දුමින්දගේ නිදහසේ කසකරුවා සුමන හිමිද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය ජනාධිපතිධුර කාලය තුළ ලබා දුන් දෙවන ජනාධිපති සමාව ලබා දුන්නේ ගිනි අවි ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිවූ ඌවතැන්නේ සුමන හිමියන්ට ය. පළමු සමාව හිමිවූයේ හමුදා සෙබළෙකු වූ සුනිල් රත්නායකටය. යුද සමයේ යාපනයේ කළ සය පුද්ගල මනුෂ්‍ය ඝාතනයකට ඔහුට මරණ දඬුවම අධිකරණයෙන් නියමව සිටියේය.

ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලැබුණේ තමාගේ ඉල්ලීම මත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ප්‍රකාශ කළාය. තමන් අගමැතිවරයාගෙන්
හා ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙලෙස ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව ලබාදුන් බව මන්ත්‍රීවරිය කීවාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට අධිකරණයෙන් වරදකරු වූ ඕනෑම සිරකරුවෙකුට සමාව දිය හැකිය. නිදහස ලබාදීමට හේතුව සඳහන් කොට අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරන ලිපියක් මගින් ජනාධිපති සමාව හිමිවේ. මේ අවස්ථාවේ ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ඉල්ලීමට ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව දෙන්නේ ඇයි ද යන්නෙන්ම ගැටලුවක් පැන නගින්නේය.

මාලිගාවත්ත, බෝධිරාජාරාම විහාරස්ථානයේ අධිපති ලෙස සිටි සුමන හිමියන් කරලියට පැමිණෙන්නේ 2010 ජනාධිපතිවරණයත් සමගය. එතෙක් ශ්‍රී ලංකා නිදහස් භික්ෂූ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් උප ලේකම්වරයා මෙන්ම ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ අනුශාසක ලෙස කටයුතු කළ සුමන හිමියෝ ඉන් ඉවත්ව එවක ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ අවස්ථාවේ ඔහුට සහාය දැක්වීමට පැමිණියහ.

නමුත් 2010 ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී මාලිගාවත්ත, බෝධිරාජාරාම විහාරස්ථානය වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සුමන හිමියන්ගේ කුටියේ සඟවා තිබු ටි. 56 ගිනි අවි 2 ක්, ජීව උණ්ඩ 210 ක් සොයා ගෙන තිබුනි.
සිද්ධියට අදාළව සුමන හිමියන්ට අමතරව එම විහාරවාසී මාවෙලතැන්නේ සුබෝධ හිමි සහ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් බව කියන පී. රාජබාලන්, කේ. තමිල්සෙල්වම්, චන්දන සුබ්‍රමනියම් යන පිරිසට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා නීතිපතිවරයා විසින් ගොනු කර තිබුනි.

නඩු විභාගය අතරතුර ඌවතැන්නේ සුමන හිමි හැර සෙසු විත්තිකරුවන්ට එරෙහිව තවදුරටත් නඩුව ඉදිරියට ගෙන නොයන බව 2018 ජුනි 24 දා නීතිපති කළ දැනුම්දීම අනුව සෙසු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබුනි.
අවසානයේ නීති විරෝධි අන්දමින් ටී 56 ගිනි අවි 2 ක් සන්තකයේ තබා ගැනීමේ අධිචෝදනාවට වරදකරු බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි විත්තිකාර සුමන හිමියන් ජීවිතාන්තය දක්වා  බරපතළ වැඩසහිත සිරදඬුවමක් 2020 ජුනි මස 01 දා නියම කරන ලදී.
විත්තිකාර හිමියන්ට එරෙහිව නීතිපති නගා තිබු චෝදනාවලින් ටී.56 ගිනි අවි සන්තකයේ තබා ගැනීමේ චෝදනාව හැර ජීව උණ්ඩ සන්තකයේ තබා ගැනීමේ චෝදනාවෙන් නිදොස්කොට නිදහස් කර තිබුනි. සිරදඬුවම් හිමිවූ සුමන හිමියන් පසුව නඩු තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ද ගොනු කරනා ලදී.
අභියාචනය ඉල්ලා අස්කර ගැනීමේ පදනම මත සුමන හිමියන්ට ජනාධිපති සමාව ලබාදී තිබේ. ඌවතැන්නේ සුමන හිමියන්ට පෙර මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව හිමිවනු ඇති බවට කතාබහක් පැවතුනි. දුමින්ද සිල්වාට හිමිවන ජනාධිපති සමාවේ කසකරුවෙකු ලෙස ඌවතැන්නේ සුමන හිමියන් පැමිණ ඇති බව දැන් ජනතාව අතර කුහුලක් පැන නැගී තිබේ.
මාලිගාවත්ත, බෝධිරාජාරාම විහාරස්ථානයේ වැඩවසන කාලයේ උන්වහන්සේ සම්බන්ධයෙන් එල්ලව ඇති පැමිණිලි හා නඩු අපමණය. සුමන හිමි අධිසුඛෝපභෝගී ජීවිතයක් ගත කළ බව ප්‍රදේශවාසීන්ට නොරහසකි. මුලින්ම උන්වහන්සේ විරසකයක් හදා ගන්නේ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධානීන් සමගය. සුමන හිමියන් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ සමග සම්බන්ධකම් ඇති කර ගන්නේ ද මෙම සමිතියේ සභාපති මහින්ද කහඳගමගේ හරහාය.

පසුව ඔවුන් අතර ඇතිවන විරසකය මත සුමන හිමියන්ට එරෙහිව විරෝධතාවයක් 2013 වසරේදි ඇතිවන අතර, එහිදී සුමන හිමියන් මැරයන් සමග පැමිණ තමන් ඇතුළු පිරිසට පහරදී තුවාල කරමින් තමන් සතු රන්මාලය හා මුදල් කොල්ලකෑ බව කියමින් කාන්තාවක් පොලිසියට පැමිණිලි කර තිබුනි. එම පැමිණිල්ල මත අධිකරණයට ඉදිරිපත් කළ සුමන හිමිට ඇප නියම විය.

2014 දි සුමන හිමි රක්ෂිත බන්ධනාගාර ගත වන්නේ නැවත දෙන පොරොන්දුව මත ව්‍යාපාරිකයෙකුගෙන් ලක්ෂ 30ක මුදලක් ලබා ගෙන නොගෙවා සිටීමේ චෝදනාවටය. පසුව ජනාධිපති උපදේශකයෙකු ලෙස පෙනී සිට රට රැකියා ලබාදෙන බව කියමින් තරුණ තරුණියන්ගෙන් මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කරන අතර, පසුව අධිකරණයෙන් ඇප ලබා ගන්නා ලදී.
මෙලෙස චෝදනා එල්ලවන කාලයේදීත් සුමන හිමියන් සිටියේ ආයුධ ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් ලද ඇප මතය. ජනාධිපතිවරණය සමයේ හිටපු හමුදා කපිතාන් සේනක සිල්වා සමග ද සුමන හිමියන්ගේ ගනුදෙනු පැවතිනි.

යුද්ධය ආරම්භ වීමට පෙර හා පසුවත් කරුණා පාර්ශ්වයේ සාමාජිකයන් ලැගුම් ගන්නා ආරක්ෂිත නැවතුම්පොළක් ලෙස මෙම විහාරස්ථානය පැවති බවට කතාවක් ද මාලිගාවත්ත ප්‍රදේශයේ ජනතාව අතර තිබුනි. ආයුද සමග සුමන හිමියන් අත්අඩංගුවට ගත් පසුව පැතිර ගිය ආරංචිය වූවේ එහි සිට අත්අඩගුවට පත් වූවේ එල්.ටී.ටී.ඊ යෙන් බිදී ගිය කරුණා පාර්ශ්වයේ සාමාජිකයන් බවටය.

ඇතැම් ආරංචිමාර්ග පවසන්නේ අත්අඩංගුවට ගත් ආයුධ ජනාධිපතිවරණ කාලයේදි සරත් ෆොන්සේකාගේ ආරක්ෂාවට නිල නොවන මට්ටමින් සම්බන්ධව සිටි හමුදා සාමාජිකයන් භාවිතා කළ ගිනි අවි බවය. කෙසේ නමුත් මේ සියලු ගිනි අවි එල්.ටී.ටී.ඊ භාරයේ තිබි යුද්ධය අවස්ථාවේ සඟවාගෙන පැමිණි ගිනි අවි විය හැකි බවට පොලිසිය එම අවධියේදි නිවේදනය කරනු ලැබීය.

එදා සරත් ෆොන්සේකාගේ කණ්ඩායම මාධ්‍ය හමු පවත්වමින් කීවේ ගිනි අවි දමා උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සිය ඡන්ද ව්‍යාපාරයට එරෙහිව ආණ්ඩුවෙන් තිරගත කළ නාට්‍යයක ජවනිකාවක් බවය. ආයුධ ළඟ තබා ගැනීමේ චෝදනාවට අදාළ නඩුව විභාග වෙද්දීම සුමන හිමියන් සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්ක මහ මැතිවරණ අපේක්ෂකයෙකු ලෙස ද ඉදිරිපත්ව සිටියහ.
2015 ජනාධිපතිවරණයේදි ඌවතැන්නේ සුමන හිමියන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ මැතිවරණ වේදිකාවට පැමිණියේ නැත. නමුත් සේනක සිල්වා සමග පැවති ගනුදෙනුව දිගටම පවත්වාගෙන ගිය අතර කිසිම අවස්ථාවක අවි ආයුධ ලැබුණේ කෙසේදැයි ප්‍රකාශ කළේ නැත. සුමන හිමියන්ගේ නීතිඥ වියදම් ඇතුළු කටයුතු දැරුවේ සේනක සිල්වා බවට සමාජ මාධ්‍ය වාර්තා කර තිබුනි.
සුමන හිමි නිදහස් කිරීම දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාවේ ආරම්භය ද නැති ද යන්න අනාගතය විසින් තීරණය කරනු ඇත.
-ලසන්ත වීරකුලසුරිය

Leave A Reply

Your email address will not be published.

one × 4 =