ශක්තිකගේ අන්තර්ජාල කතාවේ ‘මුල් පිටපතක්’ නීතිපති ඉල්ලයි

කෙටි කතාවක් රචනා කිරීම හේතුවෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්ර සම්මුති පනත යටතේ ද්වේශසහගතව චෝදනා නගා සිරගතකොට සිටින ශක්තික සත්කුමාරට ඇප ලබාගැනීම සදහා ඔහුගේ බිරිද විසින් කුරුණෑගල මහාධිකරණයේ ගොණු කොට ඇති අංක BA 46/2019 දරණ ඇප අයදුම්පත, වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර වාර්තා කැදවීම සදහා කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර ඉදිරිපිට අද (26) දිනයේ කැදවන ලදී.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ නීතිඥවරයා විරෝධතා ගොණුකරනු ලැබීය. ඒ අනුව ඇප අයදුම්පත විමසීමට නියම කළයුතු හෙයින් පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරල මෙම සැකකරු දැනට මාස ගණනක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින හෙයින් විමසීම සදහා හැකිතාක් කෙටි දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

එයට විරුද්ධ වූ රජයේ නීතිඥවරයා ඉල්ලා සිටියේ මෙම නඩුවේ ප්‍රශ්නගත කෙටි කතාවේ සම්පූර්ණ පිටපතක් තමාට පොල්ගහවෙල පොලිස් ස්ථානය හරහා කැදවාගත යුතු හෙයින් එය ගෙන්වා ගැනීමටත් එය අධ්‍යයනය කිරීමටත් ප්‍රමාණවත් කාලයක් ලබාදෙන ලෙසය. එයට පිළිතුරු ලෙස නීතිඥ චමින්ද අතුකෝරල පෙන්වා දුන්නේ අදාළ ප්‍රශ්නගත සම්පූර්ණ කෙටි කතාව “පෙ 05” වශයෙන් ලකුණු කර මෙම ඇප පෙත්සමේම කොටසක් වශයෙන් ඉදිරිපත් කර ඇති බවත් එය රජයේ නීතිඥවරයාට කියවා බැලිය හැකි බවත්ය.

ඒ සමගම රජයේ නීතිඥවරයා තමා සතුව ඇති නඩු පිටපත පෙරළා බලනු දක්නට ලැබුණි. එසේ පෙරළා බලා ඉහත කී “පෙ 05” දරණ ලේඛණය දැක එය හුදු ඡායා පිටපතක් පමණක් බවත් අදාළ සම්පූර්ණ කෙටි කතාව ගෙන්වා ගත යුතු බවත් නැවතත් අධිකරණයට සැළ කර සිටියේය.

මෙම නඩුවේ ප්‍රශ්නගත සිදුවීමට අදාළ මුල් පැමිණිල්ලේ සදහන් වන්නේ අන්තර්ජාලයේ පළවූ කෙටි කතාවක් සම්බන්ධයෙන් පමණක් බවත්, අන්තර්ජාලයේ ඇති ලේඛනවල ලිඛිත මුල් පිටපත් කියා ජාතියක් නොමැති බවත් රජයේ නීතිඥවරයා නොදැන සිටීම හාස්‍යජනක සිදුවීමකි.

අවසානයේ මහාධිකරණ විනිසුරුවරිය අදාළ ලේඛන ගෙන්වා ගැනීමට කොපමණ කාලයක් අවශ්‍යදැයි විමසා සිටි අවස්ථාවේ ඒ සදහා අවම වශයෙන් සති තුනක් වත් අවශ්‍ය බව රජයේ නීතිඥවරයා දන්වා සිටියේය. එය සළකා බැලූ විනිසුරුතුමිය අදාළ ඇප අයදුම්පත 2019 අගෝස්තු මස 05 වැනිදා විමසීමට ගැනීමට නියම කළාය.

Leave A Reply

Your email address will not be published.

one × five =