ඔන්ලයින් සාපය
වළලුකර කැපී රිදුම් දෙනව ද
කියාපන් අප්පච්චියේ
බාන පොල් වලු තරමටම අද
කාසි ලැබුණ ද හංදියේ
හැන්දැ වී නුඹ ගෙදර එනකොට
කඩුල්ලත් මං මුර කළේ
වෙනද වාගේ මඟ බලනු බෑ
ඔන්ලයින් අපෙ පංතියේ
ගහෙන් ගහ නැඟ පෙරා දහදිය
අරන් දුන් දුරකථනයේ
දවස තිස්සෙම බලන් ඉඳලා
කඳුළු පැන්නා ඇස් දෙකේ
ඔළුව බර වී හුඟක් වේලා
නිඳා උන්නා දහවලේ
අනේ දැන් නම් අකුරු එක්කත්
කේන්තියි අප්පච්චියේ
ටීච කියනා ගොඩක් දේවල්
ඇහෙන් නෑ අපෙ කාමරේ
‘පු’ යන්නට පසු ‘තා’ යන්න මට
ඇහුණෙ පස්සෙයි ඒ වෙලේ
නොදී උත්තර හිටියා කියලා
බණින හින්දා හැම වෙලේ
මිදුලෙ අඹ ගහ උඩට නැග්ගේ
අල්ල ගන්නයි සිග්නලේ
මාව දැකලා කෑ ගසාගෙන
අම්ම දුවගෙන ආ වෙලේ
පඩිය ලිස්සා ඇදන් වැටුණා
ලේත් තිබුණා හිස වටේ
අකුරු නැතුවට කමක් නෑ මං
පොල් කඩන්නම් හංදියේ
මේක විකුණා අපේ අම්මව
බේරපන් අප්පච්චියේ