සටන් වලට ගැලපෙන උන් කවුද?

කවුරුවත් කියන්නේ නැහැ රන්ජන් කළා වගේ, කෙනෙක් රජයේ දූෂණ වංචා හොර බොරු බය නැතුව එළිදරව් කිරීම සහ ඒ අසාධාරණයට එරෙහිව හඬ නැගීම වැරදියි කියලා. ඒ වුනත් සමහරු කියන්නේ ඒ වැඩේ රන්ජන් වගේ එකෙකුට ගැලපෙන් නෑ කියලා. ඒ කියන්නේ ඒක කළ යුත්තේ ඔය වගේ දෙකේ පහේ බයිස්කෝප් වල ස්ටීරියෝ ටයිප් වීරයාගේ චරිතය රඟපාන එකෙක් නෙමෙයි. මගේ මතය වෙනස් කර ගන්නේ නෑ කියලා වහ කෑ යුත්තේ සොක්‍රටීස් වගේ එකෙක් මිසක් රන්ජන් වගේ එකෙක් නෙමෙයි කියලයි මේ කියන්නේ. සමහරවිට ඒකට රන්ජන්ගේ දේශපාලනය පිළිබඳ අඩු න්‍යායික අවබෝධය ද අවශ්‍ය නම් කෙනෙක් එකතු කරන්න පුළුවන්. නමුත් කවුරුත් කිසිම තැනක පැහැදිලි කරලා නැහැ එහෙම නම් ඒ වැඩේ කළ යුතු එකෙකුට තිබිය යුතු නිවැරදි ලක්ෂණ මොනවද කියලා. අවම වශයෙන් කවුරුහරි තවත් ජීවමානව ඉන්න කෙනෙක් උදාහරණයට වත් පෙන්නලා කියනවා නම් හොඳයි.

අපි කියන්නේ මේකයි. ඒ රන්ජන් කරන වැඩේ කරන්ඩ එහෙම නිශ්චිත චරිත ලක්ෂණ හෝ දැනුමක් අවබෝධයක් යෝජනා කරන්න බැරි බවයි. ඒ මොන විදිහේ හැඩයක් යෝජනා කලත් ඒක විවාදයට ලක් කරන්න පුළුවන්. ඒක මාළු බාන්නාගේ ඉඳන් කොමඩි නළුවන් දක්වා ඕනෑම වෘත්තියක් හෝ ක්‍රියාකාරකමක් කරන කෙනෙකුට ඕනෑම දැනුම මට්ටමක් යටතේ කරන්න පුළුවන්. නමුත් ඒ උත්සාහය පුද්ගලයෙකුගේ ලයිෆ් ස්ටයිල් එක හෝ වෘත්තිය නිසා අවප්‍රමාණය කරන්න විදිහක් නැහැ. වෙනත් විදිහකට කියනවා නම් චේගේ ඔලුව ඩිසයින් කරලා තියන තොප්පිය දැමීමට සැපිරිය යුතු සුදුසුකම් අපිට දැන් යෝජනා කරන්න බැහැ. එහෙම චේව ඇඳගන්න දාස් කැපිටාල් කියවිය යුතු නැහැ. පරමාදර්ශී වීරයෝ විප්ලව කාරයෝ පිළිබඳව විශ්වාසයක් අපිට නැහැ. එහෙම ඉන්න අවශ්‍යත් නැහැ.

මේ විදියට ශ්‍රී ලංකාවේ ප්‍රංශ ජර්මන් චින්තකයින්ගේ ඉඳන් විවිධ සම්ප්‍රදායන් ශෛලීන් ලයිෆ් ස්ටයිල් දක්වා විවිධ පුද්ගල කොටස් එහි අධිකාරීත්වය තමන්ට පවරා ගෙන තියන බව අපිට නිතර පෙනෙනවා. නැවත නැවත නිශ්චිත පුද්ගල කොටස් ඒ වෙනුවෙන් පෙනී සිටියට පස්සේ ඒවා වෙනත් අය කරන්නට ආහම නොගැලපෙනවා කියලා මිනිස්සු කියනවා. කාලයක් තිබ්බා විශ්වවිද්‍යාලවල දෘෂ්ටිවාදයක් ගොඩනැගිලා තිබුණා විප්ලව කරන්නට පුළුවන් සෙරෙප්පු දෙකක් දාගෙන පාප්ප ගාගත්ත කඩමලු ඇඳ ගත්ත උන්ට විතරයි කියලා. ඒ අනුව මොඩ් විදියට ඇඳගත්ත පච්ච කොටා ගත්ත කරාඹු දා ගත්ත උන්ට විප්ලව කරන්න බැහැ, අසාධාරණයට එරෙහිව කතා කරන්න බෑ. උන් කොලොත් රන්ජන් විප්ලව කලා වගේ කියලා තමයි කියන්නේ. මේ වගේ විශ්වාස ඔක්කොම එක්තරා පැරණි ලෝකයක අනන්‍යතා සම්ප්‍රදායන් හා පරමාදර්ශයන් විශ්වාස කරපු අධිකාරීවාදී විඥානයකින් ගොඩනැගුණු දේවල්.

ඒ වගේම අසාධාරණයට එරෙහිව කතා කිරීම ඔබ හැමවිටම සාධාරණව ජීවත් යුතු නැහැ.කෙනෙකුට කියන්න පුළුවන් මම හරිම අසාධාරණ විදියට ජීවත් වෙන්නේ, මට එහෙම ජීවත් වෙන්න ඕනේ නෑ, ඒකයි මම සාධාරණත්වය උදෙසා සටන් කරන්නේ කියලා. අපි යථාර්ථයන් ජයගන්න සටන් කළ යුත්තේ පවතින යථාර්ථය තුල අසාධකාරණේ කොටස්කරුවන් විදිහට අපිට ඉන්නට සිදුවෙලා තියෙන දේට අකමැති නිසා මිසක් අපි සාධාරණ බව පෙන්වා අපි අකමැති අසාධාරණ විදියට ජීවත්වන උන්ට කෙළවන්න නෙමෙයි. මේ  ක්‍රමය තුළ මේ වෙනකොට සම්පූර්ණ සාධාරණව ජීවත් වෙන්න පුළුවන් කිසිම කෙනෙක් ඉතුරු වෙලා නෑ. ඒ නිසා මේ ක්‍රමය තුළ සාධාරණය වෙනුවෙන් සටන් කරන එකකුගේ අඩුපාඩු පෙන්වීම දැන් ඒ තරම් වැදගත් තර්කයක් නෙමේ. එහෙත් කෙනෙක් තමන් සුදනෙක් බව හඟවමින් අනිකාව ප්‍රශ්න කරනකොට ප්‍රශ්න කරන්නාගේ පිරිසුදුභාවය ප්‍රශ්න කිරීමට බැරි බවක් ඉන් අදහස් කරන්නේ නෑ. ඔබ දැන් මොන චරිතය දුන්නත් සාධාරණත්වය හෝ විවිධ නොගැළපීම් නමින් කොටසක් හොයාගෙන විවාදයට ලක් කරන්න පුළුවන්.

වඩාම වැදගත් දේ කවරම තත්වයක් යටතේ හෝ අවම දැනුම අත්දැකීම යටතේ හෝ වේවා අසාධාරණය වෙනුවෙන් ‘දිවිහිමියෙන්’ කරන සටනේ අනුරාගය අත්නොහැරීමයි.

-ධනංජය කරුණාරත්න

Leave A Reply

Your email address will not be published.

four × 1 =