ඇමෙරිකානු ඉතිහාසයේ වයස්ගතම ජනාධිපතිවරයා ‘ජෝ බයිඩන්’ දිවුරුම් දෙයි

46 වැනි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර ජෝන් රොබට්ස් ඉදිරියේදී වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලේ දී ඊයේ (20) දිවුරුම් දුන්නේ ය.

ඇමෙරිකානු ඉතිහාසයේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස 78 හැවිරිදි ජෝ බයිඩන් ඉතිහාස සටහන් වෙයි.
ජෝ බයිඩන් 1965දී විශ්වවිද්‍යාල අධ්‍යාපන නිම කළ අතර නීති විද්‍යාලයෙන් උපාධිය හිමිකර ගැනීමෙන් පසු බයිඩන් විල්මින්ටන්, ඩෙලවෙයා ප්‍රදේශයේ නීතිඥයෙකු ලෙස තම වෘත්තීය ඇරඹීය.

බයිඩන් ප්‍රථම වරට සෙනෙට් මණ්ඩලයට තේරී පත්වී ඇත්තේ 1972 දීය. 1987 වසරේදී සහ 2008 වසරේදී ද ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීමට ඔහු උත්සාහ දැරුව ද එම ප්‍රයත්නයන් සාර්ථක වුවේ නැත.
46 හැවිරිදි වියේ පසුවූ තම පුතුගේ හදිසි මරණය හේතුවෙන් බයිඩන් 2016 දී අමෙරිකානු ජනපති සටනට එක්වූයේ නැත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝනියා සොටොමෙයර් ඉදිරියේ දිවුරුම් දුන් කමලා හැරිස් 56 හැවිරිදි වියේ පසුවන අතර ඇය ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු උප ජනාධිපතිවරිය වෙයි.

ජෝ බයිඩන් සහ කමලා හැරිස් ඔවුන්ගේ ධුරවල දිවුරුම් දීම ඇමෙරිකානු ඉතිහාසයේ 59 වැනි දිවුරුම් දීමේ උත්සවය ලෙස ද සටහන් වේ.

Leave A Reply

Your email address will not be published.