ට්‍රම්ප් මැතිඳු දැන් තනියම වෙල මැද්දේ

ගහල හරි ගන්න සර් න්‍යායයෙන් ජනාධිපතිවරණ ප්‍රතිඵලය කණපිට පෙරලන්න වොෂින්ටන් නුවරට පාද යාත්‍රා ඇවිත් Capitol කන්දේ යකා නටපු ට්‍රම්ප්වාදී උද්ඝෝෂකයන් අතින් පොලිස් නිලධාරියෙකුත් මියගියා. මේ කළබගෑනියට ජනාධිපතිවරයා සෘජුව වගකියන්න ඕනෑ බව කියමින් ඔහුට ඉල්ලා අස් වන ලෙස බල කරන පිරිස වැඩි වෙමින් පවතිනවා. ඒ අය අතර ඔහුගේ Republican පක්ෂයේ සෙනෙට් සභිකයනුත් ඉන්නවා.

ට්‍රම්ප් මහත්තයාට බඩු බනිස්

අලුත් ජනාධිපති බයිඩන් මහත්තයා ජනවාරි 20 දිවුරුම් දීමට නියමිතයි. කොහොමත් එදායින් පස්ස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිටපු ජනාධිපතිවරුන්ගේ සංසදයට එක් වෙන්න වෙනවා. ඇමෙරිකානු කොන්ග්‍රසයේ කතානායිකා නැන්සි පෙලොසි නෝනානම් ඉන්නේ කොක්ක ඇද ගෙනමයි. එයා කියන්නේ ඊට කළින් දෝෂාභියෝගයක් ගෙනත් ට්‍රම්ප්ව ගෙදර යවන බවයි.
මීට කළිනුත් 2019 දී බලය අයුතු ලෙස භාවිතා කළායැයි චෝදනා කරමින් Democratic පක්ෂය ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් ගෙනාවා. හැබැයි ඒකෙන්නම් උන්නැහේ දිනුවා.ඒත් මේ පාර නම් එහෙම එකක් ආවොත් ට්‍රම්ප් මහත්තයාට බඩු බනිස් වෙනවා.පැරදුනත් නියමිත දිනයට නම්බු පිටින් ගෙදර යන්න එතුමාට හැකි වෙන එකක් නැහැ. එහෙම වුණොත් පැරදුනා මදිවාට තනතුරෙන් පන්නා දැමූ කියන කෑලිත් ඩොනල්ඩ් ට්‍රම්ප් නමට ඉදිරියෙන් ඉතිහාසයේ ලියැවේවි. (Defeated and Ousted president)
ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයා තමන්ගෙ ධූරය දරන්න නුසුදුසු නම් කැබිනට්ටුවේ බහුතර මතය අනුව ඔහුව ඉවත් කරන්න පුළුවන්. එතකොට ව්‍යවස්ථාවෙන්ම වැඩබලන ජනාධිපති වෙන්නෙ උප ජනාධිපති. ඒත් ට්‍රම්ප්ගෙ දෙවෙනියා වෙච්චි මයිකල් පෙන්ස් මහත්තයා තමන්ගෙ ජනාධිපතිවරයාට ඒ වගේ නොහොබිනා වැඩක් කරන්න මනාපයක් නැහැ. උන්නැහේට ඕනෑනම් දැන් ලෙහෙසියෙන්ම දින කිහිපයකට හෝ ලෝකයේ බලවතා වෙන්න පුළුවන්. නැන්සි නෝනා කියන්නේ පෙන්ස් මහත්තයා පස්ස ගහනවානම් දෝෂාභියෝගය ගෙන එන බව.
එදා Capitol Hill යකා නැටිල්ල දවසේ තමයි ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලය එකතුවෙලා ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුමත කරන්න තිබ්බේ.

ජනාධිපතිවරයා කවුදැයි තහවුරු කරන්නේ 538 දෙනාගේ ඡන්දය මතයි 

කොන්ග්‍රස් මණ්ඩලය කියන්නේ ඇමෙරිකානු සෙනට් සභාවේත් ව්‍යවස්ථාදායක නියෝජිතවරුන්ගෙත් එකතුව. සෙනෙට් සභාවේ සාමාජිකයන් 100 යි. ඒ කියන්නෙ ඇමෙරිකා එක්සත් ජනපදයේ සෑම ප්‍රාන්තයකින්ම දෙදෙනා බැගින් නියෝජනය වන උත්තරීතර සභාව. ව්‍යවස්ථාදායකයේ ඒ කියන්නේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිතයන් ගණන 435 යි.
ජනාධිපතිවරණයේදී ජනතාව කෙළින්ම ඡන්දය ප්‍රකාශ කරන්නේ නැහැ. Electoral college (ඡන්ද විද්‍යාල නියෝජිතයන්) තමයි ජනතාව විසින් තෝරා ගන්නේ. සියළුම ප්‍රාන්ත වලින් තොරාපත් කරගන්නා එකී නියෝජිතයන් ගණන 538 ක්. ඒ අයගේ බහුතරය අනුව තමයි ඊළඟ ජනාධිපතිවරයා කවුද කියා තහවුරු වෙන්නේ. නමුත් ඇත්තටම ජනාධිපතිවරයා කවුදැයි තහවුරු කරන්නේ ජනාධිපතිවරණයෙන් මාසෙකට වගේ පස්සෙ වොෂින්ටන් අගනුවරට රැස් වෙලා ඒ 538 දෙනා දෙන ඡන්දය මත. ඒ ප්‍රතිඵලය කොන්ග්‍රසයෙන් තහවුරු කළ යුතුයි.
දැන් ඡන්ද විද්‍යාල නියෝජිතයන් බයිඩන් මහත්තයාගේ ජයග්‍රහණය තහවුරු කරල ඉවරයි. පසුගිය 6 වෙනිදාට නියමිතව තිබුණේ කොන්ග්‍රස් මණ්ඩලය විසින් එය සනාථ කිරීමයි. ඇමෙරිකා එක්සත් ජනපද උප ජනාධිපතිවරයා තමයි නිල වශයෙන් සෙනට් සභාවේ සභාපති වෙන්නේ.
ට්‍රම්ප් හීන් නූලෙන් උත්සාහ කළේ තමන් වෙනුවෙන් මැරෙන්න උනත් ඉන්න දක්ෂිණාංශික සුදු අන්තවාදී සෙට් එක ලව්වා කැපිටල් හිල් වට කරලා කොන්ග්‍රස් තීන්දුවට එරෙහිව බාල්දියක් පෙරලන එක. ඒ අතරේ තමන්ගෙ ආණ්ඩුවේ දෙවෙනියා වූ පෙන්ස්ට බෝලෙ බස්සලා බයිඩන්ගෙ ජයග්‍රහණය සනාථ නොකරන තැනට වැඩ හදා ගන්න එක. මොකද කොහෙන් සහතික වුණත් සෙනට් සභාවේ සභාපති හැටියට ඉන්න උප ජනාධිපති තමයි අන්තිමට නව ජනාධිපතිවරයා පිළිබඳව අවසන් නිවේදනය කරන්නේ.
“අපේ උප ජනාධිපති තුමා අපේ පැත්තේ හිට ගනියි කියල මං විශ්වාස කරනවා. එතුමා එහෙම කළේ නැත්නම් මට එයාව ඒ තරම් දිරවන එකක් නැහැ.” ට්‍රම්ප් මහත්තයා ජෝර්ජියාවේ රැළියකදි එහෙම කිව්වා.

කොහොම නමුත් පෙන්ස් තමන්ට එහෙම ව්‍යවස්ථා සෙල්ලම් දාන්න බැරි බව ට්‍රම්ප්ට කෙළින්ම දැනුම් දුන්නා. එදා තමයි කැපිටල් හිල් ජංජාලය වුණේ. කුලප්පු වෙච්චි පාක්ෂිකයන්ගේ පාද යාත්‍රාව නිසා පස් දෙනෙක් වල පල්ලට ගියා. එහෙම දෙයක් ට්‍රම්පච්ච් වුණත් බලාපොරොත්තු වුණේ නැති බවයි පේන්නෙ. ලෝකයේ කොහේ වුණත් රජ්ජුරුවන්ගෙ වඳුරන්ට කඩුව දුන්නොත් එහෙම තමා. තමන්ගෙ ස්වාමියා වෙනුවෙන් මැරෙන්න උනත් ඉන්න වහල්ලු වගේ ඒ අය ට්‍රම්ප්ටත් යන එන මං නැති කළා. ඉන් පස්සෙ ළඟම හිටපු අයත් උන්නැහේව දාල ගියා. ධවල මන්දිරයේ ඔහුගේ කණ්ඩායමේ අයත් පෝලිමට ඉල්ලා අස්වුණා. Capitol Hill සිද්ධිය තදින්ම හෙළා දැක්ක පෙන්ස් මහත්තයා පසුවදාම සෙනට් සභාවට ගිහින් ජෝ බයිඩන් ජනාධිපති බව ප්‍රකාශ කළා.

ජනාධිපතියි උප ජනාධිපතියි විරසක වෙලා

කැපුවත් ට්‍රම්ප් කණ්ඩායම පසුව පෙන්ස්ව දැක්කේ දෙපැත්ත කන නොසණ්ඩාලයෙක් විදියට. උන්නැහේව එල්ලන්න ඕනි කියල ආපු Twitter තර්ජන නිසා දැන් උප ජනාධිපතිවරයාගෙ ආරක්ෂාවත් වැඩි කරලා. ඒ මදිවට සුමතිපාල – ජෝතිපාල වගේ හිටපු ජනාධිපතියි උප ජනාධිපතියි විරසක වෙලා.
කොහොම නමුත් ජනවාරි 20 බයිඩන් මහත්තයාගේ දිවුරුම් දෙන උත්සවයට මයික් පෙන්ස් මහත්තයා පැමිණෙන බව කියා තිබෙනවා. ඒත් ට්‍රම්ප් මහත්තයානම් ඊට සහභාගි වීම ප්‍රතික්ෂේප කළා. එහෙම වුණොත් ඒක ඇමෙරිකාවේ අවුරුදු 150ක් තිස්සේ තිබුණු ලස්සන සම්ප්‍රදාය කඩකිරීමක්. සාමාන්‍යයෙන් හිටපු ජනාධිපතිවරයා පිටත්ව යන හෙලිකොප්ටරයට ඔහුව ගෙනත් ඇරලවන්නේ අලුත් ජනාධිපති යුවළ. එකිනෙකා වැළඳ ගෙන තමයි ඔවුන් සමුගන්නේ.
1993 දී බිල් ක්ලින්ටන්ට පැරදුනු ලොකු බුෂ් මහත්තයා ගෙදර ගියේ ඉදිරි අවුරුදු හතර රට පාලනය කරන හැටි ගැන ලියුමකුත් ඕවල් කාර්යාල මේසෙ උඩ තියලයි.එතුමා පටන් ගත්ත ඒ සම්ප්‍රදායත් දිගටම පැවතුණා. ක්ලින්ටන් මහත්තයා බුෂ් යුවල ඇරලවලා හෙමින් හෙමින් කාර්යාලයට ගිහින් හා පුරා කියා නිල මේසයේ වාඩි වුණාම ඒ ලිපිය දැකලා සංවේදි වුණා. (මේ ගැන අපේ පිටුවේ කළින් ලිපියක ඇති.)
ඒත් මෙවර ලෝකයේ බලවත්ම නිවහනේ යතුර අලුත් අයිතිකරුට දී සැහැල්ලුවෙන් ගෙදර යන හිටපු ජනාධිපතිවරයෙක් නොදැකීම ඇමෙරිකානුවන්ට අලුත් අත්දැකීමක් වනු ඇති.
-ශානක ලියනගම (ලෝකය එකම යායක්)

Leave A Reply

Your email address will not be published.

7 + nineteen =