යාපනයේ දී වැරදුණු ආණ්ඩුවේ කුරුමානම

යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඉදි කර තිබූ වෙල්ලමුල්ලි වයික්කාල් හි දී මිය ගිය අය වෙනුවෙන් වූ ස්මාරකය ආණ්ඩුවේ සන්නද්ධ අංශ විසින් පසුගිය දිනක රාත්‍රියේ කඩා ඉවත් කර දමනු ලැබීම දැඩි ලෙස කතාබහට ලක් වූ මාතෘකාවක් විය.
පසුගිය 08 වන දින රාත්‍රියේ ස්මාරකය ඩෝසර් කරන අවස්ථාවේ එහි සිටි සිසුන් සීමිත පිරිස ඊට විරෝධය දක්වා ඇති අතර පසුව එය දෙමළ සමාජය තුළ බරපතළ විරෝධයක් ඇති වීම දක්වා වර්ධනය විය. යාපනයේ විශ්වවිද්‍යල සිසුන් විසින් මේ සම්බන්ධයෙන් සිය විරෝධය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් තිබිණි. ඔවුන්ගේ විරෝධය අඛණ්ඩ උපවාසයක් දක්වා වර්ධනය විය. උතුරේ සහ නැඟෙනහිර හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වෙන තත්ත්වයට සිදුවීම දුරදිග ගියේය.

ආණ්ඩුවේ ප්‍රතිචාර

මේ අතර පොලිසිය භාර ඇමතිවරයා වන රියර් අද්මිරාල් සරත් වීරසේකර එම ස්මාරකය ඩෝසර් කිරීම සාධාරණීයකරණය කරමින් ‘ට්විටර්’ පණිවුඩයක් ද මුදාහැර ඇත. යාපනය විශ්වවිද්‍යාලයත් රටේ නීතියට යටත් බවත්, එයට එරෙහිව කටයුතු කිරීමට නොහැකි බවත් එමඟින් පොලිසිය භාර ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.
එසේම ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන මෙන්ම උදය ගම්මන්පිල මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, එය පසුගිය ආණ්ඩු සමයේ ඉදි කරන ලද්දක් බවත්, එය කඩා ඉවත් කිරීම සාධාරණ බවත් ය. මීට අමතරව මෙම ස්මාරකය කඩාදැමීමට විරුද්ධ වන යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් ත්‍රස්තවාදීන් බව හැඟවෙන සිරස්තලයක් යොදා ගනිමින්, ආණ්ඩුවේ ප්‍රධාන රූපවාහිනී නාළිකාවක් මෙම ස්මාරක ඩෝසර් කිරීම සාධාරණීයකරණය කරමින් පුවත වාර්තා කර තිබිණි. ආණ්ඩුවට හිතවත් සමාජ මාධ්‍ය ද මෙම බලහත්කාරී ඩෝසර් කිරීම සාධාරණීයකරණය කරමින් පෝස්ට් පළ කරන්නට විය.

ස්මාරකය ඉවත් කිරීම යුක්තිසහගත කරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග විසින් එය “හෙට දවසේ සිංහල – දමිළ දරුවන් අතර අසමඟිය ඇති වීමට ඉඩ නොතැබීමක් ලෙස” හඳුන්වා තිබිණි. මහාචාර්ය සම්පත් අමරතුංග විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණේ, මහාචාර්ය සත්ගුණරාජා මහතා ලංකාවේ සිටින අතිවිශිෂ්ට විද්‍යාඥයෙක්, දක්ෂ පරිපාලකයෙක් හා දක්ෂතම උපකුලපතිවරයෙක් ලෙස එම ස්මාරකය අද දවසට හා හෙට දවසට නොගැළපෙන නිසා එය යාපනය විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව ය.

උපකුලතිගේ ප්‍රකාශය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා විසින් තමන් වෙත පවරන ලද වගකීම භාර නොගත් උපකුලපතිවරයා ස්මාරකය ඉවත් කිරීමට ‘ඉහළ බලධාරීන්’ බලපෑම් කළ බව පැවසීමත් සමඟ ප්‍රකාශවල පරස්පරතාවක් මතු වන්නට විය. “පරිපාලන වගකීමක් දරන සිවිල් වැසියකු වන මට උපදෙස් ලැබුණේ, ඉහළ බලධාරීන්ගෙන්. ඒ ඉහළ බලධාරීන් තමයි, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ, බුද්ධි අංශ, අධ්‍යාපන අමාත්‍යාංශය හැමෝම” යැයි උපකුලපති මහාචාර්ය එස්. ශ්‍රී සත්ගුණරාජා මාධ්‍යවේදීන්ට පවසා තිබුණි. කෙසේ වෙතත්, පසුව උපකුලපතිවරයා ප්‍රකාශ කළේ එම ඉදි කිරීම නීත්‍යනුකූලව අවසර ගෙන ඉදි කරන ලද්දක් නොවන නිසා තමන් එය ඉවත් කිරීමට කටයුතු කළ බව ය. එසේම “මං කළේ නීති විරෝධී ඉදි කිරීමක් නීත්‍යානුකුලව ඉවත් කිරීමක් විතරයි” උපකුලපතිවරයා විසින් පවසන විට ඒ සඳහා මේ තරම් විනාශයක් කිරීම අවශ්‍ය වූයේ ඇයි දැයි පැහැදිලි කිරීමට මෙන් ඔහු කියා සිටියේ, “මේ නීති විරෝධී ස්මාරකය නිසා බුද්ධි අංශවලයි, ආරක්ෂක අංශවලයි ප්‍රශ්න කිරීම්වලට මට හැම දා ම මුහුණ දෙන්න සිද්ධ වෙනවා” යනුවෙනි.
එහෙත්, වසර කීපයක් තිස්සේ ආපදාවකින් තොරව විශ්වවිද්‍යාල භූමියේ පැවැති මෙම ස්මාරකය නීති විරෝධී බවට නැඟෙන චෝදනා සරසවි සිසුහු තරයේ ප්‍රතික්ෂේප කරති. යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මසානියා දර්ශිකන් මාධ්‍යවේදීන් අමතා කියා සිටියේ, “2018දී විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් අවසර ලබාගෙන මේ ස්මාරකය ගොඩනැඟුවේ විශ්වවිද්‍යාලය පෙන්වා දුන් ස්ථානයක” බව ය.

දකුණේ ප්‍රතිචාර

කෙසේ වුව ද, යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ අඛණ්ඩ උපවාසය ඉදිරියට ඇදුණු අතර ආණ්ඩුවේ මෙම ඩෝසර්කරණයට එරෙහිව ඔවුන් දියත් කළ උපවාසයකට සහාය දෙමින්, උතුරු නැඟෙනහිර පුරා දෙමළ-මුස්ලිම් ඒකාබද්ධ හර්තාලයක් සැලැසුම් වන්නට වූ අතර දකුණේ සමාජ ක්‍රියාකාරීන්ගේ ද දැඩි දෝෂ දර්ශනයට මෙම ක්‍රියාව ලක් වී තිබිණි. එසේම ජාත්‍යන්තරයේ ද විරෝධය මීට එල්ල වන්නට විය.

මෙසේ සෑම අතින්ම එල්ල වන විරෝධය හමුවේ ආණ්ඩුවට පසුබසින්නට සිදු වූ අතර, ආණ්ඩුවට හිතවත් මාධ්‍ය මෙය ත්‍රස්තවාදයට අනුබල දෙන ක්‍රියාවක් බව හුවාදක්වන්නට උත්සාහ කළ ද, එය සාර්ථක වූයේ නැත. එය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර අර්බුදයක් පමණක් බවට මැති ඇමතිවරුන් මත පළ කරන්නට වූයේ ඉන් අනතුරුවය. ඒ අතර යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් පැරණි ස්මාරකය තිබුණු ස්ථානයේම නව ස්මාරකයක් ඉදි කිරීමට එකඟතාව පළ කරන ලද අතර, පසුගිය 11 වන දින ඒ සඳහා මුල්ගල තැබීම ද සිදු විය.

එසේ නැවතත් එම ස්මාරකය සඳහා මුල්ගල තැබීම පිළිබඳ මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසා තිබුණේ, අලුතින් එය ඉදි කිරීම නීති විරෝධී නොවන බව ය. ”උපකුලපතිතුමා මැදිහත් වෙලා තමා මුල්ගල තියලා තියෙන්නේ අලුත් ස්මාරකයට. ඒක නිසා දැන් නීති විරෝධී වෙන්නෙ නෑ. දැන් ඒ ප්‍රශ්නේ විසඳිලා තියෙන්නේ” යනුවෙන් එහි දී ඔහු පැවසී ය. එසේම යාපනයේ විශ්වවිද්‍යාලයේ ස්මාරකයක් තිබූ බව තමන් ද හරියාකාරව නොදන්නා බව පැවසූ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත එහි දී වැඩි දුරටත් පවසා ඇත්තේ, “මේ විශ්වවිද්‍යාල දරුවන් විවිධ රූප සටහන් නිර්මාණය කර තිබෙනවා. මේකත් එවැනි නිර්මාණයක්. ඒත් මේක විශ්වවිද්‍යාල අනුමැතිය නැතිව කළ නිසයි ඒක ඉවත් කරලා තියෙන්නෙ. දැන් උපකුලපතිගේ මැදිහත් වීමෙන් සහ බලධාරීන්ගේ එකඟතාව මත සිදු වෙන  නිසා ඒ ප්‍රශ්නය විසඳිලා ඉවරයි. මේකට ආණ්ඩුව මැදිහත් වීමක් නැහැ. විශ්වවිද්‍යාලය ස්වාධීනව ගත්ත තීරණයක්” යනුවෙනි.

වැරදුණු කුරුමානම

මේ සියල්ල විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය මත තබා ඇඟ බේරා ගන්නට පසුව උත්සාහ කළ ද, මෙය ආණ්ඩුවේ සැලැසුමකට අනුව ක්‍රියාත්මක වූ බව ඉතා පැහැදිලි ය. දිගින්දිගටම සිදු වන ආණ්ඩුවේ අසාර්ථකත්වය හමුවේ ජනතා අවධානය වෙනත් අතකට යොමු කරවීම සඳහා සිංහල – මුස්ලිම් ගැටුමක් මේ මොහොතේ ඇවිළවීමට නොහැකි නිසා ඒ වෙනුවට සිංහල – දෙමළ ජාතිවාදී ගැටුමක් ඇවිළවීමට ආණ්ඩුවට වුවමනා වූ බව විචාර බුද්ධියක් ඇති ඕනෑම කෙනකුට පැහැදිලිව පෙනී යන්නකි. එසේ නොමැති නම්, පොලිසිය භාර ඇමතිවරයාත්, තවත් මැති ඇමතිවරුන් මෙන්ම ආණ්ඩුවේ මාධ්‍යත් එය අනුමත කරමින් ප්‍රකාශ නිකුත් කරන්නේ නැත. විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා මුලින් කී ආකාරයේ ප්‍රකාශයක් කරන්නේ ද නැත.

එහෙත් කුරුමානම හරි ගියේ නැත. ස්මාරකය කඩා ඉවත් කිරීම දෙමළ ජනතාව විසින් සිංහල විරෝධයක් බවට පත් කර ගන්නවා වෙනුවට එය ආණ්ඩු විරෝධයක් බවට පෙරළිණි. උතුරේ දී ආණ්ඩුවට එල්ල වන විරෝධතාවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට හෝ දෙමළ ජනතාවට එරෙහිව පෙළගැසීමට සිංහල ජනතාව ද සූදානම් වූයේ නැත. ඒ වෙනුවට බොහෝ දෙනා ආණ්ඩුවේ මෙම දුෂ්ට ක්‍රියාව හෙළාදකින්නටත්, විරෝධය දක්වන්නටත් වූහ.
මෙම ස්මාරකය බලහත්කාරී ලෙස ඩෝසර්කරණය සම්බන්ධයෙන් තව දුරටත් නිහඬව සිටියේ නම්, ආණ්ඩුවට ජාත්‍යන්තර හා ජාතික වශයෙන් දරුණු විරෝධයකට මුහුණ දීමට සිදු වනු ඇත. ඒ ආණ්ඩුකරණයේ දී ජාතිවාදයට ඉඩ දී කටයුතු කළ නොහැකි නිසාත්, ජාතිවාදයට යා හැක්කේ ඉතාම කෙටි දුරක් වන නිසාත් ය.
කෙසේ වෙතත්, මෙම ස්මාරකය නැවත ඉදි කිරීමට ආණ්ඩුවට සිදු වීමෙන් ආණ්ඩුවේ ජාතිවාදීන්ට නැවත කල්පනා කරන්නට බොහෝ දේ ඉතිරි කර තිබේ. විශේෂයෙන්ම මේ වන විට පවතින්නේ 2009 වසරේ සිට 2014 පමණ තෙක් පැවැති ලංකාව නොවන බවත්, ආණ්ඩුවේ බලහත්කාරී ක්‍රියාකාරකම් ඔහේ ඉවසාගෙන සිටින ජනතාවක් උතුරේත්, දකුණේත් නිර්මාණය වී ඇති බවත් ආණ්ඩුව වටහා ගත යුතු ය. ජනාධිපතිවරයාගේ චරිත දෙකෙන් මොන චරිතය ඉදිරියට ආව ද ජනතාව වෙනස් වන විට ඒ චරිත දෙකෙන් එකකටවත් කළ හැක්කක් නොමැත.

යාපනය විශ්වවිද්‍යාලයේ ස්මාරකය ඉදි කළේ ආණ්ඩුව විසින් නොවේ. එය සිසුන් ඇතුළු ජනතාවගේ නිර්මාණයකි. ලංකාවේ අතුරුදහන් වූවන් වෙනුවෙන් තැනූ දකුණේ ස්මාරක ද එවැනිම ජනතා නිර්මාණ ය. ජනතා නිර්මාණ ජනතාවගේ හදවතේ ස්ථාවරව ගොඩනැඟී ඇති බව මතක තබා ගැනීම ආණ්ඩුවට වැදගත් වනු ඇති අතර භෞතිකව ගොඩනැඟූ ස්මාරක ඩෝසර් කළ ද, මිනිසුන්ගේ හදවතේ ගොඩනැඟුණු ස්මාරක බිඳදැමීමට ආණ්ඩුවකට හෝ ආණ්ඩුවේ පොලිසියට, හමුදාවට හෝ බුල්ඩෝසර්වලට හෝ සිදු කළ නොහැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතු ය.

එසේ ම දිගින්දිගට ම ජනතා බලාපොරොත්තුවලට පයින් ගසමින්, දිගින්දිගට ම පෙන්නුම් කරන ආණ්ඩුවේ අසමත්කමත්, ඒ තුළ ප්‍රදර්ශනය වන ජනාධිපතිවරයාගේ නොහැකියාවත් වසා ගැනීමට ඉදිරියටත් මෙවැනි කුරුමානම් අල්ලන බව නිසැක ය.
ඔවුන්ට අවශ්‍ය වන්නේ, ජාතිවාදය, ආගම්වාදය අවුළුවා නිරුවත්ව සිටින ආණ්ඩුවේ සෙලුව ඒවායින් ආවරණය කර ගැනීමට ය. එම උගුල්වලට හසු නොවී සිටීමට මෙරට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමත් වන්නේ නම්, ආණ්ඩුවේ කුරුමානම් ඔවුන්ට ම පාරාවළල්ලක් වන බව නිසැක ය.
-චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

5 × 3 =