පෝලන්ත කිවිඳිය ‘මාරියා විස්ලාවා’

මාරියා විස්ලාවා ආන්නා සිම්බොර්ස්කා යනු 1923 ජූලි 02 දින වසරේ උපත ලැබ 2012 පෙබරවාරි 01 දින දිවිසැරිය හමාර කළ පෝලන්ත කිවිඳියකි. කාව්‍ය ක්ෂේත්‍රයෙහි ඇගේ දායකත්වය අගයමින් ඇයට 1996 වසරේදී සාහිත්‍ය පිලිබඳ නොබෙල් ත්‍යාගය පිරිනමනු ලැබිණි. මානව යථාර්තයේ සියුම් අංශු වෙත ආලෝක දහරා එල්ල කරනා කිවිඳියකැයි ඇය එහිදී සම්භාවනාවට පාත්‍ර කෙරිණි. දෙවන ලෝක සංග්‍රාම අවධියෙහිදී අසීරුවෙන් ජීවිතය ගලවා ගන්නා ඇය රහසිගතව සිය අධ්‍යාපන කටයුතු කරන්නී පසුව පොල්න්ත කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිනියක වන්නීය. එහෙත් නිලධරවාදය හිස එසවීමත් සමග ඇය 1966 වසරේදී ඉන් ඉවත්වන්නී දිගටම නිර්මාණකරනයේ නියැලෙන්නීය.
මේ ‘අපේ යුගයේ දරුවන්’ මැයෙන් ඇය විසින් රචිත කවියෙහි අනුවාදයකි.

වෙමුය අපි දරුවන්
අප වසනා මෙ සමයට අයත්
සැබැවින්ම එය දේශපාලන යුගයකි
මුළු දහවල පුරා
මුළු රාත්‍රිය පුරා
නුඹේ, මගේ, අපේ මෙන්ම උන්ගේද
සියළු කටයුතු
දේශපාලනික වේය සැබැවින්ම
රිසි වුවද නැතද නුඹ
නුඹේ ජානයන්ට ඇත්තේ
දේශපාලනික අතීතයක්මය
නුඹ සමෙහි පැහැයද
දේශපාලනික වාත්තුවකිය
නුඹ දෑසෙහි හැඩයද
දේශපාලනික හැඩයකිය
නුඹ මුවින් ගිලිහෙනා වදන් රැව් පිලිරැව් නැගෙයි
නුඹ මුවින් නොගිලිහෙන වදන් වුව රැව් නැගෙයි
මුව විවර කළද නොකළද
ඒ කවර අයුරකින් වුව
නුඹ පවසනුයේ දේශපාලනයමය
වනපෙතක පා තබන විට වුව
තබනුයේ නුඹ
දේශපාලන බිමෙක
දේශපාලන පියවරයන්මය
දේශපාලනික නොවේ යයි
පරසක්වල ගසනා කවි වුව
මුළුමනින් දේශපාලනික වන්නේය
තවදුරටත් ඇත්තේ නිමල සඳ මඩළ නොව
දේශපාලනයට ගොදුරුවූ සඳක්මය
කැමති වුවද නැතද
දිරවා ගැන්ම අසීරු වුවද
සැමවිටම ඒ
දේශපාලනය පිලිබඳ ගැටළුවක්මය
දේශපාලනික අරුතක් ලැබුමට
ඇවැසි නොවේ නුඹ මිනිසකුම වන්නට
අමුද්‍රව්‍ය, ප්රෝටීන් සපිරි ආහාර,
නැතිනම් බොර තෙල් පවා
අරුත්ගැන්වෙනුයේ දේශපාලනයෙන්මය
‘අප ජීවිතය සහ මරණය ගැන තීරණය කළ යුත්තේ
රවුම් මේසයකද හතරැස් මේසයකද?
හැඩය ගැන
මාස ගණනාවක් ආරෝවෙක පැටලෙන
සංවාද මේසයක් පවා දේශපාලනික වන්නේය
මේ අතර
මියෙති මිනිස්සු සහ සත්තු
දැවී හළුව යයි නිවහන්
වල් වදී කෙත් යායන්
දේශාපලනය යහමින් නොවූ
අනාදිමත් කාලයක සිදුවූ විලසින්ම

-චූලානන්ද සමරනායක

Leave A Reply

Your email address will not be published.

14 + 15 =