අපි වෙනස්

“කුරුල්ලන්ට කතා කරන්න බෑ. ඒත් ගිරවා කතා කළා. හැම මලටම බෑ ආදරේ කියන්න ඒත් රෝස මල ඒක කළා. හැම සතකුට ම බෑ එළිය දෙන්න. ඒත් රෑ බදුල්ලයි, කණාමැදිරියයි ඒක කළා.”

මේ මම මුහුණු පොතේ දැක්ක පෝස්ටුවක්. ඒක කියෙව්වම මට මෙහෙම හිතුණා. හැමෝම සුදු නෑ. ඒත් ඔයා සුදුයි. හැමෝටම දිග කොණ්ඩ නෑ ඔයාට දිග කොණ්ඩයක් තියෙනවා. හැමෝටම ලස්සන ඇඟක් නෑ. ඒත් ඔයාට තියෙනවා. හැමෝටම හොඳ ගතිගුණ නෑ. ඒත් ඔයාට තියෙනවා. ඉතිං ඔයා හැමෝටම වඩා විශේෂයි නේ ද කියලා. ඉතිං…

හැමෝම එකම විදියට වැඩ කරද්දී, ඔයා වෙනස් වෙන්න. ඔයාට අනන්‍ය වුණ වැඩ කරන්න. හැමෝම අවුරුදු 25ට කලින් බඳිද් දී ඔයත් ඒ දේම කරන්න යන්න එපා. ඔයා සූදානම් කියල හිතුණ දවසට ඒක කරන්න. හැමෝම කරන විලාසිතා ඔයා කරන්න යන්න එපා. ඔයාටම කියල විලාසිතාවක් හදා ගන්න. එතකොට ජීවත් වෙනවා කියලා දැනේවි. ඔහේ දුවන්නන් වාලෙ දුවන්න යන්න එපා. ජීවිතේ විඳින්න.

රැල්ලට නොයා කැරැල්ලක් ඇති කරන්න. හැමෝම එකම විදියට හිතද් දී ඔයා වෙනස් විදියට හිතන්න.

සම්ප්‍රදායයට, සංස්කෘතියට අනුව කාන්තාවක් ගෙදර දොරේ වැඩ කරන්න ඕනෙ කියල කිව්වට ඔයා ඒක වෙනස් කරන්න. රස්සාවක් කරන්න පටන් ගන්න. කාන්තාවක් විදියට සමාජය එක්ක ජීවත් වෙන්න තමන්ගෙ බිරිඳව පෙම්වතියව නිවසටම කොටු කරන්නෙ නැතිව ලෝකෙත් එක්ක ජීවත් වෙන්න, ගනුදෙනු කරන්න ඉඩහරින්න. ඔබ කාන්තාවක් වුණත්, පිරිමියෙක් වුණත් ජීවත් වෙන අවුරුදු 60-70 තුළ මේ ලෝකෙ ගැන පුළුවන් තරම් ඉගෙන ගන්න. නැත්නම් එක තැන පල්වෙන ළිං මැඬියෙක් විදියට මැරිලා යාවි. ලෝකෙ පුරා ඇවිදින්න උත්සාහ කරන්න. සංස්කෘතීන් අඳුන ගන්න. ඒ ඒ පළාත්වලට යන කොට දේශගුණය වෙනස් වෙන හැටි අත්විඳින්න. ඇවිදින්න. ජීවිතේ විඳින්න….

ඒත් විඳින්න විඳින්න කිව්වට වෙනස් වෙන්න වෙනස් වෙන්න කිව්වට දුප්පත් මිනිස්සුන්ට කන්න බොන්න තියෙන හාල්, පොල් පවා දරා ගන්න බැරි තරම් මිල ඉහළ යද්දී මොන වෙනස් වීම් ද? මොන විඳීම් ද විඳවීම් මිසක. කොහොම කොහොම හරි ජීවිතේ ගැට ගහගන්න මොන දහන්ගැට හරි දාලා උත්සාහ කරනවා ඇරෙන්න කොහෙ ද ජීවිතේ විඳින්න ඇවිදින්න යන්න වෙලාවක් ? තමන් ගැන හිතන්න වෙලාවක් ? කොරෝනා වෛරසය නිසා කරගෙන හිටපු පොඩි රස්සාවත් නැතිවෙද්දි, සල්ලි හොයාගන්න ඕනෙ. හොඳට කාලා ඇඳලා ජීවත් වෙන්න ඕනෙ කියන හීනෙ බිමට සමතලා වෙද්දී, ලස්සන හීන දකින්න ලංකාවෙ අපට කෝ හිතට නිදහසක් ? කෝ අපිට සහනයක්…? වරද කාගෙ ද…? ඔබේ…? මගේ…? නැත්නම් දේශපාලුවන්ගෙ…? නෑ… වැරැද්ද මේ සිස්ටම් එකේමයි. ඒක අපි හිතාමතා කරපු දෙයක් නෙවෙයි. ඒක බලවත් රටවල් අපිව මෙහෙයවන සිස්ටම් එකක්. ඒක වෙනස් කරන්න පුළුවන් වෙන්නෙත් ‘මේව කවදාවත් වෙනස් කරන්න අපිට බෑ’ කියන රැල්ලට යට වෙන්නෙ නැතුව වෙනස් විදිහට හිතුවොත් විතරයි.

■ සුබෝධා හේමාලි
Leave A Reply

Your email address will not be published.

six + eight =