ඉන්දියාව වෙනුවෙන් කොළඹ වරාය ගැන ජනපති බොරු කියයි

කොළඹ වරාය නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අසත්‍ය ප්‍රකාශ කිරීමට පෙළඹීමත්, කරුණු විකෘති කරමින් ජනාධිපති මාධ්‍ය අංශය හරහා මාධ්‍ය නිවේදන නිකුත් කිරීමට කටයුතු කිරීමත් කනගාටුවට කරුණක් බව වරාය වෘත්තීය සමිති අවධාරණය කර සිටී.
පසුගිය 13දා ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා විසින් අවධාරණය කර තිබුණේ, නැඟෙනහිර පර්යන්තයේ ප්‍රතිඅපනයන මෙහෙයුම්වලින් සියයට 66කට ඉන්දියාව දායක වන බවත්, එම මෙහෙයුම් ආදායම අහිමි කර ගත නොහැකි බවත් ය. එසේම එම පර්යන්තය විකිණීමක් හෝ බදු දීමක් සිදු නොකරන බවත්, ඉන්දියාවේ අදානි සමාගමේ ආයෝජනයක් පමණක් ලබා ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහි දී වැඩි දුරටත් සඳහන් කර තිබිණි.
වරාය වෘත්තීය සමිති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා පවසන ආකාරයට මෙම ප්‍රතිඅපනයන බහාලුම් මෙහෙයැවීමට තරම් ධාරිතාවක් සහිත ගැඹුරු වරායක් ඉන්දියාවට නොමැති බවයි. ආණ්ඩුව පාර්ශ්වයෙන් මෙම බහාලුම් මෙහෙයැවීම අහිමි වීමෙන් රටට ආදායම් අහිමි වන බව පෙන්වීමට උත්සාහ කළ ද, ඉන්දියාවට මේ මෙහෙයුම් සඳහා කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය අත්‍යවශ්‍ය වී ඇතැයි ද පෙන්වා දෙන අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඉන්දියාවේ සමස්ත බහාලුම් ධාරිතාව වන මිලියන 15න්, මිලියන 3.5ක මෙහෙයුම් සිදු කිරීමට පවා ඉන්දියාව අපොහොසත් වී ඇතැයි ද පෙන්වා දෙති. ජනාධිපතිවරයා පවසන සියයට 66ක මෙහෙයුම් කතාව සත්‍යයක් වුව ද, ඒවා අහිමි වීමේ කිසිදු අවදානමක් නැතැයි ද අවධාරණය කරන අදාළ නිලධාරීන්, ඉන්දියාවට සිංගප්පූරුව හෝ එවැනි රටක පිහිටි වරායක් මඟින් මේ සේවා සපයා ගැනීම නැව් සමාගම්වලට අධික වියදම් දැරීමට සිදු වන ක්‍රියාවලියක් බව ද සඳහන් කර සිටී.
කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය වාර්ෂිකව බහාලුම් මිලියන 2ක පමණ මෙහෙයුම් සිදු කරනු ලබයි. මෙය කලාපයේ ඇති වැඩිම ආර්ථික වටිනාකමකින් යුත් වරාය වන අතර, ඉන්දියාවට තම ආර්ථික වර්ධනයට සාපේක්ෂව වරායවල ධාරිතාව වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබී නැත. එම නිසා මේ වන විට ඉන්දියාව බටහිර වෙරළේ නව වරායක් ඉදිකරමින් සිටී. එහෙත්, මේ වරායේ ද මෙහෙයුම් කටයුතු වසර පුරා සිදු කළ නොහැකි බවට දැනටමත් අනාවැකි පළ වෙමින් තිබේ. ඊට හේතු වන්නේ වසරේ මාස කිහිපයක් මුහුදේ වෙනස් වීම් නිසා වරාය මුහුදේ වැලි පිරීම ය. එම වැලි ඉවත් කිරීම අධික වියදම් සහිත කාර්යයකි.
මේ හේතුව නිසා ඉන්දියාවට කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සිදු කිරීම අත්‍යවශ්‍ය වන අතර, ඔවුන්ට වෙනත් ලාභදායී විකල්ප නැත. එසේ තිබිය දී ජනාධිපතිවරයා රටට ආදායම් අහිමි වීමේ අවදානමක් පෙන්වමින්, මේ සම්බන්ධයෙන් ඇති වෙමින් තිබෙන විරෝධය වැළැක්වීමට උත්සාහ දරන බව පෙන්වා දෙන අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය මඟින් ඉන්දියානු බහාලුම්වලට අමතරව අප්‍රිකා, පාකිස්තානු, මාලදිවයින් සහ බංග්ලාදේශ් ඇතුළු රටවල් රැසක බහාලුම් මෙහෙයුම් සිදු කරන බව ද අවධාරණය කර සිටී. මේ අනුව ආණ්ඩුවේ මේ තීරණය මගින් ඉන්දියාවට විශාල වාසියක් සිදුවන බවත්, එම වාසිය ලබා දීමට ජනාධිපතිවරයා මෙතරම් උත්සාහ කිරීම බරපතළ ගැටලුවක් බවත් ඔවුහු වැඩි දුරටත් ඔවුහු අවධාරණය කර සිටිති.

Leave A Reply

Your email address will not be published.

eighteen + 12 =