දරු දෙන්නෙක්ගෙ මවක්. බයිඩන්ට දාව ඇයට තවත් දියණියක් ඉන්නවා.
ජනාධිපති බැරැක් ඔබාමාගේ යුගයේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ බයිඩන්. ඒ කාලයේ නැවතත් ඔහුගේ ජීවිතට කණකොකා ඇඩුවා. අම්මත් නැතිව ආදරයෙන් හදාගත්ත වැඩිමහල් පුත්‍රයාත් මොළයේ පිළිකාවකින් මියගියා.
ජෝ බයිඩන් තමයි ඇමෙරිකානු ඉතිහාසයේ බිහිවන ජ්‍යෙෂ්ඨතම ජනාධිපතිවරයා. ඇමෙරිකානු දේශපාලන භූමියේ හොඳින් තෙම්පරාදු වී හිටියත් ඔහු තම ජීවිතයේ කඩා වැටීම් දරා ගත්තේ කොහොමද?
එය ඔහුගේම වචන වලින් කිව්වොත්…
Faith sees best in the dark.
විශ්වාසය අන්ධකාරයේදී හොඳම දේ දකියි.
අහිමි වීම් ඔහුගේ ජීවිතයට අලුත් අපේක්ෂා ඇති කළා. සිය පුතු තමන් ගැන ආඩම්බර වෙනවා දකින්න ඔහුට උවමනා වුණා. හැල හැප්පීම්, දුක්ඛ දෝමනස්සයන් තුළින් ගලා ගිය ජෝ බයිඩන්ගේ ජීවන ගමනේ කූඨප්‍රාප්තිය පෘථිවිය නම් ග්‍රහලෝකයේ බලවත්ම පුද්ගලයා වෙමින් අභිෂේක ගැන්වුණා.
ඔහුගේ බිරිඳ ජෝ බයිඩන්ගේ ජීවිත කතාව ළමා කතා පොතක් ලෙස එළි දක්වා තිබෙනවා. බැරැක් ඔබාමා වරක් කියනවා ජෝ බයිඩන් ගැන දැන ගැනීම යනු අව්‍යාජ ආදරය, පරාර්ථාකාමීත්වය හා පිරුණු ජීවිතයක් ගැන දැන ගැනීමක් කියලා.
බයිඩන් ආවම ඇමෙරිකානු ප්‍රතිපත්ති උඩු යටි කුරු වෙනවා කියල හිතනවානම් ඒක මායාවක්. ඇමෙරිකා එක්සත් ජනපදය කියන රාජ්‍යය හදලා කියන්නේ ජනාධිපතිවරයා වෙනස් වෙන කොට සියල්ල කණපිට පෙරෙලෙන්න නෙවෙයි. නමුත් ජෝ බයිඩන් මානව හිමිකම්, පාරිසරික නිති වගේ තිරසාර සංවර්ධන ප්‍රතිපත්ති ගැන දැඩි අවධානයක් යොමු කරාවි. ජාත්‍යන්තරය එක්ක වැඩියෙන් බද්ධ වේවි. එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ක වඩාත් සහයෝගයෙන් වැඩ කරාවි.
බයිඩන් මහත්තයා ඕවල් කාර්යාලයේ මුලින්ම වාඩි වුණේ අද. ට්‍රම්ප් මහත්තයා විසින් ක්‍රියාත්මක කර තිබුණු විධායක ක්‍රියාමාර්ග 17ක් පළමු වැනි දවසේම ආපසු හරවන්න ඔහු කටයුතු කළා. දේශගුණ විපර්යාස පිළිබඳව වූ පැරිස් සම්මුතියට නැවත එක් වීම, දැඩි සංක්‍රමණික නීති ලිහිල් කිරීම හා මුස්ලිම් රටවල් 6 කට පනවා තිබුණු සංචාරක සීමා ඉවත් කිරීම මීට ඇතුළත්.
බයිඩන් යුගයේ විදේශ ප්‍රතිපත්තිය ගැන හා එයින් ලෝකයට වෙන බලපෑම සවිස්තරාත්මක ලිපියකින් කියන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් බයිඩන්ගේ කණ්ඩායමෙන් ලංකාවට කිසිම බලපෑමක් ඇති නොවෙනවා කියන උපකල්පනයෙන් ඒ ලිපිය ලියන්න බලාපොරොත්තු වෙනවා. එහෙම වුනොත් මේ පිටුව තව ටිකක් කල් යහතින් කර ගත හැකි.
දැන් ඉතින් සටන ඉවරයි. ‍කෙතරම් දැඩි සටනක් තිබුණත් ට්‍රම්ප් මහත්තයා ධවල මන්දිරයෙන් යන්න ගියා. ඒත් තමන් පැරදුණු බව ඔහු පිළිගන්නේ නැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ සමුගැනීම බොහෝ පිරිසකට හැඟීම්බර අවස්ථාවක් වුණා. CNN සේවයට නම් තිබුණේ රනිල් පැරදුණාම සිරසට ආපු ජොලිය. ට්‍රම්ප් යුවල රැගත් Airforce One ගුවන් යානය මේරිලන්ඩ්හිදී Joint Base Andrews ගුවන් හමුදා කඳවුරෙන් අහසට නැගෙද්දී ෆ්‍රෑන්ක් සිනාත්‍රාගෙ My way නම් ගීතය ගුවන් පථයේ වාදනය කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණා. ඒකට උඩින් CNN මාධ්‍යවේදියා කිණ්ඩියට හිනාවෙන හඬ ලෝකෙටම ඇසුණා.
-ශානක ලියනගම (ලෝකය එකම යායක්)

Leave A Reply

Your email address will not be published.