එහෙනම් කොල්ලො අපි ගියා. ට්‍රම්ප්ගෙන් නව දේශපාලන පක්ෂයක්..

ජෝ බයිඩන් මහත්තයාගෙ පදවිප්‍රාප්තියට වොෂින්ටන් නුවර කඩිමුඩියේ ලක ලෑස්ති වෙද්දී ට්‍රම්පච්චි පිට පාරෙම යන්න ගියා. සියවස් එකහමාරක් තිස්සේ ඇමෙරිකාවේ පැවති දේශපාලන සම්ප්‍රදාය අද දකින්නට ලැබෙන්නෙ නෑ. බොහෝ විට ජනාධිපතිවරු ගෙදර ගියේ තමන්ගේ මුළු කාලයම ඒ කියන්නේ අවුරුදු 8ම සේවය කිරීමෙන් පසුව. මීට කළින් ජෝජ් බුෂ් හෙවත් ලොකු බුෂ් මහත්තයාටත් බිල් ක්ලින්ටන්ට පැරදිලා කළින්ම යන්න වුණා. ඒත් උන්නැහේනම් ක්ලින්ටන්ව උණුසුම් ලෙස පිළිගෙන ධවල මන්දිරයෙන් නික්ම ගියා.
වොෂින්ටන් නුවර කැපිටල් හිල් ගොඩනැගිල්ලේ ඉඳන් වොෂින්ටන් ස්මාරකය දක්වා තිබෙන සැතපුම් 2ක් දිග National Mall තැනිතලා භූමිය වෙනදානම් ජනපති පදවි ප්‍රාප්තියට පිරී ඉතිරී යනවා. ඒත් අද ඒ සියල්ල වෙනස් වෙලා. වොෂින්ටන් නුවර ලොක්ඩවුන් කරලා. ඊට අමතරව ආරක්ෂාව ගැන විශාල සැක සංකා මතු වෙලා. ජනාධිපතිවරණයෙන් පස්සේ වෙන කවරදාටත් වඩා ඇමෙරිකාව දෙකට බෙදිලා. මේ වන විට වොෂින්ටන් නුවරට 25000ක හමුදා බල ඈණියක් කැඳවා තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විදියට ඊයේ අවසාන වරට ජාතිය අමතා කතා කළා. උප ජනාධිපති මයික් පෙන්ස් ඇතුළු ඔහුගේ ගමන් සගයන්ට ස්තුති කළා. සියළුම ඇමෙරිකානුවන්ට ප්‍රණාමය පුද කළා. තමන්ගේ යුගයේදී ඇමෙරිකා ආර්ථිකය ඉහළට ඔසවා තැබූ බව ප්‍රකාශ කළා. චීනය සමග වූ වෙළෙඳ යුද්ධය ජය ගත් බවත් ජනතාව මත පටවා තිබු අධික බදු බර අඩුකළ බවත් පැවසුවා. චයිනීස් වෛරසයෙන් ලෝකයම කොට උඩ යවපු බවට චීනයට චෝදනා කළා.

ඇමෙරිකානු සෙබළුන්ගේ ජීවිත නිරර්ථක යුද්ධ වෙනුවෙන් බිලි දෙන්න තමන් අකමැති වූ බවත් අලුතෙන් යුද්ධයක් ආරම්භ නොකළ මෑත කාලයේ සිටි එකම ඇමෙරිකානු ජනාධිපතිවරයා තමන් බවත් සාඩම්බරව ප්‍රකාශ කළා.

අන්තිම දවසේ ට්‍රම්ප් මහත්තයා දිගට හරහට ජනාධිපති සමාව දුන්නා. මෙසේ ජනාධිපති සමාව ලැබූ සංඛ්‍යාව 143ක්. නිදහස් වූ අය අතර ස්ටීව් බැනන් නම් ට්‍රම්ප් මහත්තයාගේ උපදේශකයක් මෙන් වූ ප්‍රබලම ආධාරකරුවාද සිටිනවා.

මේ අතර Republican පක්ෂයේ ප්‍රබලයන් ට්‍රම්ප්ගෙන් බොහෝ සෙයින් දුරස් වී ඇති බවයි ආරංචිය. ට්‍රම්ප්ගේ සමුගැනීමේ සාදයට සහභාගි වෙන එක පෙන්ස් මහත්තයා මහ හැරියා. ඒ වෙනුවට ඔහු බයිඩන් මහතාගේ දිවුරුම් දීමට සහභාගී වීමට නියමිතයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අලුත් දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට සූදානම් වී සිටින බව Wall Street Journal සඟරාව වාර්තා කරනවා. මේ ගැන ට්‍රම්ප් මහත්තයා තම ආධාර කරුවන් හා හිතවතුන් සමඟ කතා බහ කර ඇති බව කියවෙනවා. එසේ නව දේශපාලන පක්ෂයක් ආරම්භ වුවොත් එය Patriot Party හෙවත් දේශප්‍රේමී පක්ෂය ලෙසින් නම් තැබෙනු ඇති. 2024 දී ට්‍රම්ප් සුළඟ සමඟ බලය අල්ලන්න ඔහුගේ අදහසක් ඇති බව මාධ්‍ය වාර්තා පලවෙනවා.

ට්‍රම්ප් මහත්තයාගේ දේශප්‍රේමී පක්ෂය සියවස් ගණනාවක් පැරණි Republican – Democratic සම්ප්‍රදායික ඇමෙරිකානු දේශපාලනයට අභියෝග කරන්න තරම් ශක්තිමත් නෙළුම් පොහොට්ටුවක් වේදැයි කියන්න තවම කල් වැඩියි.
-ශානක ලියනගම (ලෝකය එකම යායක් )

Leave A Reply

Your email address will not be published.

twelve + ten =