“මේ රටේ ජනතාව හදල තියෙන්නේ ආණ්ඩු නෙමෙයි බ්‍රෝකර් සමාගම්”

“මේ වරාය කියන හදවතේ කුටීර හතරක් තියනවා එකක් වික්ක බණ්ඩාරනායක බ්‍රෝකර් වරු, පී ඇන් ඕ සමාගමට හදවතේ අනිත් කුටීරය මහින්ද රාජපක්ෂ බ්‍රෝකර් වරු චීන සමාගමකට, අදත් රාජපක්ෂ බ්‍රෝකර් වරු නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට විකුනන්න හදනවා ” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසිනායක අද (12) පස්වරුවේ ගාලුමුවදොර පිටියේ පැවති විරෝධතා ව්‍යාපාරයේදී පැවසීය.

මෙම විරෝධතා ව්‍යාපාරය කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිනීමට ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ගය ඇතුළු රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව වරායේ වෘත්තීය සමිති සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා

“අපේ රටේ ජනතාව 1978 ඉඳලා ආණ්ඩු පිහිටෙව්වා. හැබැයි ඒවා ආණ්ඩු නෙවෙයි බ්‍රෝකර් සමාගම්. ජේ.ආර් ජයවර්ධන පේෂකර්මාන්ත ටික වික්කා. ප්‍රේමදාස අපේ රටේ වතු ඉඩම් වික්කා. ඊට පස්සෙ බන්ඩාරනායක වානේ සංස්ථාව, එයාර් ලංකා ආයතනය, කිරිපිටි කම්හල ඇතුළු වටිනා සම්පත් වික්කා. ඊට පස්සේ ආවා වික්‍රමසිංහ බ්‍රෝකර් සමාගම. හම්බන්තොට වරාය වික්කා, කොළඹ නගරයේ වැදිගත් ඉඩම්, කල්පිටිය දූපත් විකුණන්න සැලසුම් කරලා තිබුනා.

ඊලඟට ආවා රාජපක්ෂ බෝකර් සමාගම. පෝට්සිටියේ අක්කර 99ක් ගොඩ කරනවා. අවුරුදු 99ක් යනතුරු ශ්‍රී ලාංකිකයන්ට ඒක අයිති නැහැ. රාජපක්ෂ බ්‍රෝකර්වරු ඒක චීනට වික්කා. ආරක්ෂක හමුදා මූලාස්ථානය, හමුදා රෝහල ශ්‍රැංග්‍රිලා හෝටලයට වික්කා. රාජපක්ෂ බෝකර්වරු මේව සින්නක්කරයට ශ්‍රැංග්‍රිලා සමාගමට වික්කා.”

“එම විරෝධතාවයේදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත ද අදහස් දක්වන ලදී.

Leave A Reply

Your email address will not be published.