කොග්ගල කම්හල් 5 කින් ආසාදිතයින් 69 ක් – “එහෙත් කම්හල් වහන්නේ නෑ”

අද (17) වන විට කොග්ගල නිදහස් වෙළඳ කළාපයේ ඇගලුම් කම්හල් 5 කින් ආසාදිතයින් 69 දෛනකු වාර්තා වීමත් සමඟ ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 1400 ක් පමණ නිරෝධායනයට ලක්කර ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන පවසයි.

මේ අතර එක් ඇගලුම් කම්හළක සේවක සේවිකාවන් 33 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර තවත් ඇගලුම් කම්හලක 30 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. තවත් ඇඟලුම් කම්හල් 3 කින් කොරෝනා ආසාදිත රෝගින් 6 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

කෙසේ වෙතත් එම වෙළඳ කලාපයේ එකම කම්හලක් හෝ වැසීමට අවශ්‍යතාවයක් නැතැයි ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ උසස් නිලධාරියෙක් අද (17) මාධ්‍යට පැවසීය.

ඔහු පවසන්නේ කොග්ගල නිදහස් වෙළද කලාපයේ කම්හල් 22 ක සේවක සේවිකාවන් 12,500 ක පමණ පිරිසක් රැකියා කරන බවත් 12 500 ක් සිටින කම්හල්වලින් ආසාදිතයින් 50 ක් 60ක් වාර්තාවීම බරපතල සිද්ධියක් නොවන බවයි. එසේම කොග්ගල වෙළද කලාපයේ සේවකයින්ගේ ආරක්ෂාව සදහා සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති උපදෙස් එම කම්හල් විසින් අකුරට ක්‍රියාත්මක කරන බවද අයෝජන මණ්ඩලය එම කටයුතු නිරන්තරයෙන්ම නිරීක්ෂණය කරන බවද පවසයි.
මෙම කම්හල්වල සේවකයින්ට කම්හල්වල වියදමින් පී සි ආර් පරික්ෂණ සිදු කරන අතර ආසාදිතයෙකු හමුවු විට එම ආසාදිතයාට සම්බන්ධ සියලු දෙනා නිරෝධායනයට යොමු කර නිරෝධායනයට යොමු කරන සේවකයින්ට අවශ්‍ය පහසුකම් කම්හල් මගින් ලබා දෙන බවද එම උසස් නිලධාරියා පවසයි.

Leave A Reply

Your email address will not be published.

5 × five =