සාෆි ළමයෙක් මාරු කළැයි කියන කතාවේ ඇත්ත හෙළිවෙයි

කුරුණෑගල රෝහලේ උපත ලද දරුවකුගේ මවකගේ නම ඇඳ ඉහපතේ වෙනස් කිරීමට වෛද්‍ය ශාෆි ශිහබ්දීන් මහතා ආධාර අනුබල දී ඇති බවත්, එය සිදුවී ඇත්තේ අදාළ පාර්ශ්ව දෙකේම කැමැත්ත ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට කරුණු වාර්තා කළේය.

කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා විසින් රහස් පොලිසියට යොමු කළ පැමිණිලි 11ක් විමර්ශනය කළ බවත්, ඉන් පැමිණිලි නවයක්ම අසත්‍ය පැමිණිලි බව අනාවරණය වූ බවත් රහස් පොලිසිය දැනුම් දුන්නේය.

ඉතිරි පැමිණිලි දෙකෙන් එක් පැමිණිල්ලක් වන්නේ දරුවකුගේ මවකගේ නම මාරු කිරීම හෙවත් බී එස් ඩී අංකයක් වෙනස් කිරිමක් යැයි ද,  දරුවාගේ නියම මව වන නවසියාම් පි‍්‍රයා යන නම වෙනුවට නිල්මිනි ජයසේකර යන කාන්තාවගේ  නම එහි යොදා ඇතැයි ද, නිල්මිනි ජයසේකර යන අය එම දරුවා හදා ගැනීමට කැමැත්ත පළ කර ඇතැයි ද රහස් පොලිසිය  දැනුම් දුන්නනේය.

දරුවාගේ නියම මවගේ අනියම් සම්බන්ධතාවක් මත මෙම දරුවා ඉපදී ඇති බවත්, නිල්මිනි ජයසේකර සහ ඇයගේ සැමියා මෙම දරුවා රැගෙන ගොස් ඇති බවත් එය නිත්‍යානුකුළව සිදුකර නොමැති බවත්, මේ  සම්බන්ධයෙන්  වෛද්‍ය සාෆි ශිහබ්දින්  අය ආධාර අනුබල දී ඇති බවට කරුණු අනාවරණය වන බවත් රහස් පොලිසිය කීවේය.

එම සිද්ධිය දරුවන් වඳ කිරීමට අදාළ නොවන බව ද කීවේය.

සාෆි වෛද්‍යවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහු අධික්ෂණය කළ සහ ඔහු යටතේ වැඩ කළ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය. 

සහාය වෛද්‍යවරුන් 12 දෙනෙකුගේ ප‍්‍රකාශ සටහන් කර ගත් බවත්  එක් වෛද්‍යවරයකු පමණක් සාෆිට එරෙහිව ප්‍රකාශ ලබා දුන් බවත්, සෙසු වෛද්‍යවරුන් 11 දෙනාම සාෆි මෙලෙස කටයුතු කරනවා නුදුටු බව ප්‍රකාශ කළ බවත් රහස් පොලිසිය කීවේය. සාෆිට එරෙහිව ප්‍රකාශ දුන් වෛද්‍යවරයා කියා ඇත්තේ මුස්ලිම් මවක දරුවකු ප්‍රසූත කරද්දී සාෆි වෛද්‍යවරයා ‘අල්ලාහු අක්බර්’ යනුවෙන් කියමින් විශේෂ ලැදියාවක් දක්වන බවයි.    

නිර්වින්දන වෛද්‍යවරුන් දස දෙනෙකුගෙන් ද ප‍්‍රකාශ ලබා ගෙන ඇතැයි ද, ඉන් එක් වෛද්‍යවරියක පමණක් සාෆිට එරෙහිව ප්‍රකාශ ලබා දී ඇතැයි ද, සාෆි පැය දෙකක් තුළ සැත්කම් අටක්  සිදු කරන බව ඇය කියා ඇතැයි ද රහස් පොලිසිය දැනුම් දුන්නේය.     

උපකාරක සහායක හෙදියන් 71 දෙනෙකුගෙන් සහ සුලූ සේවිකාවන් 18 දෙනෙකුගෙන් ද ලබා ගත් ප්‍රකාශ රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේය.

medialk

Leave A Reply

Your email address will not be published.

5 × four =