වැඩ වැඩි ජවිපෙ

කොවිඩ් වෛරස් ව්‍යාප්ති තත්ත්වය නිසා ජවිපෙ පැලවත්ත කාර්යාලය වෙනදා තරම් කාර්යබහුල තැනක් නොවේ. ජවිපෙ සිය සාමාජිකයන්, හිතවතුන්, සහයෝගය දක්වන්නන් දැනුම්වත් කර ඇත්තේ, හැකි සෑම අවස්ථාවකම දුරකථනය ඔස්සේ සාකච්ඡාවන්ට එක් වන ලෙසයි. එහෙත්, ඒ අතරතුරත් අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් ජවිපෙ පැලවත්ත කාර්යාලය විවෘතව තිබේ.

ඇතුළු වෙන තැන අත් සෝදන බේසමක්, අත් පිසින කඩදාසි, සැනටයිසර්, ආදිය පිළිවෙළට තැබූ ජවිපෙ පැලවත්ත කාර්යාලය තුළ ඉකුත් සතියේ බොහෝ කඩිසර කාර්යබහුල තැනක් විය. සතිය අවසානයේ අනුර කුමාර සහ ලාල්කාන්ත එක් වූ සම්මන්ත්‍රණයක් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවත්විණි. එළැඹෙන සතියේ ටිල්වින් සිල්වා, සමන්ත විද්‍යාරත්න, ලාල් කාන්ත, විජිත හේරත්… ආදීන් සහභාගී වන සම්මන්ත්‍රණ, උද්ඝෝෂණ, දේශන ආදිය සැලැසුම් විය.

“කොවිඞ් තත්ත්වය ඉතාමත් නරකයි. අපි කරන හැම දෙයක දී ම ආරක්ෂාව ගැන ඉතාමත් හොඳට සැලැකිලිමත් වෙන්න ඕනේ…” මේ ඉදිරි වැඩපිළිවළවල් ගැන සාකච්ඡාවේ දී ජවිපෙ ප්‍රධාන ලේකම් පැවසී ය.

“ඔව්… ඔව්… මොනම හේතුවක් නිසාවත් ඒ ගැන තියෙන අවධානය අඩු කරන්න එපා..” ලාල් කාන්තත් පැවසී ය.

“ආණ්ඩුව සම්පූර්ණයෙන්ම කොවිඩ්ලින් පරිස්සම් වීම කියන කාරණය දැන් අතහැරලා. මිනිස්සු මුලින් තිබ්බ ආරක්ෂක ක්‍රියාමාර්ගවලින් ටිකෙන් ටික අයින් කරවනවා. ඒ නිසා අපි අපේ වැඩ ටිකේ දී ඒ ගැන තදින් හිතන්න ඕනේ..” පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක අවධාරණය කළේ ය.

දිගින්දිගටම සාකච්ඡා වුණු කරුණු අවසානයේ සමාලෝචනයට ලක් කරමින් ඉදිරි සතිය දේශපාලනිකව වැදගත් වන සතියක් බවට පෙරළීමේ ක්‍රියාමාර්ග අනුමත කරමින් සාකච්ඡාවට සම්බන්ධ වූවෝ පැලවත්ත ජවිපෙ කාර්යාලයෙන් පිට වූහ●

අර්ජුන්
Leave A Reply

Your email address will not be published.