රටම ජාවාරම්කරුවන්ට ද?

යුක්රේනය යනු මේ වන විට කොවිඩ් 19 වසංගතය වේගයෙන් පැතිරෙන රටකි. මේ වන විට 11,30,000ක් ඉක්මවා රෝගීන් වාර්තා වී ඇති අතර මිය ගොස් ඇති ප්‍රමාණය 20,200 ඉක්මවා ඇත. දිනකට මිය යන ප්‍රමාණය 200ක ආසන්නයේ පවතී. රෝගීන් වාර්තා වීම වේගවත් රටවල් අතර එරට පසුවන්නේ 17වන ස්ථානයේ ය.

කොවිඩ් ප්‍රශ්නය නිසා මහත් පීඩාවට පත්ව සිය මවුරටට ඒමට නොහැකිව සිටින අපේ ලාංකිකයන් මෙරටට ගෙන්වීම අද කිහිප දෙනකුගේ ජාවාරමක් බවට පත්ව ඇත. ඔවුන්ගෙන් අධික ගාස්තු අය කරමින් මොවුහු ඒ අසරණ අපේ ජනතාව ගසාකමින් සිටිති. ඒ බව ආණ්ඩුවේ ඇමතිවරුම ප්‍රකාශ කරති.

 

මෙවැනි රටකින් හදිසියේ ම ලංකාවට සංචාරකයන් ගෙන්වීමට කවුරුන් හෝ ගත් තීරණයක් දැන් ක්‍රියාත්මක වෙමින් ඇත. මේ තීරණය ගනු ලැබුවේ ආණ්ඩුවේ අදාළ වගකිව යුතු පාර්ශ්වයන්ගේ අවබෝධයෙන් තොරව බව ද මේ වන විට හෙළි වී අවසන්ය. ඒ පැමිණි පිරිස් අතර ද කොවිඩ් රෝගීන් හමු වන්නට විය. අද මේ කණ්ඩායම් 03ක් රටට පැමිණ සිටින අතර, ඒ අය බුබුලක් ලෙස පවත්වා ගන්නා බවට බලධාරීන් ප්‍රකාශ කළ ද ඔවුන් යන යන තැන්වල ප්‍රශ්න මතු කරමින් තිබේ.

අප රටේ දෙවන කොවිඩ් රැල්ල ආරම්භ වූයේ කෙසේ ද යන්න මෙරට බලධාරීන් තවමත් නිශ්චිතව ප්‍රකාශ කරන්නේ නැත. එහෙත්, ලැබෙන තොරතුරුවලට අනුව මෙහි මූලය කටුනායක හෝටලයක නතරව සිටි යුක්රේන ගුවන් සේවිකාවන් පිරිසක් බව අනාවරණය වී ඇත. පළමු රැල්ලේ දී දහසකට අඩුවෙන් වාර්තා වූ මෙරට කොවිඩ් රෝගීන් ප්‍රමාණය දෙවන රැල්ලේ දී මේ වන විට 50,000 ද ඉක්මවා අවසන් ය. මෙතරම් අවදානම්සහගත තත්ත්වයක් පවතිද් දී, අවදානමින් ඉතා ඉහළ තත්ත්වයක් පෙන්වන රටකින් සංචාරකයන් මෙරටට ගෙන්වීම කෙතරම් තකතිරු තීරණයක් ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. මෙයට මුල් වූයේ රාජපක්ෂ පවුලේ උදයංග වීරතුංග ය. රටත්, ජනතාවත් මෙතරම් අවදානමකට මුහුණ පා, භීතියට පත්ව සිටිය දී චූදිතයන් ද, ජාවාරම්කරුවන් ද වන නිශ්ශංක සේනාධිපතිලාත්, උදයංග වීරතුංගලාත් මේ බුබුලු ඇතුළට වී විනෝද වන දර්ශන නම් මේ දිනවල සමාජ ජාලා හරහා හුවමාරු වේ.

වර්ෂ 2006දී යුද්ධය ආරම්භ වීමත් සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්රේනයෙන් මිග් 27  ප්‍රහාරක යානා හයක් මිලට ගැනීමේ දී සිදුව තිබූ විශාල මූල්‍ය වංචාව සම්බන්ධ චෝදනාව එල්ල වූයේ එවකට යුක්රේන තානාපති වූ උදයංග වීරතුංගට ය. මේ පිළිබඳව මාධ්‍ය මඟින් හෙළිදරවු කළ ‘ලීඩර්’ පුවත් පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක් විය.

ඒ අතර කොවිඩ් ප්‍රශ්නය නිසා මහත් පීඩාවට පත්ව සිය මවුරටට ඒමට නොහැකිව සිටින අපේ ලාංකිකයන් මෙරටට ගෙන්වීම අද කිහිප දෙනකුගේ ජාවාරමක් බවට පත්ව ඇත. ඔවුන්ගෙන් අධික ගාස්තු අය කරමින් මොවුහු ඒ අසරණ අපේ ජනතාව ගසාකමින් සිටිති. ඒ බව ආණ්ඩුවේ ඇමතිවරුම ප්‍රකාශ කරති.

ප්‍රකට මාධ්‍ය ජාලයක ප්‍රධානියකු විසින් ලංකාවේ නීතියට පිටින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල ගෙන්වනු ලැබ අද ඒවා රට පුරා අලෙවි කරන්නේ කොවිඩ් වසංගතය තමන්ට වසන්තයක් කර ගනිමිනි. පසුගියදා සීනි බද්ද හරහා ආණ්ඩුවට රුපියල් බිලියන 10කට අධික විශාල මුදලක් පාඩු කළ ෂැන්ග්‍රිලා හෝටලය හිමි ජාවාරම්කාර සමාගමේ මහා පරිමාණ මුදල් ගසාකෑම හෙළිදරවු විය.

ආණ්ඩුවේම මැති ඇමතිවරුන් කියන ආකාරයට නම් සිදු වන්නේ මේ ජාවාරම්කාරයන් කිහිප දෙනා රටේ ඉහළම නායකයන් හා එක්ව මේ තීරණ ගන්නා බවත්, ඒවා ක්‍රියාවට නඟන බවත්ය.

අද රටේ ඇතිව තිබෙන ආර්ථික පීඩනය පැටවී ඇත්තේ ජනතාවගේ කරපිට ය. කොවිඩ් වසංගතයට ගොදුරු වීමේ අවදානම නිසාවෙන් බියටත්, අවිනිශ්චිතභාවයටත් පත්ව සිටින්නේ මෙරට පොදු ජනයා ය. ජනතාව ආණ්ඩුවක් පත් කර ගත්තේ ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීමට ය. එහෙත්, අද ඇත්තේ ජාවාරම්කාරයන් කිහිප දෙනකුගේ මඩි තර කිරීමට ජනතාව බිල්ලට දෙන ආණ්ඩුවකි.

මේ සිදු වන සිදුවීම් සැබෑ තත්ත්වය හෙළිදරවු කරන්නේ ය. මේ අත්දැකීම්වලට පරිකල්පනය එකතු කර ගන්නේ නම්, සැබෑ ජනතාප්‍රේමීන් කවුරුන් දැයි තෝරා බේරා ගැනීම අපහසු වන්නේ නැත. එසේ ම ජාවාරම්කරුවන් වෙනුවට ජනතාව වෙනුවෙන් කැප වන ජනතාවගේ පාලනයක් ඇති කර ගන්නේ කෙසේ දැයි තේරුම් ගැනීම අපහසු නැත●

 

 

Leave A Reply

Your email address will not be published.

17 − two =