JAT Holdings සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ සංචාර සඳහා නිල අනුග්‍රාහකයා වෙයි

JAT Holdings සමාගම 2020/2021 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ තරගාවලිවලදී නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීම සඳහා පසුගිය දා ගිවිසුම් අත්සන් කළේ ය. ටෙන්ඩර් ක්‍රියාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය හිමි ITW Consulting සමාගම සමඟ එම ගිවිසුමට අත්සන් තබන ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවිධ අනුග්‍රාහකත්ව, දැන්වීම්කරණ හා සන්නාම ප්‍රවර්ධන කටයුතු සඳහා මෙම නියෝජිත ආයතනයට බලය පවරා තිබේ.

මෙම ගිවිසුම යටතේ JAT Holdings සමාගම 2020/2021 කාලපරිච්ඡේදය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන දේශීය හා විදේශීය තරගාවලි සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙනු ඇත.

දකුණු අප්‍රිකාව පිල සමඟ 2020 දෙසැම්බර් 26 සහ 2021 ජනවාරි 07 යන දිනවල පැවැත්වුණු ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියෙන් JAT  සමාගම ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු ඇරඹුණු අතර, ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මෙරට දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ 2021 ජනවාරි 14 සහ 2021 ජනවාරි 26 යන දිනවල ය. මීට අමතරව 2021 මාර්තු මාසයේ දී ඇරඹෙන, බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ පැවැත්වෙන තරගාවලිය තුළ එක්දින තරග 3ක්, විස්සයි විස්ස තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මෙසේ පැවසී ය: “ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින තරගාවලි සඳහා නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට, දේශීය හා පෞද්ගලික අංශයේ සමාගමක් වන JAT Holdings ඉදිරිපත් වීම අපට මහත් සතුටක්. මේ හවුල්කාරීත්වය තව තවත් වර්ධනය වෙමින්, JAT  සමාගමට තම සන්නාමය ජාත්‍යන්තර තලයේ ඉහළටම රැගෙන යාමට මෙමඟින් අවස්ථාව ලැබෙනු ඇතැයි කියා මා සිතනවා.”●

Leave A Reply

Your email address will not be published.

fourteen + 8 =