‘දැන් මම ගෙදර’ – අනුරුද්ධ පාදෙණිය

තමා මේ වනවිට තම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඊයේ(14) රාත්‍රියේ මාධ්‍ය වෙත පවසා තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා වන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවසේ පැවැති සාදයකට සහභාගිවූවන් අතර සිටි වෛද්‍යවරයෙකු කොවිඩ් 19 වෛරසයට ආසාදිත බව හඳුනාගැනීමත් සමඟ ඊට සහභාගී වුවන් නිරෝධායනයට ලක් කිරීමට තීරණය කර ඇත. පසුගිය 8 වැනිදා මෙම සාදය පවත්වා ඇති අතර ඊට සහභාගීව ඇති කොවිඩ් 19 ආසාදිත වෛද්‍යවරයා මිනුවන්ගොඩ උග්ගල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ බව  මිනුවන්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය අනුජ ප්‍රනාන්දු දැනුම් දී ඇත. කොවිඩ් 19 ආසාදනය වූ වෛද්‍යවරයා අවිස්සාවේල්ල මූලික රෝහලේ සේවය කරන අතර ඔහු පසුගිය 10 වැනිදා විවාහ මංගල්‍යයකටද සහභාගි වී තිබේ. ඔහු මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබයි.

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවසේ පැවැති ප්‍රිය සාදයට සහභාගි වූ වෛද්‍යවරයකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වුයේ පසුගිය 13 වැනිදා ය. අනුරුද්ධ පාදෙණියට හිතවත් පවුල් තුනක සාමාජිකයන් හා හිතවතුන් විසි දෙනකු පමණ 8 වෙනිදා පැවති මෙම සාදයට එක්ව තිබේ.

මේ අතර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනකු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසට පසුගිය 13 වැනිදා රාත්‍රී 7.45 ට පමණ පැමිණ ඔහු නිරෝධායනයට ලක් කිරීමට සූදානම් වුවද එය ව්‍යර්ථ වී ඇත. ඊට හේතුව වී ඇත්තේ වෛද්‍යවරයා ගේට්ටුව විවර නොකිරීම හා නිවසේ විදුලිය විසන්ධි කිරීමය.

පසුගිය 14 වෙනිදා උදෑසන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ කැලණිය දිප්පිටිගොඩ පිහිටි නිවස වෙත ගොස් ඇතත් නිවසේ විදුලිය විසන්ධි කොට, දොරගුළු දමා පිරිස නිවසින් පිටව ගොස් තිබේ. ඉන් දැඩි අසීරුතාවට පත් සෞඛ්‍ය නිලධාරීහු ඒ බව කැලණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වෙත දැනුම් දී තිබුණි.

අදාළ නිරෝධායන කටයුතු සඳහා 13වන දින රාත්‍රීයේ සහ 14 දින පෙරවරුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසට ගොස් තිබුණත් එහි කිසිවෙකු රැඳී සිට නොමැති බව වාර්තා විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසන්නේ “PHI මහත්තයා එන වෙලාවේ මම කොළඹින් පිට තමයි හිටියේ. අපේ ගෙදර වැඩකරන කෙනා මාස 6කින්වත් ගෙදර ගිහින් තිබුණේ නෑ. එයාව බස් රථයකින් ගෙදර යවපුවාම රෝගය පැතිරීමට ඉඩකඩ තිබෙන නිසා මම මගේ වාහනයෙන් එයාව රත්නපුරට ගිහින් දාලා ආවා. ඒ අතරතුර තමයි මේ කියන PHI මහත්තයා ඇවිල්ලා තියෙන්නේ. දැන් මම ගෙදර ඇවිල්ලා ඉන්නේ. මම ගියේ මගෙ වාහනයෙන්මයි. මග රැඳීසිටීමක් සිදුකරලා නෑ. හෙට උදේ මගේ PCR පරීක්ෂණයක් කරනවා කිව්වා. එතෙක් මම ගෙදර ස්වයං නිරෝධායනය වෙලා ඉන්නවා” බවයි.

Leave A Reply

Your email address will not be published.