අපිත් අයිති ලංකාවට

මේ ගම පිහිටලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ. ගම හඳුන්වන්නේ මැදකැලේ කියලා. මේක සුවිශේෂි ගමක්. ඒකට හේතුව සංවර්ධනය මනින නිර්ණායකවලට මේ ගම අහුවෙලා නැතිකම. ගම පිහිටලා තියෙන්නේ කන්දක් උඩ. ගමට ඉහළින් තවත් කන්දක්. ඒකට කියන්නේ යහන්ගල කියලා. යහන්ගල ලංකාවේ ඓතිහාසික ස්ථානයක්. යහන්ගල පුරාවෘත්ත බොහෝමයක් තියෙනවා. ඒක ‘රාවණා යුගයට’ නෑකම් කියනවා කියල ගමේ වැඩිහිටියෝ කියනවා. ඒක ඉතින් වෙනමම කතා කරන්න ඕන මාතෘකාවක්.

“යහන්ගල පුදපූජා පවත්වපු තැනක්. දෙවන රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ඉඳලා ඕකේ පූජා පවත්වලා තියෙනවා.”

සංජීව

එහෙම කියන්නේ ගම ගැන අපිට මඟපෙන් වූ සංජීව. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 1,000කට වැඩිය උසින් විශාල තැනිතලාවක් තියෙනවා. ඒකට කියන්නේ යහන්ගල පතන කියලා. දැනටත් එහි එන අලි රංචු දැකගන්නට පුළුවන්. කොහොම වුණත් යහන්ගල තරම්ම පැරැණි ඉතිහාසයක් තියෙන යහන්ගල මුදියන්සේ කියන පෙළපත් නාමය තියෙන මැදකැලේ ජනතාවත් සංවර්ධනයේ ඉලක්ක හෝ ප්‍රතිලාභ දැකල නෑ. සංවර්ධනය කියන දේ ගැන ඔවුන් අපෙන් ප්‍රශ්න කරනවා.

“මේ ගමට මිනිස්සු එන එක හොඳයි. ඒත් අපි බලලා යන්න නොවෙයි. මොක ද? අපි බලලා යන්න අපි අමුතු ජාතියක් නෙවෙයි. අපි ජීවත් වෙන හැටි  බලලා ගිහිල්ල ලෝකෙට කියන්න. පළමුවෙනි කොරෝනා පටන් ගත්තු මාර්තු මාසේ අපේ ළමයි ඉස්කෝලේ ගියාමයි දන්නේ  රටටම ඇඳිරි නීතිය දාලා කියලා. කොරෝනා කියල වසංගතයක් ඇවිල්ලා කියලා. ළමයි ආපහු හැරිල ගෙදර ආවා.”

ජයරත්න

එහෙම කීවේ ගමේ වෙදමාමා වෙච්ච ජයරත්න. තාමත් මේ ගමට එන්න පාරක් නෑ. තියෙන්නේ කන්ද උඩට කිලෝමීටර් 4ක් දිග අඩිපාරක් ගල් ගොඩැලි කැලේ අස්සෙන් තමයි අඩිපාර වැටිලා තියෙන්නේ. ගමේ ළමයින්ට විදුලි බලය කියන එක පාඩම් පොතේ පාඩමක් විතරයි.

“කරන්ට් එකෙන් කරන කිසිම දෙයක් අපට නෑ. අපි පාඩම් කරන්නේ කුප්පි ලාම්පුවෙන්. භූමිතෙල් ගේන්න කිලෝමීටර් 4ක් විතර පල්ලෙහා බටුමුල්ල ගමට යන්න ඕනෑ. පසුගිය පාසල් නොතිබුණ කාලේ ඔන්ලයින්වලින් ප්‍රශ්න පත්‍ර සහ වැඩ දීලා තියෙනවා. අපිට කොහෙන්ද ඔන්ලයින්. අපේ ගමට ටී.වී. නෑ. රේඩියෝ නෑ. ගමේ අයට ෆෝන් නෑ. අපිට කරන්ට් එක නෑ. මම උදේ 5.00ට විතර ඉස්කෝලේ යන්න පාරට බහින්නේ. හුළු අතු පත්තු කරගෙන. සපත්තු පල්ලෙහා ගමේ නෑදෑ ගෙදරක තියලයි එන්නේ. නැත්නම් එක දවසට ඒවා ගෙවෙනවා.”

නයෝමි

අපිට එහෙම කීවේ උඩවෙල පාසලේ 12 වසරේ ඉගෙන ගන්නා නයෝමි සසිකලා. ගමේ තව පාසල් යන ළමුන් 12 දෙනෙක් විතර ඉන්නවා. ඒ අය ටී.වී. ගැන කියද්දී කට ඇරගෙන බලාගෙන ඉන්නවා. පත්තරවලින්, පොත්වලින් කාටුන් ගැන දැනගත්තට තව එයාලා ඒ ගැන මොකවත් දන්නේ නෑ. එයාලගේ හෙට දවස ගැන ගම්වැසියන්ට තියෙන්නේ කනගාටුවක්. ගමට අත්‍යවශ්‍ය ම වන පාර සහ විදුලිය මිස ඒ ගමේ අය වෙනත් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නෑ.

“පසුගිය දවසක විදුලිබල ඇමතිතුමා ගමට ලයිට් දෙනවා කියලා තිබුණා. ඒත් ඒ ගැන අහන්න ආපහු කෙනෙක් නෑ. මොක ද? ඡන්ද කාලේ ඉවරයි නේ. ඔන්න ඔහොමයි අපිට වෙන්නේ. අපේ ගමට ලැබුණු එකම දේ හරක් මඬුවක් විතරයි. අපි ඉල්ලුවේ ප්‍රජා ශාලාවක්. සමිතියක් තියන්න, දානයක් දෙන්න තැනක් නැති හින්දා.

“ඒකට 2017 අවුරුද්දේ රුපියල් ලක්ෂ 22ක් පාස් වුණා. ගමේ අයගේ මහන්සියෙන් ගොඩක් වැඩ කළේ. ඕං බලන්න ඒක. කණු 6කුයි, සීට් කැලි 16කුයි විතරයි. බිම මැටි පොළොව. අඩි 20ක් දිග හරක් මඬුවක්. ඇයි අපිට මෙහෙම අපහාස කරන්නේ ? අපිත් ලංකාවේ මිනිස්සු. අපේ ගමෙන් අවුරුද්දකට ගම්මිරිස්  ගෝනි සීයක් විතර පහළට ගෙනියනවා. අපි රටට ණය නෑ. බරක් නෑ. අපිට පාරක් නැති හින්ද කරෙන් ගෙනියන අයට කුලිය දුන්න ම ඒකේ ලාභේ ඉවරයි.”

අබේසිංහ

මෙහෙම අපිට තමන්ගේ වේදනාව කියාපෑවේ වයි. එම්. අබේසිංහ. ලංකාව ඇතුළෙ ම තව ගමක් හුදෙකලා කර ඇති තරම බලා ගන්න ඒ ගමට යා යුතුමයි. වසර 73ක නිදහස් ස්වෛරී රාජ්‍යයක සංවර්ධනයේ ප්‍රමාණය රුපියල් ලක්ෂ 22ක හරක් මඬුවෙන් මැනගන්න අවශ්‍ය නම් මැදකැලේ ගම හොඳම උදාහරණයක්. වසරේ වැඩි කාලයක් අඩ අඳුරෙන් සහ වැහිකෝඩයෙන් පිරුණු නකල්ස් කඳුවැටිය මැද පිහිටි මැදකැලේ ගමේ වේදනාව ගලා හැලෙන දිය කඳුරු සමඟ දිය වී යා නොදී එයට අර්ථයක් එක් කරන්නට ගිහිල්ලම බලන්න. හැබැයි, ඒ, ඒ ගමේ ඉන්නේ අමුතු මිනිස්සු ද කියලා බලන්න නෙමෙයි, ඒ මිනිස්සුන්ට නැති අපිට ඇති අමුතු අමුතු දේවල් මොනව ද කියලා දැකලා දැනගන්න ඕනෙ නම් විතරයි.

සටහන : දොන්  ජයකොඩි

සේයා : අංජලී පෙරේරා

Leave A Reply

Your email address will not be published.