පැණිය අවුල් ද ඇමතිතුමා ?

කාලෙකින් හිච්චි කොලුවට පාර පැත්තට යන්නත් බැරි වුණා. කෝකටත් කියලා හිච්චි කොලුවට හිතුණා කොවිඩ් හැදුණ ඇමති කෙනකුට කෝල් එකක් දෙන්න.
“ආ… සර්… මැච් එක ඕපන් කරල සද්ද නැතුව ඉන්නවා නේ… කොහොමද සැප සනීප…?”
“සතුටින් ඉන්නවා මල්ලි… රාවණා පැණියත් බිව්වා. දැන් හොඳයි…”
“අනේ ඉතින් රටේ වාසනාව… කොහෙ ඉස්පිරිතාලෙ ද ඉන්නේ ? කොහොම ද සැපපහසුකම් ?”
“අම්මා… උපරිමයි…  මොන ඉස්පිරිතාලයක් ද මල්ලි මේක…..  නෑ නෑ.. මම කිව්වෙ නියමයි… ෂහ්…”
“හරි හරි… එහෙනම් සැපෙන් ඉන්න ඕන…” හිච්චි කොලුවා ෆෝන් එක තිබ්බා. ආයේ කෝල් එකක් ගත්තා, තව කෙනකුට…
“ආ.. ඇමති සීයේ… කොහොමද ලෙඩ දුක්… සනීපෙන් ද…?”
“උඹට මොකටද ඒවා…?”
“නෑ ඉතින් නිකම් ඇහුවේ… සීයේ… අර වැක්සින් ඕන නෑ…
“සීයලට ඕන වෙලාවෙ වැක්සින් ගේනවා කිව්වේ ? දැන් ඕන වෙලාව ආව ද?”
“උඹට මම කියන්නේ නෑ… ප……” ඉතුරු ටික ඇහෙන්න කලින් ෆෝන් එක තිබ්බා… මේකෙත් පොඩි ආතල් එකක් තියෙනවා… ගත්තා අර පක්ෂ නායකතුමාට…
“නායකතුමා භූමදානෙ ද පුච්චනව ද කියලා හොයන වෙලේ ලෙඩේ හදා ගන්නෙ නැතුව ඉන්න විදිය හෙව්ව නම් හොඳ නැද්ද…?”
කූන්ග්.. කූන්ග්.. කූන්ග්..
ලයින් එක කට් කරලා… ආයේ ගත්තා… ෆෝන් එක ඕෆ්… ගත්තා කෝල් එකක් හොරණ පැත්තෙ ඇමතිතුමාට.
“ඇමතිතුමා, ධම්මික පැණිය බිලත් ගොඩ ගියේ නෑ නේ ද?”
“මේ හිච්චි කොලුවා පුතා… ඔයා … වැඩක් බලන් ඉන්නකෝ හොඳ දරුවා වගේ…”
“එහෙම නෙමේ සර්… දැන් දේශීය දේවල්වලට දොස් කියනවා කියලා මාස්ක් එහෙම නැතුව ඔබතුමා සැරිසරනවා මම දැක්ක ටීවී එකේ…”
“කොලුවෝ…… උඹට මම… මේ පුතා… ඔයාගෙ වැඩක් බලන් ඉන්නව ද?”
කෝකටත් කියලා හිච්චි කොලුවා ෆෝන් එක තිබ්බා… ගත්තා කෝල් එකක් හොරණ ඇමතිතුමා එක්ක ටයර් ෆැක්ටරිය විවෘත කරන්න ගිය තව ඇමති කෙනෙකුට.
“ආ… ඇමතිතුමා… ඔබතුමා කොවිඩ් ආශ්‍රිතයෙක් වෙලා නේ ද? නිරෝධායනය වෙලා ද ඉන්නෙ…? මම දැක්ක නේ ඔබතුමා මාධ්‍ය සාකච්ඡාවකුත් තියනවා… ඔබතුමාලා ඉන්ජෙක්ෂන්….”
කූන්ග්… කූන්ග්… කූන්ග්… ඔක්කොම කියන්න වුණේ නෑ. කට් කළා.
අනේ මන්දා… මේගොල්ල නටන මේ පිස්සු නිසා අනාථ වෙන්නේ මේ රටේ මිනිස්සු නේද කියලා හිතුණා. වෙන දෙයක් වෙන්න කියලා හෙට ඉඳලා ඉස්කෝලේ යන්නත් ඕන නේ.  හිච්චි කොලුවා ඒකට ලැහැස්ති වුණා.
Leave A Reply

Your email address will not be published.