වැම්පයර් කුළුණු

ලෝකයේ දෙනලද ඕනෑම නගරයක දුප්පත් මිනිස්සු ගොඩක් ඉන්න පුළුවන්. ඒ දෙනලද නගරේ දුප්පත් මිනිස්සුන්ගේ පැල්පත් වලට ඉහළින් අහස අල්ලන්න ඉහල නැගල තියන කුළුණු ඔබ දැකල ඇති. එහෙම දැක්කම පාලකයෝ විසින් අර කුළුණු හැදුව මුදල් කඳු වලින් අර දුප්පත් මිනිස්සුන්ගේ යම් යම් අවශ්‍යතා ඉටුකරලා දෙන්න පුළුවන් නේද කියලත් ඔබට හිතිලා ඇති. ඔව්..එහෙම අවශ්‍යතා ඉටුකරලා දෙන්න පුළුවන් තමයි. නමුත් ඉතිහාසයේ එහෙම වෙලා නැහැ. ඉතිහාසයේ සිදුවෙලා තියෙන්නේ උසට උසේ කුළුණු අහසට නැගපු එක සහ දුප්පත් පුංචි මිනිස්සු ආසාවෙන් අර කුළුණු දිහා බලා සිටපු එක. මතක තියාගන්න ආසාවෙන්…

මිනිස්සු එයාලගේ අවශ්‍යතා ඉටු නොකර පාලකයෝ කුළුණු හැදුවා කියල ඒ කුළුණු පෙරළුවේ නැහැ කවදාවත්. පාලකයින්ට වෛර කලෙත් නැහැ කවදාවත්. එයාල තව තවත් ඒ කුළුණු පාලකයින්ට ආශා කලා.. ආශා කලා… නියම ග්‍රීකයින් විදියට…
කුළුණක් හරහා පාලකයා සරළව සන්නිවේදනය කරන්නේ මම ඉන්නේ සාමාන්‍ය මිනිසුන්ට උඩින් කියන එක (above the average). සියල්ලට ඉහළින්..සියල්ල දකිමින්… ඉහළ තැනක ඉඳන් මම උඹල දිහා බලන් ඉන්නවා. මගේ ගේස් පොයින්ට් (gaze point) එකට උඹලා යටත්. කුළුණේ ගේස් (gaze of the tower) එක බලයේ සර්වබලධාරිත්වයක් ලෙස මිෂෙල් ෆූකෝ හඳුන්වා දෙනවා (omnipotence of authority). ඒ වගේම එය බලයේ සර්වව්‍යාපීකරණයක් ද වනවා (omnipresence of authority). උඹලා ඔක්කොමටම උඩින් ඉන්න මට සියල්ල පේනවා. මගේ දැක්මට උඹලා යටත්. උඹලා ඔක්කොම පේන විදියට තමයි මම ඉන්නේ. හැම තැනම මම ඉන්නවා. මගෙන් ගැළවෙන්න උඹලට බැහැ.

ඇමෙරිකාවේ මැන්හැටන් ලෝක වෙළද ගොඩනැගිල්ළේ උතුරු සහ දකුණු කුළුණු ඓතිහාසික සැප්තැම්බර් 11 වෙනිදා බිමට සමතලා උනාම ඩොනල්ඩ් ට්‍රම්ප් එකවරටම කිව්වා ‘දැන් මගේ කුළුණ තමයි මැන්හැටන් වල උසම කුළුණ’ කියල. ට්වින් ටවර් ඉවරයි …දැන් මට තමයි උඹලා පේන්නේ…බලාගෙන හිටපල්ලා…ඒ තමයි බලයේ සර්වාධිකාරය කුළුණක් හරහා ක්‍රියාත්මක වෙන විදිය.

හැම නූතන නගරෙකම වගේ අහස සිඹින කුළුණක් අටවලා තියනවා. ලන්ඩන්, නිව්යෝක්, ශැන්ග්හයි, තායිපේ, ක්වාලාලාම්පුර්..ඔය හැම තැනම. කුළුණක් නැති නගරෙක පෙම්වතුන් දෙන්නෙක් හමු උනොත් කිසි ගතියක් එයාලට එන්නේ නැහැ කියල අද වෙනකොට මනෝවිශ්ලේෂණය කියනවා. නිකම් හිස් බවක් එයාලගේ හිතට නැගෙනවා. කවුරුත් තමන් දිහා බලා සිටින්නේ නැහැ වගේ හැඟීමක් එයාලට එනවා කියල කියනවා. නමුත් ටවර් එකක් තියනවා නම් අඩු තරමෙන් ඒක හරි තමන් දිහා බලා ඉන්නවා ඇති කියල එයාලට හිතෙනවා ඇති…කිසි කෙනෙක් මම දිහා නොබලන ටවුමේ අඩු තරමේ අර කුළුණ හරි බලන් ඉන්නවා ඇති…. ඉතිං ඒ හැඟීම අසාධාරණ නැහැ. මේ කුළුන පාමුළ…ඔබයි මමයි…
ලව් සීන් එකෙන් පස්සේ කැසබලන්කා (Casablanca, 1942) එකේ රික් අන්තිමට බලන්නේ කුළුණ දිහා…ප්‍රමෝදය (jouissance) සහ ගේස් (gaze) එක අතර අත්‍යන්ත සම්බන්දයක් තියනවා. කවුරුත් නොදකින ආතල් එකෙන් ඇති පලය කිම?

ගමෙන් නගරෙට එන කෙනෙක්ට පොඩි කික් එකක් එනවා ටවුමේ ටවර් එක දැක්කම. මනෝ විශ්ලේෂණය මේකට කියන්නේ කප්පාදු හැඟීමක් කියල (feeling of castration). ඔව් මේ නගරය ඔබ දිහා බලා ඉන්නවා. ඔබව අපට අවශ්‍යකර තිබෙනවා…ඒ ගේස් එකට මිනිස්සු ආකර්ෂණය වෙනවා. ඔව්..මම අවශ්‍ය ඇති මේ නගරයට…(Yes, I am wanted in this city).
ඒ කියන්නේ කොයි පැත්තෙන් බැලුවත් කුළුණක තියනවා එයා සහ එයාට පහළින් තියන වස්තු අතර මෝහන සම්බන්දයක් (hypnotic relationship). පරපීඩක බවක් (masochistic feeling). සර්වව්‍යාපී බවක්. වසඟකාරී බවක්. විගලිත බවක්. මකියාවෙලියානු ප්‍රමෝදයක්.
කුළුණ කවදාවත් පාපොච්චාරණය කරන්නේ නැහැ. හැබැයි ව්‍යංගයෙන් එයා ඔයාලගේ ආශාව පාපොච්චාරණය කරවා ගන්නවා. ඒක තමයි එයා සහ අපි අතර වෙනස.

මාක්ස් කියනවා ඔය කුළුණු වල මිනිස් ආත්මය සූරාකාපු වැම්පයර්ල වහල ඉන්නවා කියල. ඒ හින්ද කුළුණුවලට නගිනකොට පොඩ්ඩක් පරිස්සමෙන් නගින්න….
-මහේෂ් හපුගොඩ

Leave A Reply

Your email address will not be published.

five − 2 =