නූතන බස හා විද්‍යුත් මාධ්‍යයේ හැසිරීම

භාෂාව යනු ක්‍රමවත් ලෙස සංවිධානය වූ ශබ්ද සංකේත සමුදායකි. භාෂාව කතා කිරීමෙන් හෝ ලේඛනයකින් හෝ මුද්‍රණයෙන් හෝ ඉදිරිපත් කරන්නා වූ සන්නිවේදනයක් බව බටහිර විද්වතකු වූ මැක්ලූහන් ප්‍රකාශ කර තිබේ. භාෂා ශක්‍යතාවෙන් අනන්ත අප්‍රමාණ වාක්‍ය ගොඩනැංවිය හැකි බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එම භාෂා ශක්‍යතාවේ සීමාව නම් ව්‍යාකරණයයි. එය වනාහි ලේඛනය උදෙසා ය. එහෙත්, භාෂාව සතුව ඇත්තේ, ලේඛනය පමණක් නොවේ. භාෂණය ද එක් අංගයකි. එහිදු දැක ගත හැකි සුවිශේෂතා රැසකි. එනම්, සාමාන්‍ය දෙදෙනකු අතර වහරේ දී භාවිත කරනුයේ, ඉතා සරල විධිමත් නොවූ භාෂා විධියකි. එහෙත්, අයෙක් කතාවක් පවත්වද් දී මෙන් ම දෙසුමක් පවත්වද් දී එහිලා භාවිත කරනුයේ, අන්‍ය භාෂණ රටාවකි. මේ දෙතැන මනාව දැන හැඳින ම භාෂාව භාවිත කළ යුතුව පවතී.

ජන වහරේ එන ‘සකස්කඩ නොකී කට උගේ කට හුඹස් කට’යි කියූ කියමනෙහි සැබෑවක් ඇතැයි සිතෙන්නේ ඇතැමුන්ගේ ව්‍යවහාරයෙහි පවත්නා ගුණාත්මක බව මත ය. මුඛරිකම වනාහි බස හැසිරවීමේ සුරුකමක් ලෙස ඇතැම්හු සිතති. එනිසා ම මොනවා හෝ දොඩති. එය මුඛරිකම මිස සැබෑ බස හැසිරවීමකැයි කිව නොහේ. එබඳු වූ බස නිවැරැදිව භාවිත නොකිරීම පිළිබඳව ‘සියබස් ලකර’ කරුගේ අදහස වූයේ මෙබන්දකි.

“ගවගන වේ පසස් – නදා බස් කර සුකසස්

එය සුව ඒ අත්නට – හුදු ගව බව් මෙ සදා”

(සියබස් ලකර)

බස නිසි ලෙස දැන ඉන් වැඩ ගත හැකි අයට එය සුරබි දෙනක් බවත්, එසේ නැත්තහුට එය හුදු ගව බව ම පසක් කරන බවත් ඉන් කියයි. මින් තමා අයත් වන්නේ කොතැනට දැයි යන්න තමා ම තීරණය කර ගත යුතු වන්නේ ය. විශේෂයෙන් ම වත්මන් විද්‍යුත් මාධ්‍ය මෙකී හරසුන් හා ග්‍රාම්‍ය හෙවත් අවර ගනයේ භාෂා භාවිතයන් සිදු කරනු නිරන්තරයෙන් අසන්නට මෙන් ම දකින්නට ද ලැබේ. මෙහි ලා වගකිව යුත්තෝ කවරහු ද? වාණිජ පරමාර්ථ යනු අනෙකකි. එහෙත්, බස නැසීම තවෙකකි. අප පාසල් යන කල ගුරුවරුන් අපට කීවේ සිංහල නිවැරදිව

භාවිත කිරීම පිණිස ප්‍රවෘත්ති අසන ලෙස ය. එහෙත්, දැන් දැන් ඒවා සාමාන්‍ය ගැමියෙක් තවෙකකුට ගමේ හරක් හොරකමක් ගැන කියන්නාක් මෙන් ඇසෙයි. මින් ගම්‍ය වන්නේ ප්‍රවෘත්ති සංස්කාරකවරුන් වියරණ විධි නොදන්නා බව ය. එසේත් නොමැති නම්, ඇසූ දෙය එලෙස ම පවසන බව ය. එසේ සදා කල් බසට වුවහොත්, සිදු වන දෙය පහත පරිදි වනු ඇත.

“මේ තුන්ලො සියල් – ඉදි සද වැටුප් රැස්

නො දිලිහෙන අඳ බව දා – තම කල් නොකල් නොයෙයි.

(සියබස් ලකර)

යම් කිසි විදියකින් වචන නමැති පහනේ ආලෝකය දිලිසෙන්නේ නැති නම්, මේ තුන්ලෝකය සදා අන්ධකාරයේ පවතී. තුන්ලොව කෙසේ වුව ද, ආදි වියත්, නොවියත් සෑම අතින් ම සුසැදි, සුපෝෂිත හෙළ බස නම් නැසෙනු ඇත. අපි ම හොඳ යැයි කියා ගන්නා විද්‍යුත් මාධ්‍ය ජේත්තුකාරයන් වහරනුයේ, සිංහල භාෂාව ද නො එසේ නම්, අපභ්‍රංසයක් දැයි නොම වැටහේ. එය වත්මනෙහි ‘සිංගිලීසි’ යනුවෙන් හඳුන්වනු ලබනුයේ එබැවිනැයි සිතේ. වචන ටිකක් ගළපා සබකෝලයෙන් තොරව කතා කිරීමට හැකි වීම ම මාධ්‍යයේ නිවේදකයකු වීමට ලැබූ සුදුසුකමක් බැව් දක්නට ලැබේ. විද්‍යුත් රූප මාධ්‍ය හෝ ගුවන්විදුලි මාධ්‍ය අසනුයේ හෝ බලනුයේ හෝ එක් ජන කොටසක් නොවන බව ඔවුන් දැනසිටිය යුත්තේ ම ය. එහෙත්, එබඳු වැටහීමක් තබා තමා කීවේ කුමක් දැයිවත් ඔවුහු නොදනිති. විටෙක ඔවුන් ම කියා ගන්නා දෙයට ඔවුහු ම කොක්හඬලා සිනා සී වැඩසටහන හමාර කරති.

සවන් දීම, කථනය, කියැවීම, ලිවීම යන භාෂාවේ චතුර්විධ කුසලතා යන මේවා නැති තැන බස නිවැරදිව

භාවිත නොවන්නා සේ ම භාෂක සමාජයේ පවත්නා හිතකර ස්වභාවය ද අහිමි කොට ගැනේ. ආධුනික අසාධු වහරෙන් ජන සමාජය සාවද්‍ය භාෂා ප්‍රයෝග වෙත ඇදී යනුයේ, මනා පරිචයකින් තොරව දන්නා තරමින් සමාජය ආමන්ත්‍රණය කිරීමට උත්සාහ දැරීම හේතුවෙනි. ප්‍රායෝගික අවබෝධයෙන් තොර විම, අනවධානය, හිතා මතා සිදු කරනු ලබන විකෘති කිරීම්, පළපුරුද්දෙන් හා කුසලතාවන්ගෙන් අඩු බව, කියවීමේ අඩුකම, භාෂා ගවේෂණයේ නොයෙදී ම, සුදුසු තැන යෙදිය යුතු වචන පිළිබඳ අනවබෝධය, වාග්කෝෂයේ පටුත්වය. උච්චාරණ දුර්වලතා, නිවැරදි වහර නොදැනීම යනාදී වශයෙන් සකසා ගත යුතු භාෂාමය කුසලතාවන් පෙන්වා දිය හැකි ය. මේ පිළිබඳව කලින් කල විවිධ මත පළව තිබුණ ද, ඉන් අත් වූ සෙතක් නම් තව ම නැත්තේ ය. එහෙත්, නුදුරේ ඒ සැම සාදු සම්මත විය යුතුව ඇත.

 

නිමල් බණ්ඩාර
Leave A Reply

Your email address will not be published.