දුලිප්ගේ සිට කමිඳු දක්වා මෙන්ඩිස් පෙළහර

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුට ක්‍රිකට් ක්‍රීඩාව එක්ක තියෙන්නෙ ආත්මීය බැඳීමක්. වොලිබෝල් ජාතික ක්‍රීඩාව වුණත්, ක්‍රිකට් ක්‍රීඩාවට ඊට එහා ගිය ජනප්‍රියත්වයක් රට පුරා පවතිනවා. ඒ කාරණාව නිසාවෙන්ම තමයි පාසල් කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායම් උතුරලා යන්න ක්‍රීඩකයෝ අපට හමුවෙන්නේ. ආධුනික ක්‍රීඩකයෝ හය හතර සීමා ඇතුළේ ඉඳන් ක්‍රීඩාව දැන හඳුනා ගනිද්දී සීමාවෙන් එළියේ ඉඳන් කෙරෙන මවුපියන්ගේ ක්‍රීඩාවට අදටත් දෙන්න නමක් නැහැ. අපි දැනට මෙතැනින් අතීත කතාවක් දිහාවට හැරෙමු.

නායකත්වය කියන්නෙ මොකක් ද කියලා ඇහුවොත් විවිධාකාර උත්තර ගොන්නක් අපිට හම්බ වෙනවා. ඒවා එක්ක එකඟ වෙන – නොවෙන තත්ත්වයන් තියෙන්නත් බැරි නැහැ. හැබැයි තමන් ක්‍රීඩා කරන තුන්වැනි ජාත්‍යන්තර ටෙස්ට් තරගයේ දී කණ්ඩායමක නායකත්වය දරන්නට සිදු වුණොත්, ඒක කොහොම අත්දැකීමක් වේවි ද? ඇත්තටම ඔහුට ඒ වගකීම භාර ගන්න සිදු වුණා. ඒ තමයි, දුලිප් මෙන්ඩිස්; ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය හිමි වෙන්නේ දුලිප් මෙන්ඩිස්ගෙ නායකත්වයෙන්, ඒ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව. 1982දී මැඩ්රාස්වල ඉන්දියාව සමඟ පැවැති තරගයක දී පළමු ඉනිමේ දී තම මංගල ටෙස්ට් ශතකය රැස් කරන දුලිප් මෙන්ඩිස් දෙවැනි ඉනිමෙත් ශතකයක් වාර්තා කරනවා. මේ අවස්ථා දෙකේ දී ම ඔහු ලකුණු එකසිය පහ බැගින් රැස් කරනවා. ටෙස්ට් තරග විසි හතරක්, ශතක හතරක්, අර්ධ ශතක අටක් ඔහුගේ ටෙස්ට් ඉතිහාසයට අයිති වෙන අතරේ ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ ‘විශිෂ්ට නායකයෙක්’ යන නාමය ද දුලිප් මෙන්ඩිස් සතු වෙනවා.

අජන්ත මෙන්ඩිස්

තවත් ක්‍රීඩාවක නමින් ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දුවක් නම් කළ අවස්ථාවක් මතක් කළොත්, අපට එකවරම සිහියට නැඟෙන්නේ ‘කැරම් පන්දුව’, කැරම් පන්දුව ඉදිරියේ කඩුල්ල මුවා කරමින් එසේත් නැත්නම් කෙළින් ම කඩුල්ලේ ගැටී දැවී යන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං දෙවනුවට මතකයට ආවත්, අපි ඊට කලියෙන් ඒ පන්දුවේ නිල නොවන අයිතිකරු අජන්ත මෙන්ඩිස් බව මතක් කර ගත යුතුයි. 2016 විස්සයි විස්ස ලෝක කුසලානය, ලකුණු එකසිය අසු තුනක ඉලක්කයක් හඹා යන සිම්බාබ්වේ කණ්ඩායම, ලකුණු තිස්හතක දී දැවී යන පළමු කඩුල්ලේ සිට කඩුලු හයක්, ඒ වෙද්දී හොඳම විස්සයි විස්ස පන්දු යැවීම පකිස්තානු වේග පන්දු යවන්නකු වූ උමාර් ගුල්ගේ, ඒත් මේ සියලු දේ වෙනස් කරන්න අජන්ත මෙන්ඩිස්ගේ පන්දු හයකට හැකි වෙනවා. ඒ ලකුණු අටකට කඩුලු හයක් දවාලමින්. ටෙස්ට්, එක්දින, විස්සයි විස්ස යන සියලු තරග රටාවන්වල තරග දිනවන්නෙක් සහ තරග වෙනස් කරන්නෙක් විදියට ඔහු හඳුන්වන්න පුළුවන්. ඒත් වරින්වර ඔහුට ඇති වූ ආබාධ තත්ත්වයන් එක්ක ඔහුගේ උපරිමය ළඟා කරගන්නට හැකි වුණා ද යන්න නැවත නැවතත් හිතන්නට ඕනෙ කාරණයක්.

ජීවන් මෙන්ඩිස්

උපුල් චන්දන, කුමාර ධර්මසේන, රසල් ආර්නෝල්ඩ් වගේ දක්ෂ තුන්ඉරියවු ක්‍රීඩකයෝ හිටිය ලාංකීය ක්‍රිකට් ඉතිහාසයක් අපට තියෙන්නේ. අනාගතයේ දවසක මේ ලැයිස්තුවට වනිඳු හසරංග වැනි ක්‍රීඩකයකු ද ඇතුළු වේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා. ඒත්, මේ උපුල් චන්දනටත්, වනිඳු හසරංගටත් මැදින් තියෙන කතාවක්. ඔහු තමයි ජීවන් මෙන්ඩිස්.  ජීවන් දකුණත් පා දඟ පන්දු යවන්නෙක්. මැදපෙළ තදින් පහර එල්ල කළ හැකි විශිෂ්ට තුන්ඉරියවු ක්‍රීඩකයෙක්. ජීවන් මෙන්ඩිස් එක්දින තරග පනස්තුනක දී අපේ රට නියෝජනය කළා. ඒ අතර කඩුලු විසි අටක් දවා ගන්න වගේම එක අර්ධ ශතයකට හිමිකම් කියන්න ඔහුට හැකි වුණා. විස්සයි විස්ස තරග රටාවේ ද දස්කම් දක්වපු ඔහුට ජාතික කණ්ඩායමේ අවස්ථාව හිමි වුණේ කඩින් කඩ වැටෙන වැස්සක් වගේ. ඉතින් මේ කාරණා එක්ක හිතල බලද්දී, ඔහු උපුල් චන්දන, කුමාර ධර්මසේන එක්ක තුන්ඉරියවු ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ලියැවුණා ද කියන එක අදටත් ප්‍රශ්නයක්.

කුසල් මෙන්ඩිස්

ටෙස්ට් තරග හතළිස්හයක දී, ඉනිම් අසූ නවයක දී, ලකුණු තුන් දහසේ සීමාව ඉක්මවපු වයස අවුරුදු විසිපහක් වෙන, දෙදහස්විස්ස අවසානයේත් දෙදහස්විසිඑක ආරම්භයේත් බින්දුවට දැවී ගිය  කුසල් මෙන්ඩිස්, ටෙස්ට් ශතක හතක් වගේම අර්ධ ශතක එකොළහක් මේ වෙද්දීත් ඔහුගේ නම ඉදිරියේ ලියැවෙලා අවසන්. කුසල් අනාගත මහේල ජයවර්ධන ද, අරවින්ද ද සිල්වා ද, එහෙමත් නැත්නම් ගාෆීල්ඩ් සෝර්බස් ද කියන්න ඇත්තටම අපි දන්නේ නැහැ. ඒත් දෙදහස්දහඅට අවුරුද්දේ බංගලාදේශය සමඟ පැවැත්වුණු ‘රොකට් ටෙස්ට් තරගාවලියේ’ පළමු තරගයේ ඔහුගේ නම ඉදිරියෙන් ලියැවුණ ලකුණු එකසිය අනූහයත්, ඒ රොකට් ප්‍රහාරයනුත් අපට මතකයි. ඒ අවුරුද්දේ දී ම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කුසල් මෙන්ඩිස් ලබා ගත් ලකුණු එකසිය හැත්තෑ හයත් අපට මතකයි. කවර් ඩ්‍රයිව් පහර, හුක් පහර, ස්ලොග් ස්වීප් පහර අපට මතකයි. දෙදහස්දහඅට අවුරුද්දේ ටෙස්ට් ක්‍රිකට් තරග රටාවේ වැඩිම උඩ පන්දු ප්‍රමාණය රැස් කරගත්තේ ඔහුයි. ජොන්ටි රෝඩ්ස්ගෙන් ද උඩ පන්දු ගිලිහී යන අවස්ථා නැතුවාම නෙවෙයි. මුත්තයියා මුරලිදරන්ගේ පන්දුවලට ද හයේ පහරින් සංග්‍රහ හිමි වුණු අවස්ථා ද නැතුවාම නොවෙයි. ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ද ලකුණු නොලබා දැවී ගිය අවස්ථා නැතුවාම නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පසුබෑමකට ලක් වී ඇති බව ක්‍රිකට් නරඹන ඔබ අප සියල්ල දන්නා කියන කාරණයක්. ඒත් කණ්ඩායමක් විදියට නැවතත් පණගසා නැඟිටින්නට, ඒ වෙනුවෙන් තමන්ගේ පිත්ත කතා කරවීමට කුසල් මෙන්ඩිස්ට යම් විවේක කාලයක ඉඩක් සෑදිය යුතු යන්නයි අපේ අදහස.

කමිඳු මෙන්ඩිස්

මෙන්ඩිස්ලාගේ කතා එකිනෙකෙට වෙනස්. අනාගතයේ කමිඳු මෙන්ඩිස්ගේ පරිච්ඡේදය කෙසේ ලියා දක්වන්නට වේ දැයි අපට තවමත් අදහසක් නැහැ. කොහොම වුණත්, අවසානයේ ක්‍රීඩාලෝලී අපගේ එකම බලාපොරොත්තුව අඩි හැටහයක, හය හතර සිමාවක උපරිම ජයඝෝෂාව විතරමයි.

පසන් සමරතුංග

Leave A Reply

Your email address will not be published.