ආයුබොවන්ඩ පාදෙනිය සෑර්,

මීට ටික කාලෙකට කලින් නං අපි කටපුරාම තමුන්නැහැ ආමන්තොරණය කොළේ දොස්තර මහත්තයා කියලයි. ඒත් ඉතිං මේ වෙන කොට ඔහේට ප්‍රොදානය කොරල තියෙන හැටහුටහමාරක් පදවි තානාන්තර කන්දරාව දිහා බලපුවහම ඉස්සර තාලෙට නිකංම නිකං දොස්තර කියලා කතා කොරන එකේ මොකක්ද අප්සැට් ගතියක් දැනෙනවා. ඒක හන්දා කෝකටත් ඇඟට ගුණයි කියල කල්පනා කොරල තමා සෑර් පට්ටමක් අමුණා ගත්තේ.

මක්ක වුණත් ආයිබොවන්ඩ ගොඩ මඩ ගොයිතැන් වැඩ වගේම ගමේ ගොඩේ හැදෙන පලා කොළවල, ගඩාගෙඩිවල ගුණාගුණ ගැන පවා ටැලිවිසොන් පෙට්ටියට ඇවිත් ඔහේ දොඩන හැටි දැක්කහම ගමේ බයියො හැටියට අපිත් ගන්නෙ මාර ආතල් එකක්. අපේ අත්තල මුත්තලගෙ උපහැරණ කාරිය තාමත් කටපාඩමින් කියන්න ඇහැකි මුන්නැහැ වගේ ඔර්ජිනල් ගැමියෙක් රට කොරවන ඇත්තොත් එක්ක කරට කර ගේමක් දෙන තත්තෙට ඇවිත් ඉන්න හැටි දකින කොට හිතට-ගතට දැනෙන පිට් එක ගැන නං කියල වැඩක් නැහැ.

එහෙව් දස්කං පාන්ඩ ඇහැකි අපේ කොල්ලෙක් දිගින් දිගටම දොස්තර මහත්තැන්ලගෙ වරිග සබාවේ මහ හූරා පදවිය දරන එකත් මොන තරං ආඩම්බරයක් ද? අනේ ආයිබොවන්ඩ තමුන්නැහැටත් අර නාත දෙයියංගෙ බැල්ම වැටුණ අනුරාජපුරේ ජයසුමන මහා වෙදානන්ට වගේ හාස්කම් වරමක් කාරිය තිබුණ නං ඔය අනං මනං තානාන්තර පැත්තකට විසික්කා කොරලා  ජනාදිපති ආසනේම වැජඹෙන්ට ඇහැක් වෙනවා සහතිකයි. අපේ ගමේ දැනුං තේරුන් තියෙන ඇත්තො නං කියන්නෙ අර යහපාලන ආංඩුව කාලේ සෑර්ලා අපූරුවට කොරගෙන ගිය හටං කලාව දැන් අපෝ වෙලා ගෙහුන් තියෙන්නෙ පෙහොට්ටු ඇත්තන් ගිල්ලපු දිරච්ච ලණු දිරව ගන්ඩ බැරුව ගිය හන්දය කියලයි.

කිව්වට හිත අවුල් කොරගන්ඩ එපා අපෙ රජෝ., සේලයින් කුප්පියේ ඉඳලා සිංගප්පූරු ගිවිසුම දක්වා පුරස්න පත්තර මිටියක්ම කරේ තියාගෙන මුන්නහැලගෙ ඔය මහා බලගතු ජීඇම්මෝ එක ඒ කාලේ අල්ලපු පොයියංගන්

මතක් වෙන කොට තාම අපි හීනෙනුත් බය වෙනවා. රට විකුණං කාපු හිටංලගෙ ආණ්ඩුවයි ඒකෙ සවුක්කිය ඇමති පට්ටම දරපු රාජිත ගොයියවයි මට්ටු කොරන්නය කියල නේද මුන්නැහැල ඒ කාලේ ස්ට්‍රැයික් පිට ස්ට්‍රැයික් කොළේ. හැබැයි ඉතිං උන්දැලා මට්ටු කෙරිල්ල කෝක වෙතත් නැති බැරි කොමට ආණ්ඩුවෙ ඉස්පිරිතාලවල ගාල් වෙලා උන්නු අපේ ගංගොඩවල්වල හරමානිස් මාමලා, ඩිංගිරි නැන්දලා බෙහෙත් උගුරක්වත් බීගන්ඩ නැතුව පරලෝකෙට යවන්ඩ නං ඔහෙලගෙ මහා බලසම්පන්න සංගමේට ඇහැක් වුණ බව මතක ඇති නේද?

හැබැයි දොස්තර මහත්තයෝ රටේ සම්පත් විකූණපු, ලෝක බලවතුන්ගේ පදයට නටපු හිටංලා පන්නලා රටේ මුර දේවතාවුන් හැටියට ඔහේලාගෙත් රෙකමදාරුව උඩ හැට නම ලක්සයක්ම එකතු වෙලා පත් කරගත්තු දේසයේ ගැලවුම්කාරයෝ ටික පිස්සු කෙළින කොට අඳ.. ගොළු.. බීරි ප්‍රොතිපත්තියක් අනුගමනය කොරන එක තමා අපිට දිරවන්නෙ නැත්තේ. බැරි වෙලාවත් හිටංලගෙ ආණ්ඩු කාලේ කොරෝනා පුරස්නේ මේ විදිහට වන කොර ගත්තා නං ඔහෙලා එකතු වෙලා හනුමන්තා නාඩගම රඟදක්කලා රටම ගිනි තියනවා ඒකාන්තයි.

20 සංසෝදනේ අරං ආපු.., මහජන කොමිසං අහෝසි කොරපු.., ඥති මිත්තරාදීන් නිදොස් කර නිදහස් කොරගත්තු.., උන්නැහැලාගේ කරට මෙච්චර කාලයක් අත දාගෙන උන්නු ඔහේ හිටපු ගමන් නින්දෙන් ඇහැරිලා වගේ අපේ වරාය රැකගැනීමේ හටං පෙරමුණට එකතු වෙලා ඉන්නවා දැක්කම අපිට එකපාරටම මැවිල පෙනුණේ දකුණේ මන්තර සූස්තරකාරයෝ හතුරන්ට වින කටින්ඩ එවනවාය කියන පිල්ලියක් වගේමයි අම්මපා පාදෙනිය සෑර්…●

විශ්ව මිත්‍ර
Leave A Reply

Your email address will not be published.