හකීම් – හෙට්ටිගේ සමීපතම මන්ත්‍රීවරු දැනට 21ක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ කොවිඩ් 19 සඳහා ආසාදිතවීමත් සමඟ ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21 දෙනෙකු පමණ මේවන විට හඳුනාගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර  ප්‍රනාන්දු පවසන්නේ, රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සහ කුමාරසිරි හෙට්ටිගේ පාර්ලිමේන්තුවට පැමිණ ආපසු යන තෙක් වූ CCTV දර්ශන මඟින් එම ආශ්‍රිත මන්ත්‍රීවරු හඳුනාගත බවයි.

කුමාරසිරි හෙට්ටිගේ සහ ජනාධිපතිවරයා

කොවිඩ් 19  ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර කුමාරසිරි හෙට්ටිගේ පසුගිය 08 වන දින පාර්ලිමේන්තුවට පැමිණ ඇත. දෙදෙනාගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21 දෙනාට අමතරව සභානායක කාර්යමණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකුද ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කරන්නේ. ඔහු සඳහන් කරන ආකාරයට මෙම ආශ්‍රිතයන් සියලුදෙනාට මේ පිළිබඳව දැනුම් දී ඇති අතර සෞඛ්‍ය අංශවල මැදිහත් වීමෙන් ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.

හකීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ සංචාරය කළ තැන් සහ ආශ්‍රය කළ පුද්ගලයන් CCTV දර්ශන පරික්ෂා කර හඳුනාගෙන ඇත. මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ රැඳී සිට ඇත්තේ පැය දෙකක පමණ කාලයක් පමණක් බව එහිදී අනාවරණය වී තිබේ. එම කාල සීමාව තුළ ඔහු වැඩි වේලාවක් සභා ගැබ තුළ සිට ඇත. සභා ගැබ තුළ අවස්ථාවේ මන්ත්‍රීවරයා මුව ආවරණයක්ද පැලඳ නොසිටි බවයි සඳහන් වන්නේ. දිවා ආහාරයද නොගෙන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව ගොස් තිබේ. සභා ගැබෙහි හකීම් මන්ත්‍රීවරයාගේ ආසනයට වම්පස අසුනේ සිටන්නේ ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා වන අතර දකුණු පස තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාගේ ය.

හකීම් මන්ත්‍රීවරයා සමග සමීපව හමුවූ බව කියන එම්.ඒ.සුමන්තිරන්, ශානක්‍ය රාසමානික්කම්, තලතා අතුකෝරළ සහ ගයන්ත කරුණාතිලක ඇතුළු මන්ත්‍රීවරුන් 15 දෙනකු පමණක් බව අදාළ  CCTV දර්ශන ඔස්සේ හඳුනාගෙන ඇත. මෙම මන්ත්‍රීවරුන්ට සහ කුමාරසිරි හෙට්ටිගේ සමීපව ඇසුරු කළ නිලධාරීන්ටද PCR පරික්ෂණ සිදු කරන ලෙස හා නිරෝධායනය වන ලෙස මේවන විටත් දැනුම්දී තිබේ. ඒ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ ස්ථාන කීපයක් විෂබීජහරණයද කරනු ලැබේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යනු ලබන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර ඇත.

Leave A Reply

Your email address will not be published.