ජනපතිට අපහාස කළැයි අත්අඩංගුවට ගත් පුද්ගලයාට රැදවුම් නියෝගයක් !

ෆේස්බුක් හරහා ජනාධිපතිවරයාට අපහාස කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් ෆසාල් මොහොමඩ් නිසාර්ව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් අද (18) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ලබා දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ සැකකරුගේ බැංකු ගිණුම් හරහා සැකකටයුතු ලෙස විශාල මුදලක් සංසරණය වී ඇති බවය.

එම නිසා ඔහුව දින 90ක කාලයක් පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා විසින් රැඳවුම් නියෝගයක් නිකුත්කර ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත්කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඔවුන් විසින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබේ.

ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිවන ආකාරයෙන් වෛරී ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනාව මත අදාළ පුද්ගලයාව පසුගිය ජනවාරි 12 දින අත්අඩංගුවට ගෙන තිබිණි. නමුත් ඔහු සැකකටයුතු ආකාරයෙන් මුදල් උපයාගෙන ඇති බව පවසමින් ආරක්ෂක අමාත්‍යංශයෙන් රැඳවුම් නියෝග නිකුත් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

one × five =