සියක් වයසැති ඔලිම්පික් ආච්චි අම්මා

ලොව වයස්ගතම ඔලිම්පික් ශූරිය වන හංගේරියාවේ ඇග්නස් කෙලෙටි (Ágnes Keleti) පසුගිය දා 09 වැනිදා සිය 100 වැනි උපන් දිනය සැමරී ය. ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කම් 10ක් දිනා ගත් ඇය හංගේරියානු ඔලිම්පික් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක ක්‍රීඩිකාව ලෙසින් හැඳින් වේ.  ඇග්නස් කෙලෙටි 1952දී පින්ලන්තයේ, හෙල්සින්කි හි පැවැති සහ 1956 ඔස්ට්‍රේලියාවේ, මෙල්බර්න් හි පැවැති  ඔලිම්පික් උලෙළවල දී රන් පදක්කම් 5ක්, රිදී 3ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනාගත්තා ය. ඇයට පෙර 98 වියෙහි පසු වූ පින්ලන්තයේ ක්‍රීඩිකාවක වූ ලිඩියා වයිඩ්මන් 2019 අප්‍රේල් මාසයේ දී මිය යාමෙන් පසු කෙලෙටි දැනට ජීවත් වන වයස්ගතම ඔලිම්පික් ශූරිය බවට පත්ව සිටින්නී ය.

“ඔබගේ උපන් දිනයට හෘදයාංගම සුබ පැතුම්. ඔබේ කතාව ඇත්තෙන්ම ආස්වාදජනකයි. ඛේදවාචකය ජය ගැනීම සඳහා දැඩි අධිෂ්ඨානය සහ ධෛර්යයකින් යුතුව ඔබ ඔබේ බලය පෙන්නුම් කර ඇත. විශිෂ්ට ඔලිම්පික් ශූරියකගේ ලක්ෂණ මේවායි. ඔලිම්පික් ක්‍රීඩිකාවක ලෙස ඔබ සතුව පදක්කම් දහයක් තිබෙනවා. ඉන් පහක්ම රන්. ඇත්තෙන්ම එය පුදුමසහගතයි. මට විශ්වාසයි ඔබ 1948 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගී වූවා නම්, ඔබට තවත් බොහෝ දේ ලැබෙන්නට තිබෙන්නට ඇති” යි මේ වයස්ගතම ඔලිම්පික් ශුරියට සුබ පතමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් කියා ඇත. බැච් වෙනුවෙන් හංගේරියානු ඔලිම්පික් කමිටුවේ සභාපති ක්‍රිස්ටියන් කුල්සාර් ඇයට ඔහු එවා තිබූ තිළිණය ලබා දුන්නේය.

දෙවන ලෝක සංග්‍රාමයට මැදිහත් නොවී සිටියා නම්, ඇය තවත් බොහෝ දේ උරුම කර ගන්න බවයි බොහෝ දෙනා පවසන්නේ. ඇග්නස් කෙලෙටි ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගී වීමට යුද්ධය නිසා වයස අවුරුදු 31ක් වන තුරු බලා සිටියා ය.

කෙලෙටි වයස අවුරුදු හතරේ දී සිය ක්‍රීඩාව වූ ජිම්නාස්ටික් සඳහා බුඩාපෙස්ට් හි ඇති එකම යුදෙව් සමාජය වන VAC ක්‍රීඩා සමාජයට බැඳී ඇත. වයස 16 වන විට ඇය සිය පළමු ජාතික ශූරතාව දිනාගත්තා ය. 1940දී ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ සඳහා හංගේරියානු කණ්ඩායමට ඇතුළත් වීමට ඇයට සහතිකව අවස්ථාව විය.

දෙවන ලෝක යුද්ධය යට ක්‍රීඩාවටත් වඩා බරපතළ ගැටලු ගෙන ආවේ ය. 1941දී හංගේරියාව ජර්මනිය හා ඉතාලිය සමඟ සටන් කිරීමත් සමඟ කෙලෙටි යුදෙව්වකු වීම නිසා ඇගේ ජිම්නාස්ටික් සමාජයෙන් නෙරපා හරින ලදී. ඇගේ පවුලේ අය සමඟ ගම්බද ප්‍රදේශවල සැඟවී සිටීමට ඇයට සිදු විය. ව්‍යාජ අනන්‍යතාවක් උපයෝගී කරගෙන සේවිකාවක් ලෙස සේවය කිරීමෙන් පසුව ඇය යාන්තමින් දිවි ගලවා ගත්තා ය. නාසීන් හංගේරියාව අත්පත් කර ගත් පසු ඇය ජිම්නාස්ටික් ක්‍රීඩකයකු වූ  ඉස්වාන් සර්කනි සමඟ විවාහ වූවා ය. එමඟින් ඇය කම්කරු කඳවුරකට යැවීමට ඇති ඉඩකඩ අඩු වනු ඇතැයි විශ්වාස කළා ය.

රාවුල් වොලන්බර්ග් විසින් පාලනය කරන ලද ‘ස්වීඩන් මන්දිරයක’ ඇගේ පවුලේ අය ද සමඟ ඇයත් රැකවරණය පැතූහ. එහෙත්ල ඒ යුද සමයේ දී  ඇග්නස් කෙලෙටිගේ පියා සහ මාමලා ඈ තරම් වාසනාවන්ත නොවූහ. ඔවුහු අවුෂ්විට්ස් සහ වෙනත් කඳවුරුවල දී ඝාතනයට ලක් වූහ. නාසීන් විසින් කෲර ලෙස ඝාතනය කරන ලද හංගේරියානු යුදෙව්වන් 5,50,000 දෙනා අතර ඔවුහු ද වූහ.

යුද්ධයෙන් පසු ඇග්නස් කෙලෙටි ලොම් කම්කරු සේවිකාවක ලෙස හා භෞතික සංස්කෘතිය සඳහා බුඩාපෙස්ට් පාසලේ ජිම්නාස්ටික් පීඨයේ නිරූපිකාවක් ලෙස රැකියාවක් සොයා ගත්තා ය. ඇය වෘත්තීයමය වශයෙන් ක්‍රීඩා කළා ය. 1947 වන විට ඇය සිය පළමු මධ්‍යම යුරෝපීය ජිම්නාස්ටික් ශූරතාව දිනාගෙන තිබුණේ ක්‍රීඩා විශිෂ්ටත්වය පැහැදිලිව දැකගත හැකි වන පරිදි ය.

1956 මෙල්බර්න් ඔලිම්පික් උලෙළින් අනතුරුව කෙලෙටි දේශපාලන රැකවරණ ලබා ගනිමින් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටියා ය. ඒ සෝවියට් සංගමය හංගේරියාව ආක්‍රමණය කර තිබූ සමයයි. අවසානයේ දී ඇය ඊශ්‍රායලයට සංක්‍රමණය වූ අතර එහි දී ඇය නැවත විවාහ වී දරුවන් දෙදෙනකු ලැබුවා ය. ඕර්ඩ් වින්ගට් ආයතනයේ ශාරීරික අධ්‍යාපනය ඉගැන් වූ අතරල පසුව ඊශ්‍රායලයේ කාන්තා ජිම්නාස්ටික් පුහුණුකාරිනිය බවට ඇග්නස් කෙලෙටි පත් වූවාය.

සියක් වසක් ජීවමාන ඇග්නස් කෙලෙටි ඔලිම්පික් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කාන්තා යුදෙව් ක්‍රීඩිකාව වන බවයි අදටත් ඔලිම්පික් ලෝකය පිළිගනු ලබන්නේ.

Leave A Reply

Your email address will not be published.

nineteen + five =