ක්ලෝඩ් මැකේ නම් ජැමෙයිකානු කවියාගේ ‘මිය යා යුතුම අප’

1889 දී උපත ලද ක්ලෝඩ් මැකේ 1920 ගනන්වල සාහිත්‍ය පෙරමුණෙහි කැපී පෙනුන ජැමෙයිකානු කවියෙකි. ඔහු සිය කවියට විෂය කරගත්තේ ජැමෙයිකානු ගැමි දිවියෙහි ඛේදයයි. එහිදී ඔහු වාර්ගික පීඩනය, ආර්ථික අසමානතාවන්ට එරෙහිව සිය පන්හිඳ හැසිරවූවේ ඇමරිකාවේ මෙන්ම ජැමෙයිකාවේද කළු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටිමිනි. මේ වාර්ගික අසමානතාවෙහි කුරිරු අත්දැකීම්වලට පුද්ගලිකවමද මුහුණ දුන් ඔහු විසින් රචිත ‘මිය යා යුතුම අප’ නම් යන කවියෙහි අනුවාදයකි.

මිය යා යුතුම නම් මියෙමු අප සැම
නමුදු කිසිවිට නොවිය යුතු අපි
කොටු කරන ලද සතුන් අහිනක්
අපට ගරහන සුනඛයන් මැද
මිය යාම නම් අපේ උරුමය
මියෙමු අභිමන් සුරැකගනිමින්
අපේ වටනා රුහිරු දහරා
නිකරුණේ නොවැගිරෙන අයුරින්
එවිට අපගේ කුරිරු සතුරන්
හටද සිදුවේ හිස නමන්නට
අපට සිය ගෞරවය පුදනට
අබිමනින් දිවි පුදන අප දැක
අහා සකියනි, අප සියළු දෙන
නැගිට ආ යුතු එකාවන්වම
මුහුණ දෙනු වස් නොබා දිරියෙන
අපේ පොදු සතුරාට එරෙහිව
අපට වැඩියෙන් උන්ගෙ බලමුළු
වැඩි වුනාදෙන් එයින් කම් නැත
උන්ගෙ මාරක පහර හමුවේ
උනට පෙන්වමු අපේ සවියම
කිමද බිය වෙනු මිනී වල දැක
මුහුණ දෙමු අප නොබා එකවර
නියම මිනිසුන් ලෙසින පොකුරට
මිනීමරු බියගුළු රංචුවට
මියගියද වාරුවී පවුරට
ගහල ඇණියෙක පහර ලබමින
මියෙමු අප සැම යටත් නොම වී
මරණයම ප්‍රාතිහාරය කොට

-චූලානන්ද සමරනායක

Leave A Reply

Your email address will not be published.