උතුර සහ නැඟෙනහිර : කඩ වැහෙයි. ගමනාගමනය නවතී.

දෙමළ පක්ෂ, ශිෂ්‍ය සංගම් සහ මහජන සංවිධාන ඇතුළු බොහෝ පාර්ශවයන් සහය ලබාදුන් උතුරු සහ නැඟෙනහිර පළාත් වල හර්තාලය සාර්ථක බවයි එම ප්‍රදේශ වලින් ලැබෙන තොරතුරු සඳහන් කර ඇත්තේ.

අද (11) උදැසන සිට යාපනය ඇතුළු තදාසන්න ප්‍රදේශ වල සාප්පු සංකීර්ණ සහ සාමාන්‍ය වෙළඳ සැල් ද වසා තබා ඇති අතර වීදිවල ගමනාගමනය ද ඇත්තේ අවම මට්ටමකිනි.

පුද්ගලික ප්‍රවාහන සේවාවන් සාර්ථකව ක්‍රියාත්මක නොවන අතර අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලුම සේවාවන් ඇණහිට තිබේ. සීමිත ප්‍රමාණයකින් ලංගම බස් ධාවනය සිදුකෙරෙන බව එම ප්‍රදේශ වලින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

පාසලේ අධ්‍යාපන කටයුතුවලට හර්තාල් ව්‍යාපාරයෙන් බලපෑම් එල්ල වී ඇත.

                 

යාපනය විශ්ව විද්‍යාලයේ ඉදිකර තිබූ යුද්ධයෙන් මියගිය අය සැමරීමේ ස්මාරකය පසුගිය අටවෙනිදා ඩෝසර් කර දැමීමට විරෝධය පාමින් මෙම සාමකාමී හර්තාල් ව්‍යාපාරය කැඳවා තිබුණි. එම හර්තාල් ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඊයේ උතුරු හා නැගෙනහිර මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණි. පක්ෂයේ මහ ලේකම් නිසාම් කාරියපර් පැවසුවේ තම පක්ෂය මේ පිළිබඳව සාකච්ඡා කර ඊට සහාය දීමට තීරණය කළ බවයි.

“අපි දුරකථනයෙන් මේ ගැන සාකච්ඡා කළා. හර්තාල් යනු වැඩබිම් සහ සාප්පු වසා දැමීම සම්බන්ධ මහජන විරෝධතාවක්. සුළුතර ජනයා අයුක්තියෙන් යටපත් කළ නොහැකියි. එය ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට යොමු කිරීමට තමන් සූදානම්” බව බවත් TNA පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් පැවසීය.

අද(11) උදෑසන හර්තාල් ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමඟ යාපනය නගර සීමාව තුළ පොලිස් විශේෂ කාර්ය සාධක බලකා සෙබළුන් මුර සංචාරයේ යොදවා තිබේ.

Leave A Reply

Your email address will not be published.