න්‍යෂ්ටික බොත්තම ට්‍රම්ප් රැගෙන යයිද?

ලෝකයේ වැදගත්ම බ්‍රීෆ්කේස් එක එහෙම නැත්නම් බෑග් එක තියෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිතුමා ළඟ. ඒ බ්‍රීෆ්කේස් එක කොයිතරම් වැදගත්ද කිව්වොත් එක තත්ත්පරයක්වත් එය ජනාධිපතිවරයාගේ භාරයෙන් ඉවත් වෙන්නෙ නැහැ. ජනාධිපතිවරයා කොහේ ගියත් ඔහුගේ හමුදා ආරක්ෂකයා විසින් එය රැගෙන යනවා. ඒක අත්හල නොහැකි වගකීමක් වගේම සම්ප්‍රදායක්.
මේ බ්‍රීෆ්කේස් එකට නම් තබා තිබෙන්නේ න්‍යෂ්ටික පාපන්දුව (Nuclear Football) යනුවෙන්. සාමාන්‍ය මිනිස්සු මේකට බොත්තම (Button) නැත්නම් කලු පෙට්ටිය (Black Box) කියලත් කියනවා. මේ පෙට්ටියට පුළුවන් ‍එක තත්ත්පරයකින් ලෝකයේ ඉරණම තීන්දු කරන්න. මේ ගැන ජනප්‍රිය මතය වෙන්නෙ ඇමෙරිකාව සතු න්‍යෂ්ටික අවි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බොත්තම ඒ පෙට්ටිය ඇතුළෙ තිබෙන බව. ඒත් ඇත්තටම ඒකෙ තියෙන්නෙ න්‍යෂ්ටික ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමට ඕනෑම මොහොතක අණදීමට හැකි උපකරණ කට්ටලයක් බවයි වාර්තා වෙන්නේ. න්‍යෂ්ටික පද්ධති වෙත ප්‍රවේශය හා න්‍යෂ්ටික කේත අනුමත කිරීමේ යාන්ත්‍රණය තමයි මේ කට්ටලයේ තිබෙන්නේ.

ජෝ බයිඩන් සහ නෝන මහත්තයයි අද ධවල මන්දිරයේ පදිංචියට එනවා

ජනාධිපතිතුමා ධූරය දරන අවසාන තත්ත්පරය දක්වා මේ න්‍යෂ්ටික පාපන්දුවේ භාරකාරත්වය ඔහුට හිමිවෙලා තිබෙනවා.
අවුරුදු හතරක් තිස්සේ ලෝකයේ බලවත්ම පුද්ගලයා ලෙස වැජඹුණු අපේ හිතවත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා අද ගෙදර යනවා. නව ජනාධිපති ජෝ බයිඩන් මහත්තයයි උන්නැහේගෙ නෝන මහත්තයයි අද හවස ධවල මන්දිරයේ පදිංචියට ඒමට නියමිතයි. එතුමාගෙ දිවුරුම් දීමත් අද සවස සිදුවීමට නියමිතයි.

අද රෑ 11 පසු වී මිනිත්තු 59 තත්ත්පර 59 වෙනකල් න්‍යෂ්ටික පාපන්දුව ට්‍රම්පච්චි ගාව

අද හිටපු ජනාධිපතිවරයා ගුවන් යානයට නැගී ගම රට බලා ගියත් අද මැදියම් රෑ 11 පසු වී මිනිත්තු 59 තත්ත්පර 59 වෙනකම්ම ඇමෙරිකාවේ ජනාධිපති වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ක්‍රියාත්මක වෙන්නෙ ඔහුගෙ නියෝග.
සේනාධිනායකයා වශයෙන් යුද ප්‍රකාශ කරන්නේ ඔහු. කොටින්ම කිව්වොත් න්‍යෂ්ටික යුද්ධයකට අණ දෙන්නේ ඔහු. ඒ නිසා න්‍යෂ්ටික පාපන්දුවත් ඒ අවසාන තත්ත්පරය දක්වා තිබිය යුත්තේ ට්‍රම්පච්චි ගාව.

බයිඩන්ගේ දෑහැටවත් මුලිච්චි වෙන්න ට්‍රම්ප් කැමති නෑ

දිවුරුම් දීමේ උත්සවයේදි තමයි මේ න්‍යෂ්ටික පාපන්දුව සම්ප්‍රදායානුකූලව නව ජනාධිපතිවරයාට භාර දීම සිදුවෙන්නේ. ඒ ඔහුගේ පූර්වගාමියා අතින්. ජෝන් එෆ් කෙනඩිගේ සිට පත්වූ සියළුම ජනාධිපතිවරුන් මේ වගකීම ඉෂ්ඨ කළා.
සියවස් එකහමාරක් තිස්සේම ඉන්න ජනාධිපතිවරයා අලුතින් පත් වූ ජනාධිපතිවරයාට ධවල මන්දිරය භාර දී සුහදව සමු අරන් තමයි ගෙදර ගියේ. බිල් ක්ලින්ටන්ට පැරදුණු ලොකු බුෂ් මහත්තයා ක්ලින්ටන්ට අවවාද දී ලියුම්කුත් ලියා තබා ගියා.ඒ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් හරිම ලස්සනයි.

ඇමෙරිකා ආරක්ෂක අංශ ක්‍රියාත්මක වෙන්නේ ව්‍යවස්ථාවට අනුකූල

ඒත් මෙවර ඉතිහාසය කණපිට පෙරළුණා. බයිඩන්ගේ දෑහැටවත් මුලිච්චි වෙන්න ට්‍රම්ප් කැමති නැහැ. උන්නැහේ පිට පාරෙම ධවල මන්දිරයෙන් නික්ම ගියා. දිවුරුම් දීමේ උත්සවයට ට්‍රම්ප් මහත්තයාගෙ නොපැමිණීම සාමාන්‍ය ඇමෙරිකානුවන්ට හිතට බරක් ගෙන දුන්නත් බලහුවමාරුවේ වඩාත්ම වැදගත් අංගය මේ න්‍යෂ්ටික කේත හුවමාරුව බව පෙන්ටගනය හෙවත් ඇමෙරිකා ආරක්ෂක අමාත්‍යාංශය දන්නවා. බැරි වෙලාවත් න්‍යෂ්ටික පාපන්දුව ලබාදීම ට්‍රම්ප් විසින් මග හැරියොත් ඊට විකල්ප සැළසුම් පෙන්ටගනය සතුව තිබුණා. කොහොමත් ඇමෙරිකා ආරක්ෂක අංශ ක්‍රියාත්මක වෙන්නේ ජනාධිපතිවරයාගේ නියෝග වලට වඩා ව්‍යවස්ථාවට අනුකූලවයි.

න්‍යෂ්ටික පාපන්දුවේ තවත් පිටපත් දෙකක් තියනවා

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ සර්ව බලධාරී නායකයෙක්ගෙ වටේ නොවෙයි. ඒක හරිම සැළසුම් සහගතයි. සංකේතාත්මකව ජනාධිපතිවරයා සතුව තිබෙන මේ න්‍යෂ්ටික පාපන්දුවේ තවත් පිටපත් දෙකක් ඇමෙරිකාව සතුව තිබෙනවා. එයින් එකක් තිබෙන්නේ උප ජනාධිපති වරයා භාරයේ. අනික තිබෙන්නේ ජනාධිපතිවරයා පත් වෙද්දීම නම් කරන කැබිනට් ඇමති වරයෙකු භාරයේ. බැරි වෙලාවත් ජනාධිපති, උප ජනාධිපති දෙන්නාටම එක වර යම්
අකරතැබ්බයක් වුණොත් එහෙම තුන් වන විකල්පයකුත් ඔවුන් සතුව තිබෙනවා.

නමුත් න්‍යෂ්ටික යුද්ධයක් ආරම්භ කරනවා කියන්නේ කාෂ්මීර අර්බුදය වගේ ගැටුමක් නෙවෙයි. මහාද්වීප පිටින්ම රටවල් අළු දූවිලි වෙලා යන්න පුළුවන්. අපි ජීවත් වන ග්‍රහලෝකයේ අවසානය වෙන්නත් පුළුවන්. ඒ නිසා එවැනි භාරදූර තීරණයක් ගැනීමට බලය හා වගකීම සහිත ජනාධිපතිවරයා හඳුනාගැනීමට අවශ්‍ය කේත අඩංගු ඉලෙක්ට්‍රොනික බිස්කට් එකකුත් ජනාධිපතිවරයා සතු න්‍යෂ්ටික පාපන්දුව තුළ තිබෙනවා. අනිකුත් පිටපත් දෙකේ ඒක නැහැ.

මහ රෑ 12.01ට ගුවන් යානය පෙරළා වොෂින්ටනයට එයිද?

කොහොම නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලනය මොන තරම් උණුසුම් වුණත් න්‍යෂ්ටික කේත ගෙදර අරන් යන්න තරම් පිස්සුවක් ඔහුට නැති බව ට්‍රම්ප් ව්රෝධී මාධ්‍ය පවා දක්වා තිබෙනවා. හැමදාමත් හිටපු ජනාධිපතිවරයා ධවල මන්දිරයෙන් නික්ම යන විට න්‍යෂ්ටික පාපන්දුව රැගෙන හමුදා නිලධාරියෙක් ඔහුත් සමගම පිටත්ව යනවා. හරියටම මැදියම් රැයේ ජනාධිපති බලය ස්වයංක්‍රීයව හුවමාරු වෙනතුරු ඔහු ජනාධිපතිවරයා සමඟ සිටිනවා. මහ රෑ 12.01ට යක්කු ගස් යන වෙලාවට ඔහු ජනාධිපතිවරයා රැගෙන ගිය ගුවන් යානයෙන් පෙරළා වොෂින්ටනයට පැමිණෙනවා.

නමුත් මෙවර පෙන්ටගනයට ඇත්තේ වෙනත් සැළසුමක්. මහ දෙන්නාගේ නොහොඳ නෝක්කාඩුව නිසා සම්ප්‍රදායන් වෙනස් වෙලා තිබෙනවා. බොහෝ විට ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය වූ Air force One යානයෙන්ම ට්‍රම්ප් මහත්තයා තම ගම් පළාත වූ ෆ්ලොරීඩාවට යනු ඇති බවයි ඔවුන්ගේ අදහස. ඔහු සමග න්‍යෂ්ටික පාපන්දුව රැගෙන යන නිලධාරියාට දහවල් වන විට වොෂින්ටනයට පැමිණෙන ලෙස උපදෙස් ලැබී තිබෙනවා. එතැන් සිට රෑ 12 පසු වෙනකම් ඉතිහාසයේ පළමු වරට මේ න්‍යෂ්ටික බොත්තමේ නිල අයිතිය අත් හිටවනු ඇති. ජෝ බයිඩන්ට වුණත් ඒ මොහොත වෙන තුරු මේ න්‍යෂ්ටික පාපන්දුවේ අයිතිය ලබා ගැනීමට බැහැ. ඔහු දෙන නියෝගයක් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. මේ නොනගත අලකලංචිය ගැන උතුරු කොරියාවෙ මහත ළමයා දැන ගත්තොත් ඒ පැය ගණනෙත් සෙල්ලමක් දාන්න බැරි කමක් නෑ.
-ශානක ලියනගම (ලෝකය එකම යායක්)

Leave A Reply

Your email address will not be published.

three × 5 =