කඩාවැටුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගනී

 

ජකාර්තා අගනුවරින් ගුවන් ගත වූ විගසම මුහුදට කඩා වැටුණු ශ්‍රී විජය එයා (SriWijeya Air) ජෙට් යානයේ කළු පෙට්ටිය මේ වන විට සොයා ගෙන තිබෙනවා. එසේම අවට මුහුදු කලාපයේ තිබී මිනිස් ශරීර කොටස් හා යානයේ යැයි සැක කෙරෙන සුන්බුන් ද්‍රව්‍යද සොයාගත් බව ඉන්දුනීසියානු බලධාරීන් ප්‍රකාශ කරනවා.
මගීන් 62 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය රැගත් බෝයිං 737-500 දරණ ගුවන් යානය ජකාර්තා නුවරින් ඊයේ ගුවන්ගත වී මිනිත්තු 4 කට පසු රේඩාර් තීරයෙන් අතුරුදහන් වී තිබුණා. West Kalimantan හි Pontianak බලා පියාසර කිරීමට නියමිතව තිබුණු යානයේ ගමන් ගත් සියළුම දෙනා ඉන්දුනීසියානු ජාතිකයින් බවයි වාර්තා වෙන්නේ.
2018 වසරේදී සුකර්නෝ ගුවන් තොටුපළින් ගුවන් ගත වූ Lion Air බෝයිං යානය ජාවා මුහුදට කඩා වැටීමෙන් එහි ගමන් ගත් මගීන් හා කාර්ය මණ්ඩලය 189 දෙනෙකු මියගියා. ඉන් පසුව ඉන්දුනීසියාවේ සිදු වූ විශාලතම ගුවන් අනතුර තමයි ඊයේ සිදුවුණේ.
ගුවන් සේවා ආරක්ෂණ ජාලයේ (Aviation Safety Network) දත්ත වලට අනුව පසුගිය දශකය තුළ ගුවන් අනතුරු වලින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ඉන්දුනිසියාවේයි.
ඉන්දුනීසියානු වේලාවෙන් සෙනසුරාදා සවස 2.36 ට ගුවන් ගත වූ යානය මිනිත්තු 4ක් තුළ අඩි 10900ක් ඉහල නැඟ තිබුණා. එය පසුව එක් වරම අසාමාන්‍ය ආනතියකින් පහලට ගමන් කර ඇති අතර තත්පර 21 කට පසුව යානය සමග වූ දත්ත සම්ප්‍රේෂණය ඇණ හිට තිබුණා. ගුවන් යානයේ හදිසි බැස්සවීමට හේතුව කුමක්ද යන්න තවම පැහැදිලි කර ගෙන නැහැ.
2003 දී ආරම්භ කරන ලද ශ්‍රී විජය එයා බස් සේවය යනු විශාල පරාසයක් පුරා පැතිරී ඇති ඉන්දුනීසියානු දූපත් අතර මගී ප්‍රවාහනය සඳහා භාවිතා කළ බජට් ගුවන් සේවාවක්.
2020 ජනවාරි 10 l (The Guardian) ඇසුරින්
-ශානක ලියනගම – (ලෝකය එකම යායක්)

Leave A Reply

Your email address will not be published.