DFCC බැංකුව Affinity ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව සමග එක්ව, එම සංගමයේ සාමාජිකයන් වෙනුවෙන් විශේෂ Affinity ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දීමට කටයුතු කළේ ය.

මෙම නව Affinity ක්‍රෙඩිට් කාඩ් පත මඟින් ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ සාමාජිකයන්ට ප්‍රතිලාභ රාශියක් ලබා දෙන අතරම, මෙමඟින් පාසලේ දියුණුවට පෙරටත් වඩා පුළුල් ලෙස දායක වීමටද අවස්ථාව ලැබෙනු ඇත. මේ යටතේ මූලික වශයෙන්, කාඩ් පතට අදාළ ලියාපදිංචි ගාස්තු හා වාර්ෂික ගාස්තුවලින් කොටසක් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව වෙත බැර කෙරේ. මීට අමතරව මූලික හා ද්විතීය කාඩ් පත් හිමියන් විසින් සිය කාඩ්පත භාවිතයෙන් සිදු කරනු ලබන වියදම්වලින් කිසියම් ප්‍රතිශතයක් ද එම සංගමය වෙත බැර වනු ඇත.

මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ පැවසී ය.

“DFCC බැංකුව සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව අතර ඇති කර ගත් මෙම හවුල්කාරීත්වය, Affinity ක්‍රෙඩිට් කාඩ් පතක් ඔස්සේ එක් අතකින් ආදි ශිෂ්‍යයන්ට ගෞරවයක් රැගෙන එන අතරම, අනෙක් අතින් රටේ අනාගත නායකයන් පෝෂණය කිරීමට දායක වීමට සුවිශේෂී අවස්ථාවක් ලබාදෙනවා. DFCC බැංකුව මඟින් නිකුත් කරනු ලබන මෙම Affinity ක්‍රෙඩිට් කාඩ් පතට අදාළ වාර්ෂික ගාස්තුවලින් මෙන් ම එය භාවිතයෙන් සිදු කරනු ලබන වියදම්වලින් ප්‍රතිශතයක් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් බැර කිරීමට නියමිතයි.”

කාඩ් පත භාවිතයෙන් සිදු කරනු ලබන සියලුම වියදම්වල දී 1%ක ප්‍රතිශතයක් ආපසු ගෙවනු ලබන අතර, එම මුදල් කාඩ් පත් හිමියන්ගේ DFCC ගිණුමට බැර වේ.

එමෙන්ම DFCC බැංකුව සමඟ අත්වැල් බැඳගෙන සිටින දිවයින පුරා විසිරුණු අලෙවි සල් වෙතින් වසර පුරාම තවත් ප්‍රතිලාභ රාශියක් ඔවුන්ට හිමි වනු ඇත. පහසු ගෙවීම් ක්‍රම සකස් කර ගැනීම, වෙනත් ක්‍රෙඩිට් කාඩ් පත්වල ශේෂයන් මාරු කිරීම, කාඩ් පතේ සීමාවෙන් 75%ක් දක්වා ක්ෂණික අත්තිකාරම් මුදලක් ලබා ගැනීම සහ මාස 36ක් දක්වා ආකර්ෂණීය පොලී අනුපාත යටතේ ගෙවීම් සැලසුම් සකස් කර ගැනීම වැනි තවත් ප්‍රතිලාභ රාශියක් ද ලබා ගැනීමට මෙම Affinity ක්‍රෙඩිට් කාඩ් පත් හිමියන්ට අවස්ථාව ලැබේ●

පුෂ්ප එපිටකඩුව
Leave A Reply

Your email address will not be published.

four × five =