චරිත දෙකෙන් පෙන්වූ දුර්වල චරිතය

“ඔව්. මම නන්දසේන ගෝඨාභය තමයි…” ඒක කවුරුත් දන්නා දෙයකි. එහෙත්, නන්දසේන කෑල්ල හිතාමතා ම හංගා ඇත. එය හංගා පාවිච්චි කරන්නේ නමේ ඉතුරු කොටස ය. නන්දසේන කිව්වා ම තත්ත්වය බාල වෙන නිසා ය. කොච්චර හංගන්න හැදුවත්, අද වන විට කරන වැඩ අනුව ජනතාව ම කියන්න පටන් අරන් ඇත්තේ, නන්දසේන කියන නම ය. එය දෙමවුපියන් තියපු නම ය. දෙමවුපියන් තියපු නම නැවත මතු කර ගන්නට සිදු වෙලා ඇත්තේ, කරන කියන දේවල් නිසා ය. මෛත්‍රීපාල සිරිසේනටත් සිදු වුණේ ඔය ටික ම ය. මුල දි මුල දී මෛත්‍රී කියන නම වැඩි වැඩියෙන් ප්‍රචලිත වුණේ ය. ‘මෛත්‍රී පාලනයක්’ කියලා පටන් ගත්තේ ය. අවසන් වුණේ, ‘අයියෝ සිරිසේන’ පාලනයකින් ය. ඒ ඔහු කියපු කරපු දේවල් නිසා ය. දැන් සිද්ධ වෙමින් තියෙන්නෙත් ඊටත් එහා ගිය දේවල් ය.

නන්දසේනට චරිත දෙකක් ඇති බව ඔහු ම දැන් පිළිගෙන ඇත. ජනතාව එය දැනසිටියත්, තමන් විසින් ම පෙන්වීම තුළින් නැවත සහතික කර ඇත. එහි භයානක පැත්ත ප්‍රජාතන්ත්‍රවාදයට ඇති අනතුරයි. දැනටමත් විසිවැනි සංශෝධනය හරහා එය මුළුමනින් ම පාහේ විනාශ කර ඇත. සියලු ස්වාධීන කොමිෂන් සභා අහෝසි කර ඇත. ඉතුරු වී ඇති කතා කිරීමේ, විවේචනය කිරීමේ අයිතිය ද බලහත්කාරයෙන් යටපත් කරන්නට උත්සාහ දරා ඇත. චණ්ඩි පාට් එකෙන් පෙන්නුවේ එයයි. “මාව විවේචනය කරන්න ලැහැස්ති වෙන්න එපා” යැයි කීම තර්ජනය කිරීමකි.

හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී කිව්වේ, ඇත්ත නන්දසේනගේ භාවිතාව ය. ඒකට සර්පයෙක් වාගේ කිපුණේ ය. රටේ ජනාධිපති කෙනකුට තරම් නොවන තත්ත්වයකට ඇදවැටුණේ ය. එල්.ටී.ටී.ඊ.ය තමන්ට පිත්තල හන්දියේ දී බෝම්බ ගහපු එක මතක් කළේ ය. ඒකේ වාඩුව ගත්තේ, ප්‍රභාකරන්ව නන්දිකඩාල්වල දී බල්ලෙක් වාගේ මරා දැමීමෙන් බව කිව්වේ ය. ඒ කියන්නේ, පිත්තල හන්දියේ දී තමන්ට බෝම්බ ගහපු එකට පළිගන්න ප්‍රභාකරන්ව මුල්ලි වෛක්කාල්වල දී මරා දැමූ බව ය. එසේ නැත් නම්, තමන්ට ගහපු නිසා ගහපු බව ය. පිත්තල හන්දියේ බෝම්බෙ ගැහුවෙ නැත් නම්, ප්‍රභාකරන් තවමත් ජීවත් වන්නේ ය. එහෙනම්, රට බෙදා ඊළාම් යුද්ධය එලෙස ම පවතින්නේ ය. රට බේරා ගැනීම වෙනුවෙන් රටේ ජනතාව බේරා ගැනීම වෙනුවෙන් යුද්ධය අවසන් කළා නොව තමන්ට ගහපු එකේ පළිය ගන්න ප්‍රභාකරන් මරා දැමූ බව ඉන් කියැවෙන්නේ  ය. ඒ කියන්නේ, සියල්ල සිදු වී ඇත්තේ, පෞද්ගලික දේවල් මත ය. එවන් මෝඩ තත්ත්වයකට ම කඩාගෙන වැටුණේ ය.

නමුත්, ඒ කතාවෙන් කියන්න ගියේ, “මාත් එක්ක සෙල්ලම් දාන්න එපා” යන්න ය. “මට ගැහුවොත්, මම පෙරළා අනිවාර්යයෙන් ම ගහනවා” යනුවෙන් ය. හරීන්ට විතරක් නොවෙයි, ඒ ජාතියේ තමන් විවේචනය කරන හැමෝට ම අනතුරු හැඟවීමක් කළේ ය. ගැහුවොත්, ගහනවා කිව්වේ ය. නිකම් ගැහිල්ලක් නොව ප්‍රභාකරන්ට ගහපු විදියට ගහනවා කිව්වේ ය. නොකියා කිව්වේ ඒක ය. තමන්ට ඕනෑ නම් නැවත හිටපු තත්ත්වයට ම යා හැකි බවත් කිව්වේ ය. ගොඩක් හාමුදුරුවරු තමන්ගෙන් එහෙම වෙන්න කියා ඉල්ලන බවත් කිව්වේ ය. කොහොම වුණත්, තමන්ට චරිත දෙකක් ඇති බව ප්‍රසිද්ධියේ ම පිළිගත්තේ ය. ඒ චරිත දෙක එකක් සුදු චරිතයක් වන අතර, අනෙක කළු චරිතයක් බව කතාවෙන් ම පැහැදිලි ය.

ජනාධිපති ලෙස බොරුවට පෙන්වන චරිතය ඉන් එකක් ය. ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් විදියට පෙන්වපු එක අනෙක් එක ය. ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස ඉන්න කාලේ අඩු ම ගාණේ පත්තරකාරයකුට ඔහු ගැන කාටුන් එකක්වත් අඳින්න ඉඩ දුන්නේ නැත. ඇන්දා නම්, පහුවදාට ම කළු ඩිෆෙන්ඩර් එකක් එන්නේ ය. කුප්‍රකට මිග් යානා ගනුදෙනුව ගැන හෙළිදරවු කළ ලසන්ත වික්‍රමතුංගලාට ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නට වුණේ ය. ආණ්ඩුව ඇතුළේ ඇමතිවරුන්ට පවා කළ තර්ජන ගර්ජන ඔවුන් ම තැන් තැන්වල කියා ඇත. මුළු රටක් භීෂණයෙන් වෙළා ගත්තේ, එදා තිබූ කළු චරිතය නිසාවෙනි. එදා සුදු චරිතයක් කියලා පෙන්නුවේ කොළඹ නගරය ලස්සන කරන්න කරපු සමහර දේවල් ටිකක් ය. ඒකෙන් ඇත්ත කළු චරිතයේ සියල්ල වසා ගන්නට බැරි ය.

මෛත්‍රී – රනිල් පාලනයේ අප්‍රසන්න අත්දැකීම් හා දුර්වලතාවන් නොවන්නට බලයට ඒමට පුංචි හෝ ඉඩක් ගෝඨාභයට තිබුණේ නැත. පක්‍ෂය ඇතුළෙන්ම තිබුණේ, බරපතළ විරෝධයක් ය. සහරාන්ලාගේ බෝම්බ නොවන්නට ඔය චාන්ස් එක එන්නේ ද නැත. එදා ජනතාව තුළ තිබුණු ජාතික හැඟීම, ජීවත් වීම පිළිබඳව තිබුණු අලුත් බලාපොරොත්තුව වාසියට බලපෑවේ ය. එසේ නොමැතිව විශේෂ හැකියාවක් හෝ ජනතාවගෙන් ආපු ස්වාභාවික ආදරයක් තිබුණේ නැත. ඇති වූ දුර්වල පාලනය විසින් අලුත් කෙනා ගැන ඕනෑවට වඩා තක්සේරුවක් ඇති කර ගත්තේ ය. මාධ්‍යවලින් ද ඉතිහාසයේ අන් කවර පාලකයකුට වඩා පුම්බා පෙන්නුවේ ය. ‘වැඩ කරන අපේ විරුවා’ යැයි පුහු පාඨයක් ද හැදුවේ ය. ඒත්, අවුරුද්දක් යන්නට මත්තෙන් සියල්ල පොඩිපට්ටම් වී ගියේ ය. තිබූ බලාපොරොත්තු සියල්ල සුනුවිසුණු වූයේ ය. මාස දහතුනෙන් අන්තිම දුර්වලයෙක් බව කාට කාටත් පැහැදිලි වුණේ ය.

රටක් මහා විපත්තියකට පත් වුණු වේලාවේ රටේ ප්‍රධානියාගේ ජාතිය අමතා කරන කතාවෙන් බලාපොරොත්තු වූයේ ඒ වසංගතයෙන් රට බේරා ගන්නා දැවැන්ත සැලැස්මක් සහිත ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළකි. එහෙත්, කොරෝනා වසංගතය ගැන කළ පළමු ජාතිය ඇමතීමෙන් කිව්වේ, පරිප්පු සහ සාඩින් ලාබෙට දෙනවා යන්න පමණකි. එතැනින් ම ඇත්ත දුර්වලයා රටට ම හෙළිදරවු වූයේ ය. ඡන්දය දීපු හැටනව ලක්‍ෂය ඔළුවේ අත ගහගෙන ලැජ්ජාවෙන් මූණ වසා ගත්හ. පහුගිය කාලය පුරාවට ම හාල් ගැන කියපු දේවල්වල ඉඳලා මේ තාක් කියපු දේවල්වලින් ඇත්ත දුර්වලයා එළියට ආවේ ය. තමන් කියන දේ තමයි, චක්‍රලේඛය, වෙන මොනවා දැයි රාජ්‍ය සේවකයන්ට කිව්වේ ය. කොන්ද පණ තිබුණ රාජ්‍ය සේවකයා භය නැතිව නීතියට පිටින් වැඩ කරන්න බැරි බවත්, එසේ කරන්න නම්, එයට චක්‍රලේඛයක් එවන ලෙසත් කිව්වේ ය. ඒකට උත්තර දුන්නේ ම මෝඩ විදියට ය.

නැඟෙනහිර ජැටිය පිළිබඳ වෘත්තීය සමිති හා සාකච්ඡාවක් තිබුණේ ය. විකුණන්නෙ නැහැ. බදු දෙන්නෙත් නැහැ කිව්වාට ජැටියේ අයිතියෙන් සියයට හතළිස්නවයක් ඉන්දියාවට දෙන බව කිව්වේ ය. දේශීය සම්පත් කිසිදු ආකාරයකින් විදේශයන්ට නොදෙන බව මහ හයියෙන් කියපු කෙනා කිසිදු ලැජ්ජාවක් නැතිව මෙය කිව්වේ ය. එපමණ ප්‍රමාණයක් කොටස් දෙනවා යනු අයිතියෙන් භාගයක් ඉන්දියාවට දෙනවා යන්න ය. එපමණක් නොව කළමනාකරණයේ අයිතිය ද ඉන්දියාවට දීමෙන් අපට සිද්ධ වන්නේ උඩ බලාගෙන ඉන්නට ය. ඒ සාකච්ඡාවෙන් අන්තිමට තමන්ගේ තීරණය එය බවත්, එයට විරුද්ධ නොවන ලෙසත් කිව්වේ ය. චරිත දෙකේ හැංගිලා ඉන්න චරිතය අන්තිමට එළියට ආවේ ය.

නන්දසේනට චරිත දෙකක් ඇති බව ඔහු ම දැන් පිළිගෙන ඇත. ජනතාව එය දැනසිටියත්, තමන් විසින් ම පෙන්වීම තුළින් නැවත සහතික කර ඇත. එහි භයානක පැත්ත ප්‍රජාතන්ත්‍රවාදයට ඇති අනතුරයි. දැනටමත් විසිවැනි සංශෝධනය හරහා එය මුළුමනින් ම පාහේ විනාශ කර ඇත. සියලු ස්වාධීන කොමිෂන් සභා අහෝසි කර ඇත. ඉතුරු වී ඇති කතා කිරීමේ, විවේචනය කිරීමේ අයිතිය ද බලහත්කාරයෙන් යටපත් කරන්නට උත්සාහ දරා ඇත. චණ්ඩි පාට් එකෙන් පෙන්නුවේ එයයි. “මාව විවේචනය කරන්න ලැහැස්ති වෙන්න එපා” යැයි කීම තර්ජනය කිරීමකි.

එහෙත්, තමන් ම නොදන්නා, තමන්ට නොතේරෙන දෙයක් එතැන ම තිබේ. තමන්ගේ දුර්වලතාවන් කොතරම් වහගෙන ඉන්න හැදුවත්, කොයි වෙලාවක හෝ එය එළියට එන බව නම් ඔප්පු වුණේ ය. කියන කරන දේවල්වලින් දුර්වලතාව දැනටමත් ජනතාව තේරුම්ගෙන ඇත. එය තවත් තහවුරු කළේ තමන්ගෙ ම මෝඩකමිනි. එහෙම චරිත දෙකක් ඇති බව ප්‍රසිද්ධියේ පිළිගැනීමෙන් ම මෝඩකම ප්‍රසිද්ධ කර ගත්තේ ය. කියන්න ගියේ, තමන්ට ගැහුවොත්, ගහනවා කියන චණ්ඩිකම ගැන ය. එහෙත්, කියැවුණේ, නොමේරූ දුර්වලකම ගැන ය. දුර්වලයාගේ ස්වභාවය එයයි. තමන්ට බැරි වුණා ම අතේ තියෙන, වටපිටේ තියෙන දේවල් අරගෙන හතර වටේට ගසා දමන්නේ ය. බැරි ම වුණොත්, තමන්ට කියලා පාවිච්චි කරන්න පුළුවන් සියල්ල අරගෙන දමා ගසන්නේ ය. ඒක ම දුර්වල පාලකයකුගේ ගතිලක්‍ෂණයයි. දැන් මේ පෙන්වන්නේ එයයි. ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, කොරෝනා ප්‍රශ්න විසඳා ගන්න බැරි වුණා ම කේන්තියට අඩි පොළොවේ ගැසීම ය. වියරුවෙන් මෙන් දැඟලීම ය එහෙත්, ඉන් ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ නැත. ආර්ථික ප්‍රශ්නවලට අමතරව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය ද එන්නේ ය. රට තව තවත් අඳුරු අගාධයකට යන්නේ ය●

ජගදාක්‍ෂි

 

 

Leave A Reply

Your email address will not be published.

2 + 20 =