“නියාමනයට ලක්කළ යුතු ලවුඩ්ස්පීකර් බුද්ධාගම” සඟ රුවනකින්ම යෝජනාවක්

ආගමික පුජකවරුන්ට ( සෑම ආගමකම) මිනිසුන්ගේ ලෞකික ජීවිත වලට බාදා වන ‍හෝ හානි පමුණුවන ලෙස ක්‍රියාකිරීමේ බලයක් නැහැ. මෙන්න මේ අර්ථයෙන් තමයි සෑම ආගමකම පාහේ ඇතැම් ආගමික චර්යාවන් අපේ විවේචනයට ලක්වෙන්නේ. පොදු අවකාශයේදී ආගමික චර්යාවන් ලෞකික මිනිසුන් ගේ ජීවිත වලට බාදාවක් නම් එය අප විවේචනය කරන්නේ ඒ ඒ ආගම් ගැන හෝ ඒ ඒ ජනවර්ගය ගැන තියෙන ජාතිවාදී හැඟීමකින් නෙමෙයි. ඇත්ත ව‍ශයෙන්ම එහෙම විවේචනාත්මක අදහස් දරන්නේ පොදුවේ මිනිසුන්ගේ නිදහස් ලෞකික පැවැත්මට එය හානි කරන නිසා. මිනිසුන්ගේ ලෞකික නිදහස අහුරණ නිසා.

විවිධ ආගමික ස්ථානවල සිය ආගමික වත් පිළිවෙත් සඳහා නිරන්තරයෙන් ලවුඩ් ස්පීකර් භාවිතා කිරීම නිසා ඇතිවන මහා ශබ්ධ ඝෝෂාවට බොහෝ දෙනා කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ ගැන විවිධ සංවාද සමාජයේ පවතිනවා.ලංකාව ගත් විට නම් ආගමික කටයුතු සඳහා ලවුඩ්ස්පීකර් භාවිතා කිරීම වැඩියෙන්ම කෙරෙන්නේ බෞද්ධ පංසල් ආශ්‍රයෙන් කියලා හිතන්න පුළුවන්. මොකද ලංකාවේ වැඩි ජනගහනයක් බෞද්ධ වීම සහ වැඩිම ආගමික ස්ථාන ලෙස බෞද්ධ ස්ථාන පැවැතීම නිසා. ඊ ලඟට ඉස්ලාම් සහ හින්දු යන ආගම් අදහන අයත් බොහෝ විට වැඩිපුර පොදු අවකාශයේ සිය ආගමික වතාවත් සඳහා ලවුඩ්ස්පීකර් බාවිතා කරනවා.
කොහොම වුණත් ආගමික කටයුතු සඳහා ලවුඩ්ස්පීකර් බාවිතා කිරීම ගැන භික්ෂූන් වහන්සේ නමක් විසින්ම විද්‍යාත්මක කරුණු සහිතව පැහැදිළිව ලියපු ලිපියක් පසුගිය සතියේ රාවය පුවත් පතේ ( ජනවරි 09 , 2021) පළ වී තිබුණා. “නියාමනයට ලක්කළ යුතු ලවුඩ්ස්පීකර් බුද්ධාගම” නමින් වූ මේ ලිපිය ලියලා තිබුණේ රත්තනදෙනියේ මේධානන්ද හිමි නම් භික්ෂූන් වහන්සේ නමක් විසින්. අධික ශබ්ධය මිනිසුන්ගේ මෙන්ම වන ජීවීන් ගේ පැවැත්මට හානි කරන අන්දම මේ ලිපියෙන් ඉතාමත් තර්කාණුකූලව, විද්‍යාත්මක ලෙසින් පෙන්වා දී තිබෙනවා. එමෙන්ම ලවුඩ්ස්පීකර් භාවිතා කිරීම ගැන ර‍ටේ පවතින නීති රීති ගැනත් උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා. භික්ෂූන් වහන්සේලාම මෙවැනි ආගමික තත්වයන් පිළිබඳ අදහස් දක්වන්නට ඉදිරිපත් වෙන එක ඉතා වැදගත්. පහත කොටස උපුටා ගන්නේ උන් වහන්සේ ගේ ලිපියෙන්.

( ඉහළින්ම නිහඬතාවය අගය කළ ශාස්තෘන් වහන්සේ කෙනෙක්ගේ දහමක් පිළිගන්නා  ලවුඩ්ස්පීකර් ගෝරනාඩුව පාන්දර සිට දස අත පතුරුවමින් සිටි‍න්නේ අනාගත පරපුර බිහිරන් කිරීමේ ව්‍යාපෘතියකට දායක වන්නා සේය.
එවිට රාත්‍රී වැඩමුරය අවසන්කොට පාන්දර නින්දට වැටෙන කම්කරුවන් ද, දුර බැහැර ගමනක් බිමනක් ගොස් පසුදා වැඩට යාමට පාන්දර පැයක දෙකක සුව නින්දක් පතන මිනිසුන්ද, මහල්ලන්ද , රෝගීන් ද බිලින්දන්ද යන සියල්ලෝම ලවුඩ්ස්පීකර් නාදයෙන් අවදි වී පිරිත් ඇසිය යුතුය. විභාගවලට සූදානම් වන දරුවන්ට පාඩම් කිරීමට ඇති කාලයෙන් වැදගත්ම හෝරා දෙකක් අත්හැරිය යුතුය. ඇතැම් බිරින්දෑවරුන් රාජකාරියට යන ස්වාමියාට උයා පිහා දෙන්නේත් ගෙදර දොර කටයුතු කරගන්නේත් කුඩා ළමුන් නිදි ගන්වා ලබා ගන්නා නිදහසිනි. ලවුඩ්ස්පීකර් නාදයෙන් දරුවන්ගේ අවදීවීම නිවසේ කටයුතුලදී කොතරම් වදයක් දැයි දන්‍නේ දරුවන් දෙතුන් දෙනා ඇති මව්වරුන් මිස භික්ෂූන් වහන්සේලා නොවේ. පිරිත් ඇසීමට අවශ්‍ය නම් ඕනෑම නිවසක ඒ සඳහා රෙඩි‍යෝ කැසට් වැනි උපාංග තිබෙන යුගයක ගම්වාසීන්ට බලහත්කාරයෙන් පිරිත් ඇස්සවීම නොකළ යුතු ක්‍රියාවකි. ඔවුන්ට එය පීඩාවක් වුවද ඊට විරුද්ධ නොවන්නේ පන්සල කියන නිල නොලත් පාලන අධිකාරියේ බලයට අභියෝග කිරිමට ඔවුනට නොහැකි නිසාය. “ බණ පිරිත් වලටත් අකමැති බෞද්ධයෝ” යැයි ලේබලය අලවන අනෙක් මිනිස්සුන්ගේ ගර්හාවටත් අවමානයටත් ලක්වීමට ඇති අකමැත්ත නිසාය. මරණයකදී පාංශුකූලය නොදී අවසන් කටයුතු කිරීම සමාජ අපවාදයක් නොවන්නට ඇත්‍තෙන්ම මිනිස්සු වැඩි හරියක් අද තමන්ට මහත් පීඩාවක් හා බරක් වී තිබෙන ආගමෙන් නිදහස් වී බොහෝ කල්ය. )

මෙම අදහසට ව්‍යතිරේඛයක් ඉදිරිපත් කරන්නත් මම හිතුවා. විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතිය මත පදනම් වන වෙසක් සහ පොසොන් වැනි උත්සව අවස්ථාවල පැවැත්වෙන තොරණ, සල්පිල්, දන්සැල් ආදී විචිත්‍ර සංස්කෘතික උත්සව වලදී මෙන්ම, විනෝදාස්වාදය සපයන සංගීත සංදර්ශන වැනි අවස්ථාවල දී ලවුඩ්ස්පීකර් හෝ බෆල් යනාදිය භාවිතා කිරීම ලිහිල් පිළිවෙතක් අනුගමනය කරාට වැරැද්දක් නෑ. ඒ වගේම එවැනි දේ ගැන නම් ශ්‍රී ලාංකීය සමාජයේ විරෝධතාවක් නැහැ. මීට හේතු දෙකක් මූලික වශයෙන් තියෙනවා. එකක් මේ වගේ දේවල් අවුරුද්ද පුරා දින පතා පැවැත්වෙන්නේ නැහැ. අනිත් එක ඒ සංස්කෘතික විචිත්‍රත්වය රටකට අවශ්‍යයි. අනිත් ආගම් වල විචිත්‍ර සංස්කෘතික උත්සව වලටත් මෙය අදාලයි.

මීට අමතරව පොදු ප්‍රවාහන සේවා වන පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් නම් ශබ්ද පාලනය ගැන තද බල නීති රීති ගෙන ආ යුතුයි. දැනට එවන් නීති ඇත්නම් ඒවා නිසියාකාරව ක්‍රියාත්මක කළ යුතුයි. නීති නැත්නම් අලුතින් හැදිය යුතුයි. මිනිසුන්‍ ගේ ලෞකික ජීවිතයට එහි සුභාවිත පැවැත්මට ශබ්දය අවශ්‍යයමයි. එහෙත් එය භාවිතා කළ යුත්තේ අදාල පදමට එහෙමත් නැත්නම් නිසි මාත්‍රාවට.

ආගමික ශාස්තෘන් බිහිවුණු කාලයේ මෙවන් ලවුඩ්ස්පීකර් තාක්ෂණ ති‍බුණේ නැහැ. එදා නොතිබුණු තාක්ෂණය මේ නවීන යුගයේ ආගම වේවා, වෙන යම් දෙයක් වෙනුවෙන් හෝ වේවා භාවිතා කිරීම නොකළ යුතු යයි මෙයින් අදහස් වන්නේ නැහැ. එහෙත් ආගම හැකිතාක් දුරට අනෙක් අයට වදයක්, හිරිහැරයක් නොවන ලෙස භාවිතා කිරීම ශිෂ්ඨ සම්පන්න සමාජයක මිනිසුන්ගේ යුතුකම සහ වගකීම විය යුතුයි. ආගම් වලට ආදරය කරන අය, ආගමික භක්තිය උතුරා යන අය එය පෞද්ගලික ලෙස ඇදැහුවාට කිසිම වරදක් නෑ. අපගේ මේ ප්‍රජාතන්ත්‍රීය අදහස අධික ශබ්දය ඇතිවන සේ ලවුඩ්ස්පීකර් යොදාගෙන නිරන්තරයෙන් ආගමික වතාවත් වල යෙදෙන සෑම ජනකොටසකටම අදාලයි.
-අතුල දිසානායක (fb)

Leave A Reply

Your email address will not be published.

15 − 9 =