2020, 2021 දෙකම පරාදයි

2021 වසරේ උදාවත් සමඟ ශ්‍රී ලංකාව මෙන්ම දකුණු අප්‍රිකාව ද සහභාගි වන පළමු ටෙස්ට් තරගය පසුගිය 03වන දා ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාපිටියේ දී ආරම්භ විය. තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් ජය ගැනීමට සමත් වීමත් සමඟ තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින සත්කාරක පිල ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් තරගයට අවතීර්ණ විය. සංචාරක ශ්‍රී ලංකා පිල දෙවන ටෙස්ට් තරගය ජය ගනිමින් ජය පැරදුමෙන් තොරව තරගාවලිය අවසන් කිරීමේ අපේක්ෂාවෙන් තරග බිමට පිවිසෙන්නට ඇත.

පළමු තරගය ඉනිමකින් ජය ගැනීම, සුපුරුදු ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීම, පිතිකරුවන් ලකුණු අතරට පැමිණීම, කණ්ඩායම සතු ප්‍රබලම වේග පන්දු යවන්නා වන කාගිසෝ රබාඩා සංචිතයට පිවිසීම මෙන්ම වේග පන්දු යවන්නන් සියල්ලම රිද්මයට පැමිණීමට සමත් වීම ආදී තරගයක ජයග්‍රහණය සඳහා සෘජුවම බලපාන සාධක සියල්ලම දකුණු අප්‍රිකානු කණ්ඩායම අත විය.

ඊට එරෙහිව දෙවන තරගයේ දී ශ්‍රී ලංකා පිල මුහුණ දී සිටි ගැටලු‍ව වූයේ ක්‍රීඩකයන් රැසක් ආබාධිත තත්ත්වයට පත්ව සිටීමයි. එම තත්ත්වය මත තරගයේ දී කණ්ඩායම තුළ වෙනස්කම් ගණනාවක් සිදු වීම අනිවාර්යය විය.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ධනංජය ද සිල්වාට සමස්ත තරගාවලියම අහිමිව තිබූ අතර, කසුන් රජිත, ළහිරු කුමාර සහ දිනේෂ් චන්දිමාල් ආබාධිත ලැයිස්තුවට එක්ව සිටියෝ ය.

“කණ්ඩායමේ ක්‍රීඩකයන් කීප දෙනෙක්ම ආබාධවලට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන් ධනංජය ද සිල්වා, ළහිරු කුමාර, කසුන් රජිත සහ දිනේෂ් චන්දිමාල්. ඔවුන්ට හෙට තරගයට ක්‍රීඩා කරන්න කොහොමත් හැකියාවක් නෑ, අපි බලනවා සුරංග ලක්මාල්ව ක්‍රීඩා කරවන්න. නමුත් ඔහුට තිබ්බ යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔහු අසමත් වුණා. අපි අදත් උත්සාහ කරනවා එයාව හෙට තරගයට ක්‍රීඩා කරවන්න පුළුවන් ද කියන එක. ඔහු වගේම වනිඳු හසරංගටත් අද පරීක්ෂණයක් තියෙනවා. සෙල්ලම් කරන්න පුළුවන් නම්, අනිවාර්යයෙන්ම ඒ දෙන්නා ක්‍රීඩා කරනවා. එතැන දී වනිඳු ක්‍රීඩා නොකළොත්, ලසිත් ඇඹුල්දෙණියට හෙට තරගයට ක්‍රීඩා කරන්න අවස්ථාව තියෙනවා. තරගය ගැන කතා කළොත්, ඇත්තට ම අපිට හෙට තරගයේ දී අපේ උපරිම ශක්තිය නෑ. ක්‍රීඩකයන් ආබාධවලට ලක් වෙලා තියෙන නිසා මට හෙට තරගයේ දී හොඳම ක්‍රීඩකයන් 11 දෙනා නෑ. නමුත්, මම හිතනවා නවකයෝ හෙට තරගයේ දී හොඳ දෙයක් කරයි කියලා. අපිට හොඳ අවස්ථාවක් ඔවුන්ගේ දක්ෂතා බලන්න වගේම ඔවුන්ටත් හොඳ අවස්ථාවක් ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න යැ”යි දෙවන ටෙස්ට් තරගය පිළිබඳව අදහස් දැක් වූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තරගයට පෙර දිනයේ එනම් ජනවාරි 2 වැනිදා මාධ්‍යයට පැවසී ය.

දිමුත් කියූ ලෙසම සුරංග ලක්මාල් කණ්ඩායමට ඇතුළත් නොවී ය. වනිඳු හසරංග කණ්ඩායමට ඇතුළත් විය.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයන්ගෙන් සිව් දෙනකු රහිතව තරගයට පැමිණි ශ්‍රී ලංකා පිල කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. එහි දී දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා වෙනුවට ළහිරු තිරිමාන්න සහ මිනෝද් භානුකවත්, වේග පන්දු යවන කසුන් රාජිත සහ ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුත් කණ්ඩායමට කැඳවා තිබිණි. මිනෝද් භානුක සහ අසිත ප්‍රනාන්දු දෙදෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 152 වැනි සහ 153 වැනි ක්‍රීඩකයන් ලෙසින් කණ්ඩායමට එක්වූහ. ඒ නායක දිමුත් කියූ නවකයෝ ය.

වේග පන්දු යවන ඇන්රිච් නෝයේ සහ වියාන් මල්ඩර්ගේ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පළමු ඉනිම සවස තේ පානයට පැය භාගයකට පමණ කලින් ලකුණු 157කට හමාර විය. ඒ දකුණු අප්‍රිකානුවන්ගේ 41 වැනි පන්දුවාරය සම්පූර්ණ වීමට ද මත්තෙනි.

දිවා ආහාරයට පන්දු වාර හතරකට පමණ පෙර කඩුල්ලක් අහිමිව ලකුණු 70ක් ලබා කිසියම් ස්ථාවරත්වයකට පැමිණ සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ, ආරම්භක පිතිකරු කුසල් පෙරේරා ලකුණු 60කට දැවී යාමත් සමඟ දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට ලකුණු 84කට කඩුලු‍ 5 ක් අහිමි කරගෙන තිබිණි.
නායක දිමුත් කරුණාරත්න ලකුණු 2ක් ලබා ඉනිමේ පළමු පිතිකරුවා ලෙසින් දැවී ගියේ ය.

කුසල් පෙරේරා දැවී ගිය පන්දු වාරයේ දී ම කුසල් මෙන්ඩිස් ද ලකුණු නොලබාම දැවී යාම ශ්‍රී ලංකා පිලට දරාගත නොහැකි පාඩුවක් විය. කුසල් මෙන්ඩිස් 2021 වසර ආරම්භයේ දී ලකුණු නොලබා දැවී ගිය පළමු ශ්‍රී ලාංකීය පිතිකරුවා බවට පත් විය. කුසල් පෙරේරාට අමතරව පිතිකරුවන් අතුරින් සාර්ථකව මුහුණ දුන් එකම පිතිකරුවා වූයේ වනිඳු හසරංග ය. ඔහු පළමු ඉනිමේ ලකුණු 29ක් ලැබී ය.

ඉනිමේ මැද පෙළ නියෝජනය කරමින් ටෙස්ට් වරම් දිනාගත් මිනෝද් භානුක ලකුණු 05කට දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 07ක් සහ දසුන් ශානක ද ලකුණු 04ක් පමණක් ලබා දැවී යාම ශ්‍රී ලංකා පළමු ඉනිම මෙතරම් අඩු සංඛ්‍යාවකට සීමා වීමට ප්‍රධාන හේතුව විය.

දිවා ආහාරයෙන් පසු මුළු ලකුණු සංඛ්‍යාව 100ට ළඟා වෙද්දී කඩුලු‍ හතක් දැවී අසීරු තත්ත්වයක පසුවද්දී, වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ලකුණු 49ක සබඳතාවක් පවත්වාගෙන යාම නිසා ශ්‍රී ලංකා පිලෙහි පළමු ඉනිම ලකුණු 157ක් දක්වා ගෙන යාමට සමත් විය. සෙන්චූරියන්හි පැවැති ප්‍රථම ටෙස්ට් තරගයේ ඉනිම දෙකේ දී ම පිතිකරුවකු ලෙස දස්කම් දැක් වූ වනිඳු හසරංග මෙදින ද ලකුණු 29ක් ලබා ගත්තේ පන්දු 27කට මුහුණ දී හතරේ පහරක් ද එල්ල කරමිනි.
ශ්‍රී ලංකා පළමු ඉනිම බිඳ දැමූ දකුණු අප්‍රිකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වූ ඇන්රිච් නෝයේ ලකුණු 56කට කඩුලු‍ හයක් දවාලු‍ අතර, මෙය ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම වේ. වියාන් මල්ඩර් ලකුණු 25කට කඩුලු‍ තුනක් දවාලීමට සමත් විය.

ජොහැන්නස්බර්ග් හි දී සිය පළමු ඉනිම නතර කර දමන විට දකුණු අප්‍රිකානු පිතිකරුවෝ කඩුල්ලක් දැවී ලකුණු 148ක් ලබා සිටියහ. දැවී ගිය එකම පිතිකරුවා වූයේ ඒඩි්‍රයම් මාක්‍රම් ය. එම කඩුල්ල ලබා ගත්තේ සිය මංගල තරගයට ක්‍රීඩා කරමින් සිටින වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු ය.

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් වන විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු දැක් වූ දක්ෂතා හේතුවෙන් සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 302කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. සිය පළමු ඉනිම අවසන් කරන විට සෙන්චූරියන්හි පැවති ප්‍රථම ටෙස්ට් තරගයේ දී ලද ලකුණු 621ට වඩා ලකුණු 299ක් පිටුපසින් දකුණු අප්‍රිකානුවෝ සිටියහ. එක් කඩුල්ලකට ලකුණු 148ක් ලෙස ප්‍රබල තත්ත්වයක සිට දෙවැනි දිනය ඇරඹූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඩීන් එල්ගාර් සිය ටෙස්ට් තරග දිවියේ 13 වැනි ශතකය වාර්තා කළේ ය. ඩීන් සිය ඉනිම අවසන් කළේ ලකුණු 127ක් ලබා සිටිය දී දුෂ්මන්ත චමිරගේ පන්දුවකට ළහිරු තිරිමාන්න අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

විශ්ව ප්‍රනාන්දු ලකුණු 101කට දකුණු අප්‍රිකානු පසු පෙළ පිතිකරුවන් 5 දෙනකුම දවා ගනිමින් සිය ටෙස්ට් තරග දිවියේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කර ගත්තේ ය. සිය මංගල තරගය ක්‍රීඩා කරමින් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ලකුණු 61කට කඩුලු‍ දෙකක් දවා ගත් අතර, දසුන් ශානක ලකුණු 42 කට කඩුලු‍ දෙකක් දවා ගැනීමට සමත් විය.

ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණයේ දී දකුණු අප්‍රිකානුවන්ට වඩා ලකුණු 150ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනය වූ 04දා සන්ධ්‍යාවේ දී තරගය නිමා කරන විට කඩුලු‍ 4ක් දැවී ලකුණු 150ක්
රැස් කර සිටියේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු පිලට වඩා ලකුණු 5ක් ඉදිරියෙන් සිටියේ කඩුලු‍ 6 ක් අත තබාගෙනය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු අතරට පැමිණ සිටින නායක දිමුත් කරුණාරත්න දෙවැනි ඉනිමේ පළමු දිනය අවසන් වන විට නොදැවී ලකුණු 91 ක් ලබා ගෙන තිබුණි. දිනය අවසානයේ නායක දිමුත් සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක සම්බන්ධතාවක් පවත්වමින් කඩුල්ලේ රැඳී සිටින නිරෝෂන් දික්වැල්ල ලකුණු 18 ක් ලබා සිටියේ ය.

පළමු ඉනිමේදී ලකුණු ලබා ගැනීමට නොහැකි වුණු කුසල් මෙන්ඩිස් දෙවැනි ඉනිමේ දී ද ලකුණු නොලබා දැවී යාම ක්‍රීඩා විචාරකයන්ගේ මෙන්ම ක්‍රීඩාලෝලීන්ගේ ද අවධානයට යොමු විය. තිරිමාන්නගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි මෙන්ඩිස්, මුහුණ දුන් පළමු පන්දුවටම ඩිකොක් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේ මෙම තරගාවලියේ තෙවැනි වරටත් ලකුණු ලබා නොගනිමිනි. සිය පළමු තරගයට සහභාගි වී සිටින මිනෝද් භානුකටද දෙවන ඉනිමේ දී රැස් කර ගත හැකි වූයේ ලකුණක් පමණක් වූ අතර ඔහු නෝයේගේ පන්දුවක් හමුවේ කේෂව් මහරාජ් අතට උඩ පන්දුවක් දී දැවී ගියේ ය. ජොහැන්නස්බර්ග්හි වොන්ඩරස් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී ලකුණු 35ක් ඇතුළත ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ අවසන් පිතිකරුවන් 6 දෙනාම දවා ගැනීමට දකුණු අප්‍රිකානු පිලේ පන්දු යවන්නෝ සමත් වූහ.

දෙවැනි ඉනිමේ දෙවැනි දිනයේ යවන ලද තෙවැනි පන්දු වාරයේ දී පිට පිට එල්ල කරන ලද හතරේ පහර 2ත් සමඟ දකුණු අප්‍රිකාවේ දී පළමු වරට ශතකයක් වාර්තා කිරීමට නායක දිමුත් කරුණාරත්න සමත් විය. එය වොන්ඩරස් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා පිතිකරුවකු වාර්තා කරන ලද පළමු ශතකය විය. මුහුණ දුන් 123 වැනි පන්දුවේ දී සිය ටෙස්ට් තරග දිවියේ 10 වැනි ශතකය සම්පූර්ණ කළ වමත් දිමුත් 2017 වසරෙන් පසු පළමු වතාවට ශ්‍රී ලංකාවෙන් පිටත දී ලබා ගත් ශතකය එයයි. දිමුත් වාර්තා කරන ලද මෙම ශතකය වසර 13කට පසු ආසියානු රටක් නියෝජනය කරනු ලැබූ ‘ආරම්භක’ පිතිකරුවකු විසින් දකුණු අප්‍රිකාවේ දී වාර්තා කරන ලද පළමු ශතකයයි. මීට පෙර ආසියාව නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවේ දී ශතකයක් වාර්තා කිරීමට සමත්ව ඇත්තේ, ඉන්දීය පිල නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවට පැමිණි වසීම් ජෆර් වේ. ඒ 2007 වසරේ දීයි.

දිමුත්ගේ කඩුල්ල දවා ගත්තේ ඇන්රිච් නෝර්චේ ය. ඇන්රිච් නෝර්චේ විසින් පිට ඉන්නේ පතිත කොට දිමුත්ගේ පපුව ප්‍රදේශයට දෝලනය වන සේ පන්දු කීපයක්ම යොමු කළේ ය. පළමු පන්දු 2ට අසීරුවෙන් ආරක්ෂක පිළිවෙතක් අනුගමනය කළත්, නෝර්යේ විසින් එවන ලද තෙවැනි පන්දුවට පාදය ඔසවා පුල් පහරක් එල්ල කිරීමට උත්සාහ ගත්ත ද එය වැරදී යාමෙන් ශතකලාභී දිමුත් කරුණාරත්න ලකුණු 103ක් ලබා සිය ඉනිම අවසන් කළේ ය.

මුහුණ දුන් 128 පන්දුවේ දී දිමුත්ගේ ඉනිම නිම වන විට ඔහු තම ඉනිමට හතරේ පහර 19ක් ඇතුළත් කර ගැනීමට සමත්ව සිටියේ ය. දිමුත්ගේ දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 35ක් එක් වීමෙන් පසු දෙවැනි ඉනිම ද හමාර විය.

පන්දු යැවීමෙන් කැපීපෙනුණු ලු‍ංගි න්ගිඩි, ලු‍තෝ සිපම්ලා සහ ඇන්රිච් නෝර්යේ තෙවැනි දිනය ආරම්භයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු 67ක් පමණක් ලබා දීමට වගබලා ගත්හ. එහි දී කැපීපෙනුණු න්ගිඩි කඩුලු‍ 4ක්, සිපම්ලා කඩුලු‍ 3ක් සහ නෝර්යේ කඩුලු‍ 2 බැගින් බිඳ හෙළමින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 211කට සීමා කළහ.

සෙන්චූරියන්හි පැවැති ප්‍රථම ටෙස්ට් තරගයේ දී ඉනිමක සහ ලකුණු 45ක ජයක් 2020 දෙසැම්බර් 29දා ලැබ තිබූ දකුණු අප්‍රිකානුවෝ 2021 පළමු ජයග්‍රහණය සඳහා ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් පිටියට ජනවාරි 5 වෙනිදා පිවිසුණහ. ඒ ලකුණු 65ක පහසු ඉලක්කයක් වෙනුවෙනි. තමන් වෙත එවනු ලැබූ 14 වැනි පන්දුවාරයේ දී ජයග්‍රාහී ලකුණු සම්පූර්ණ කර ගන්නා අවස්ථාවේ දී කඩුලු‍ 10ම ඔවුන් අත ඉතිරිව පැවැතිණ. ඊට අමතරව පූර්ණ දින 2ක් ඉතිරිව තිබිණි. ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් යුගලය වූ ඒඩියන් මාක්‍රම් පන්දු 53කදී ලකුණු 36ක් ද ඩීන් එල්ගාර්
පන්දු 27ක දී ලකුණු 31ක් ද ලබා ගත්හ. දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණයත් සමඟ තරගාවලියේ ජයග්‍රහණය 2-0ක් ලෙසින් වාර්තා කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

පළමු ඉනිමේ දී ලද ලකුණු 127 ඉනිමත් සමඟ සමස්ත තරගාවලියේ ඉනිම 3කදී ලකුණු 253ක් ලැබූ දකුණු අප්‍රිකානු පිලේ ආරම්භක පිතිකරු ඩීන් එල්ගාර් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලැබී ය.
-පසන් සමරතුංග

Leave A Reply

Your email address will not be published.

5 × 5 =