අවසරයකින් තොරව කාන්තාවන් පිරිසකට වඳ සැත්කම් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව අදාළ චෝදනා තහවුරු කළ හැකි මට්ටමේ කිසිදු සාක්ෂියක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 27 දින අධිකරණයට ප්‍රකාශ කර ඇත. එම දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා විසින් මේ බව අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම චෝදනා සම්බන්ධයෙන් 750කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත්, එම ප්‍රකාශ කිසිවකින් වෛද්‍යවරයාට එරෙහි චෝදනා තහවුරු නොවන බවත් අධිකරණයට කරුණු වාර්තා කරමින් ස්ථානාධිපතිවරයා දැනුම් දී ඇත. මාධ්‍යවේදී හේමන්ත රන්දුනුගේ ප්‍රකාශයේ දී තමන්ට මේ තොරතුරු ලබා දුන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයා බව පැහැදිලිව පැවසූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා ඇත. සාෆි වෛද්‍යවරයා කාන්තාවන් වඳ කළ බවක් තමන් ස්ථීරව නොකී බවත්, එවැනි කතාවක් ඇති නිසා ඒ ගැන සොයාබලන ලෙස තමන් ‘දිවයින’ මාධ්‍යවේදී හේමන්ත රන්දුනුට පැවසූ බවත් කුරුණෑගල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සිය ප්‍රකාශයේ දී පැවසී යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කුරුණෑගල මහේස්ත්රාත්වරයාට දැනුම් දී තිබේ.
පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිටු 210ක වාර්තාවක් මෙදින අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර නඩුව ජුලි 11 දින දක්වා කල් දමා ඇත.
ශාලික විමලසේන