හඹා යාමත් පලා යාමත් අතර මැද ‘Can you here me’

තමතමන්ගේ පෞද්ගලික ස්මරණ සම්බන්ධයෙන් ජනවාරි මාසයේ අතිසංවේදීකම් කොපමණවත් තිබිය හැකි ය. ලියුම්කරුට නම් පොදු අර්ථයේ ආත්මීය ස්මරණ දෙකක් නිසා ජනේරුව බෙහෙවින් වැදගත් ය. එකක් නම්, කියුබානු විප්ලවයේ ජයග්‍රාහී දිනය ජනවාරි 01 වැනිදාට යෙදී තිබීම ය. අනෙක ජනවාරි 14 වැනිදාට මහගම සේකර අනුස්මරණ දිනය යෙදී තිබීම ය.
මෙවන් වූ ජනවාරිය එළඹීමට ඔන්න මෙන්න කියා තිබිය දී තියුණු කම්පනයක් ඇති කළ නිමාවක් සටහන් විය. ජාතික රූපවාහිනියෙන් විකාශනය  ‘Can you here me’ ටෙලිනාට්‍යයේ මුල් අදියර නිමා වූ ආකාරය නිසා ය. එය අවසන් වූ කොටස පමණක් නොව ආරම්භක කොටස පවා බෙහෙවින් කම්පනයක් ඇති කරන්නක් ය. වයස අවුරුදු 22ක් වූ නව යෞවනියක්, බියේ සැලෙන මුවැත්තියක් ඩැහැගැනීමට එන මජර සල්ලාල සල්ලිකාරයකුගේ රූප සරණියක් ය ඒ. එතැන් සිට කොටස් 51ක් පුරා මෙය විකාශනය කෙරිණ.
කියුබානු විප්ලවය වගේම මහගම සේකරයන්ටත් මේ කතාව සම්බන්ධ ය. කියුබානු විප්ලවය මෙයට ඇති සම්බන්ධය ගැන කතා කිරීම පසුවට තබා මහගම සේකරයන්ට තිබෙන සම්බන්ධය ලිහා ගනිමු.
මහගම සේකර ‘මක් නිසාද යත්’ කාව්‍ය සංග්‍රහය පළ කරන්නේ 1964දී ය. මෙම ලියුම්කරු ඉපදීමටත් වසර 03කට පෙරදී ය. එසේ වුවත්, සේකර මෙම ලියුම්කරුගේ පරපුර අද අත්විඳින කුදුමහත් විකාරරූපී සහ ඊටත් වඩා සතුන් වගේ වූ සමාජ ක්‍රියාකාරකම් ඉතාම මැනවින් පරිකල්පනය කර කාව්‍යානුභූතීන් ලෙස යොදාගෙන තිබිණ. තම නිර්මාණ දේශපාලන දෘෂ්ටියක ස්ථානගත කළ මෙරට පුරෝගාමී කවියා මහගම සේකර බව කීම අතිශයෝක්තියක් නොවේ. එය විභාග කිරීම වෙනම ම කළ යුත්තක් ය. එනිසා එය පසෙක තබා ‘Can you here me’ ටෙලිනාට්‍යයට සේකර අදාළ වන්නේ කෙසේ දැයි මුලින්ම බලමු.
“ගම හීනෙන් දැක ගම ගැන අඬන්නේ
ගමට ගොහින් ගම හැබැහින් බල!
හීනෙන් තොප දක්නා
චමත්කාරයක් එහි නැත
“ඇය සංකර ගැහැනියක් ය
ගමටත් නගරයටත් දෙකටම නැති
උදාසීන ලෙස නිඳා සිටී ඇය”

ප්‍රස්තුත ටෙලිනාට්‍යය ස්ථානගත වී තිබෙන්නේ කොතැනට ද? ‘ගමටත් නගරයටත් දෙකටම නැති සංකර ගැහැනිය උදාසීන ලෙස නිඳා සිටී’ යන තැනට නොවේ ද? ටෙලිනාට්‍යයේ දුර රූප රාමුවලින් අතිශය මනරම් චමත්කාරජනක ස්වාභාවික පරිසරයේ අංශුමාත්‍රයක් ප්‍රේක්ෂක නෙත දවටන්නේ ය. එහෙත්, ඒ තුළ හමුවන මිනිසුන් කවරාකාර ද? ගොළු තරුණියගේ මවත්, බේකරිය හිමි මජර සල්ලාලයාත් හැර අනික් සියල්ලෝම පාරට වැටුණු මිනිස්සු සහ ගැහැනු ය. සියල්ලෝම යන්න විශේෂයෙන් අවධාරණය කර ගත යුතු ය. කොටින්ම ලීසිං කොම්පැනිය අයිතිකරුවා ද මෙයට අයත් ය. එසේම එක්තැන් වී සිටින තරුණයාගේ පියා සහ මව පවා පාරට වැටුණු අය ය. ලොකු බංගලාවක වහළය යට සිටිය ද, මේ සියල්ලෝම පාරට වැටුණු මිනිස්සු සහ ගැහැනු ය.

රිද්මය සහ උච්චාරණ විධි කීපයකින් පසුබිමෙන් වරින්වර ඇසෙන ගීතයකි. මහගම සේකරයන් එදා සමාජය විනිවිද දැක ප්‍රතිනිර්මාණය කළ තැනින් ඉදිරියට යන්නට යෂ්ටිය අතට ගත් නව පරපුරේ කවි කිවිඳියන් සහ ගීත රචකයන් කිහිප දෙනා අතුරින් කෙනකු මෙහි පද රචකයා ය. ඒ නුවන් ජූඞ් ලියනගේ ය.
“බර අවි හංගපු හිත්වල
සැර මූණිස්සම් ඇස්වල
කිරි තිසර තුඩු පවා
උස් පහත් වෙවී ”

පාරට වැටුණු මේ මිනිසුන්ගේ සහ ගැහැනුන්ගේ ද්‍රව්‍යමය ලෝකය ගැටගසා ගැනීමට වලිකන ආත්මය ඔජ දමන්නේ මෙසේ ය. එය භූ ගර්භයේ යමහලක් මෙන් ය. සියල්ලෝම කරන්නේ අර්ථ දෙකක් සහිත එකම දෙයක් ය. පණ එපා කියා දිව යාම ය. එක මොහොතක ගොදුරක් හඹා යයි. අනික් මොහොතේ දී ගොදුරු වීමෙන් බේරීමට පැන දුවයි. ‘ඇපොකැලිප්ටෝ’ චිත්‍රපටයේ ගෝත්‍රික ජනතාවත්, 21වැනි සියවසේ නූතන මානවයාත් අතර තිබෙන වෙනස කුමක් ද!

මෙම ටෙලිනාට්‍යයේ සුවිශේෂී ගුණයක් තිබේ. එහි එන දෙබස්වලට අතිශය ප්‍රාථමික තැනක් තිබීම ය. මෙයින් කියැවෙන්නේ දෙබස්වලට වඩා ඒ ඒ චරිත කියවා ගත යුතු බව ය. දෙබස් තිබෙන්නේ ඒ සඳහා පුංචි තල්ලුවක් දීම සඳහා පමණි. එසේ වුවත්, දෙබස් ඉතා ප්‍රබල ලෙස එම කාර්යභාරය ඉෂ්ට කරයි. නිදසුන් කීපයක් මෙසේ ය:
මජර සල්ලාල සල්ලිකාරයා: “විසි දෙකක් කිව්ව නේ… හොඳ වයස !”

ප්‍රේමයේ නාමයෙන් ගොදුරු වන ජීවිත සහ ජීවන අරගලයේ දී බිලි වන කාන්තාව සම්බන්ධයෙන් කියවෙන්නේ මෙසේ ය. “හැබැයි මං ඒ සර්පයාට අහු වුණා” යනුවෙන් තම අත්දැකීම් අනාගතයට භාර  දෙමින් “ගැලවිජ්ජාව ඉගෙන ගනින්” යනුවෙන් තලතුනා ගැහැනිය යෞවන මුවැත්තියකට අවවාද දෙයි.
“පාට දාපු කේක් අට්ටි පිටින් අරන් එයි. තොඳොල් වෙවී කන්ඩ කියයි. පාට තරුයි, හීන මලුයි පුරෝල අරන් එයි. ඒ ඔක්කෝම දිය කරලා තරුවක් වගේ පොවන්ඩත් අහයි…. ඒ විස ගින්න ජීවිතේට නිවෙන්නේ නැහැ තීරණය තියෙන්නේ උඹේ අතේ ඒ ගිනි ගොඬේ ජීවත් වෙනවා ද? ජීවිතය අග්ගිස්සේ සැනසිල්ලේ මැරිලා යනවා ද?”  තලතුනා ගැහැනිය වැඩි දුරටත් අවධාරණය කරන්නී ය.
“ගමේ නම කැබිතිගොල්ලෑව – නම අශාන් !”
“කුණු කන්දෙ මල් පිපුණට ගඳ යනවද මහත්තයා”
“සරණපාල කියනවා, සුසිරිපාල හරියන්නේ නෑ කියලා”

මේ ආදී වශයෙන් දෙබස් තිබෙන්නේ ඒ ඒ චරිත වෙන් වෙන්වත්, ඒ ඒ චරිත එකට එක්කරමින් අන්තර් සම්බන්ධතා ගැඹුරින් කියවා ගැනීමටත් ය. මේ චරිත කියවා ගැනීම ඉතා සියුම්ව කළ යුතු ය. ඒ සඳහා චරිත ස්ථානගත කර තිබෙන භෞතික පරිසර අවකාශය ද කියවා ගත යුතු ය. එහි තුළ තිබෙන අජීවී ද්‍රව්‍යය මේ චරිත කියවා ගැනීමට අතිශය ප්‍රබල ලෙස මඟ පෙන්වන්නේ ය.

නිදසුනක් ලෙස බේකරියේ ස්ථානගත කර තිබෙන මිනිස් රූපකය අහම්බෙන් තිබෙන්නක් නොවේ. මේ පඹයෙක් ද? නැත. පඹයෙක් හිටවන්නේ බවභෝග අසානාසි කිරීමට එන වනසතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ය. උන් භය කර පලවා හැරීමට ය. එහෙත්, බේකරියේ මේ තිබෙන්නේ එවැනි පඹයෙක් නොවේ. මළ හොල්මනක් ය. එක් එක් අවස්ථාවල දී එය හමු වන්නේ, විවිධ අරුත් සපයමින් ය. දෙවියන්ට බුදුන්ට පහන් දල්වා වැඩ පටන් ගනී. වැඩ පටන් ගැනීම කරන්නේ මජර සල්ලාලකම් මොහොතක් නඩත්තු කිරීම සඳහා ආයෝජනයක් ලෙස පමණක් ය. පහන් පත්තු කරන්නේ ඒ ආයෝජන මොහොත වෙනුවෙන් ආශීර්වාද ලබා ගැනීමට ය.

කවර ආගමක් වුව ද, මූලික පදනමෙන් ගත් විට තිබෙන්නේ අරමුණු දෙකක් ය. ඒ ඒ පුද්ගල විමුක්ති මාර්ගයක් සහ ජීවන දර්ශනයක් වශයෙනි. පුද්ගල විමුක්ති මාර්ගයක් යනු නිවන් දැකීම, දෙවියන් ළඟට යාම, ස්වර්ගයට යාම ආදී පාරභෞතික අරමුණු ය. මරණින් මතු අත්පත් කර ගන්නා විමුක්තියක් ය. ජීවන දර්ශනයක් යනු පස්පවින් වැළකීම, කරුණාව මෛත්‍රීය පැතිරවීම, අසල්වැසියාට ප්‍රේම කිරීම, සමානාත්මතාවය වැනි දේ ය.

පවතින නවලිබරල් ධනවාදී ආර්ථික දේශපාලනය තුළ කවර ආගමක් වුව ද, පොදුවේ පදනම් වී පවතින්නේ මෙම අරමුණු පරසක්වළ ගසා ක්‍රියාකිරීමට ය. මේ ආර්ථික – දේශපාලන ක්‍රමය තුළ ආගම යනු ‘ඒඞ්ස් බෝ නොකරගෙන ඕනෑ දහදුරා සල්ලාලකමක් කිරීමට යොදා ගන්නා කොණ්ඩමයක්’ පමණක් ය. දෙවියන්ට, බුදුන්ට පහන් පත්තු කර අවුරුදු විසිදෙකක යෞවනිය දෙසට හැරෙන්නේ මේ නිසා ය.
මෙම බේකරිය අයිතිකාරයාගේ අතීත පසුබිම කවරාකාර වන්නට ඇත් ද කියා තේරුම් ගැනීම වැදගත් ය. නිසැක වශයෙන්ම හදිසියේ කඩාපාත් වූ ධනයක් ආයෝජනය නොකළේ නම්, මවුපිය උරුමයෙන් ලද මේ ව්‍යාපාරයේ හිමිකරුවකු බව තේරුම් ගත හැකි ය. තුත්තිරි ගස්වල එල්ලි එල්ලී කට්ට කාගෙන මේ තත්ත්වයට ගොඩනැඟුණු අයෙක් නොවේ ය. හදිසියේ කඩාපාත් වූ ධනය යොදවා හෝ මාපිය උරුමයෙන් ලැබුණු දේ කාබාසිනියා කර, ඔහේ මජර ජීවිතයක් ගත කරන්නෙක් ය. ව්‍යාපාරය ගරාවැටෙමින් තිබීමෙන් කියවෙන්නේ ඒ බව ය. මිනිස් අනුරූ මළ හොල්මන ලගින්නේ මෙම පසුබිම තුළ ය.
අනික් අතින් බේකරිය යනු කුමක් ද? ඊනියා අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමීන් දිගින්දිගටම පවත්වාගෙන යන කර්මාන්තයක් ය. ඇමෙරිකානු පාන් පිටි මූලික අමුද්‍රව්‍ය කරගෙන ආහාර නිෂ්පාදනය කිරීමක් ය. මේ නිෂ්පාදනවලට ඊනියා විරෝධය පෑම දේශපාලනය කර්මාන්තය කර ගත් පිරිසකගේ

ඉස්මතුවීම් කලින් කල සිදු වේ. බේකරිය පමණක් නොව දේශපාලන කර්මාන්තයේ බලය දරන්නෝ ද මජර සල්ලාලයෝ ය. මේ බේකරි හිමිකරුගේ ඇඳුම්, පාවහන් සහ ගතිස්වභාවයන් ආදී සියල්ලෙන් කියැවෙන්නේ කුමක් ද? මේ රටේ පැල් බැඳ ගැනීමට ඉඩදී තිබෙන ‘ව්‍යවසායකයා’ නැත්නම් ‘ආයෝජකයා’ යන්නන්ගේ ප්‍රතිමූර්තියක් ය. කුමන ආකාරයකින් හෝ වගකීමක් වගවීමක් නැති එදා වේලට කීයක් හරි කඩා ගන්නා මජරයන් ය. ඒ කීය හරි කාමසුඛල්ලිකානුයෝගී ජීවිත උදෙසා විසි කරනවුන් ය. ඒ මොහොතේ පැවැත්ම පමණක් හදා ගන්නවුන් ය.

මේ රට තුළ සිටින්නන් පමණක් නොව ආයෝජකයන්, ව්‍යවසායකයන් යනුවෙන් ජාත්‍යන්තර වශයෙන් වැද්දගන්නන්ගේ ස්වභාවය ද මේ මජරකම ම ය. චීනා ද, ඇමෙරිකානුවා ද, ඉන්දියානුවා ද, ජපනා ද කියා කිසිදු විශේෂයක් නොමැත. ජෝසිම් යන කැසිනෝ රජා සහ ජෝර්ජ් සෝරොස් මූල්‍ය ජාවාරම්කරුවා වැනි වර්ගයේ නියෝජිතයන් තාමත් මේ රටට වද්දා නොගැනීමේ අඩුව පමණක් පවතී. ඉතින් නම්, මෙවැනි අයෝජකයන්ගෙන් රටක් සංවර්ධනය කරා ගෙනයන්නේ කෙසේ ද? ඒ රටේ ඉන්න මිනිසුන් සහ ගැහැනු දිනෙන් දින විවිධාකාරයෙන් මහපාරට විසිවීම අරුමයක් නොවේ.

අනික් පැත්තෙන් ‘ගම’ යැයි හඳුන්වන යමක් තිබේ නම්, එය කවාරාකාර ද? අවුරුදු 22ක යෞවනියගේ ගෙය තිබෙන්නේ, මේ කියන ගමක ය. මේ ගමේ මිනිසුන්ගේ හරස්කඩක් යෞවනියගේ ගෙය තුළින් ප්‍රක්ෂේපණය කෙරේ. යුද්ධයෙන් ආබාධිත වූ පසුව උක්දඬු රොඞ්ඩක්සේ ඉවත වීසි කළ තාත්තා ය. කුමන හෝ පසුබිමක් තුළින් මේ තාත්තා මෙහෙයවා තිබෙන්නේ ය. දරුවන් ජාතක කළ පුද්ගලයකු ළඟ තිබෙන නූතන යුගයේ ම්ලේච්ඡ ගතිස්වභාවයන් කවරාකාර ද යන්න කියාපාන්නේ ය.
මේ සියල්ල මැද අම්මා එතෙර ගොසින් ය. ඇය යළිත් මේ ගෙදරට නොපැමිණෙන බව තහවුරු වී තිබේ. ඒ නිසාම නංගීට සහ මල්ලීට අම්මා කෙනකු වන අවුරුදු විසිදෙකක යෞවනියක් කේන්ද්‍රීය චරිතයක් බවට පත් වේ. නංගී, මල්ලී දෙන්නාගේ බඩ කට පුරවන්නට මජර සල්ලිකාර සල්ලාලයන්ට බිලි වීමට වුව ද, පසුබට නොවන මුවැත්තියක් ය ඇය.

මේ කියන ගමක සිට රස්සාවක් සොයාගෙන පැමිණ එක්තැන් වූ තරුණයාගේ ආවතේව කරන තවත් තරුණියක් ය. ඇය මෙසේ පැමිණ තිබෙන්නේ, තාත්තාගේ ඔපරේෂන් එකට සල්ලි සොයාගෙන ය. ඇයගේ සිත තුළ යෞවනයේ මල් හීන පොදිගැසී පොපියන්නී ය. ඒ අතර, ප්‍රේමයේ නාමයෙන් එන ගැටවරයකුට මුවා වී තාත්තාගේ ඔපරේෂන් එකත් පැත්තට දමා රුපියල් විසිපන්දාහක් පුදන්නී ය. අන්තිමට සල්ලිත්, රස්සාවත්, ප්‍රේමයත් සියල්ල අහිමි කර ගත් තැනැත්තියක බවට පත් වේ. අවසානයේ බර කදමලු බැඳගෙන පලා යන්නියක් ය.
මේ රූප රාමු දකින විට වෙනත් චිත්ත රූපයක් මැවේ. විදේශ රැකියාවලට ගොස් කොරෝනා වසංගතයෙන් රැකියා අහිමිව කිසිදු පිළිසරණක් නැතිව විදේශවල අසරණ වූ කාන්තාවන්ගේ ඛේදනීය තත්ත්වයයි. ඩොලර් මිලියන හත් අටදාහක් විදේශ විනිමය වශයෙන් මෙරටට එවන තාක්කල් සුරක්ෂිත වූ ඔවුන් දැන් අන්ත අසරණියන් ය.

නිදහස්, නිවහල්, ධර්මිෂ්ට සමාජයක් බිහි කිරීමේ ආදර්ශ පාඨයට යටත්ව මෙරටට හඳුන්වා දුන් නවලිබරල් ධනවාදයේ වර්තමාන මුහුණුවර මේ ආකාර නන්විධ ස්වරූප ගනී. බේකරියේ අයිතිකාරයා “ඤාව්..ඤාව්..” යනුවෙන් හඬ නඟමින් යෞවනිය කරා ළඟා වන්නේ නිකම්ම නොවේ. බළල්ලු මරලා සල්ලි හෙව්වත් “ඤාව්..” කියන්නේ නැහැ. යනුවෙන් ජනතාවට ලබා දුන් ආදර්ශ පාඨය අනුව ක්‍රියා කරන මිනිසුන්ගේ ප්‍රතිමූර්තියක් ය. ධර්මිෂ්ට සමාජය පෙන්වා බළල්ලු මරලා හරි සල්ලි සොයන ප්‍රායෝගික යථාර්ථය ගොඩනැඟුවේ ය. මෙයට අදාළව සංස්කෘතික ආදර්ශ පාඨය ද ලබා දී තිබේ. එය නම් “ආච්චි වුණත් මොකද හොඳට ලව් කරනවා නම්” යනුවෙන් ය. සිංගප්පූරු සිහිනයේ ආර්ථික සහ සංස්කෘතික පදනම්වලට අදාළ සමාජ විඤ්ඤාණය ගොඩනඟා තිබෙන්නේ මේ ලෙසිනි.
මෙරට තුළ ක්‍රියාත්මක වන නව ලිබරල් ධනවාදී ස්වරූපය දැන් දශක හතරක් පුරා මෝරා වැඩී අවසන් ය. මෙතැන දී හමුවන්නේ බළල්ලු මරලා හරි හොයන සල්ලි “ඤාව්…” කියන්නෙ නෑ යන්න නොවේ. අම්මව විකුණලා හරි සල්ලි හොයපල්ලා යන්න ය. එයට අදාළ සංස්කෘතික ආදර්ශ පාඨය හරියටම නිශ්චය කළ නොහැකි ය. මෙම තත්ත්වය තුළ “මිනිසා වනාහී දේශපාලන සත්වයෙකි.” යනුවෙන් සොක්‍රටීස්ගේ සූත්‍රගත කිරීම අදාළ නොවන්නේ ය. දැන් සිටින්නේ හුදු ආර්ථික සත්වයෙක් පමණක් ය. එනයින් තිරිසන් සතුන්ට ද අන්ත තත්ත්වයකට මිනිසා පත්  කර හමාර ය.
“තුරඟ වේගයෙන් මඟ සරණා
දුවන මුවන් මිරිඟුව පරදා”

යන්නෙන් කියවෙන්නේ සතුන්ට ඌනනය වී තිබෙන මිනිස් සමාජය පිළිබඳව ය. ‘ඇපකැලිප්ටෝ’ චිත්‍රපටයේ ගෝත්‍රිකයන් මරා ගන්නා අතර, ඔවුනොවුන් හඹා යාම සහ එයින් බේරීමට දිව යාම සහ මේ සමාජයේ එකිනෙකා ගොදුරු කර ගැනීම සහ එයින් බේරීමට දිව යාම අතර, දශමයක හෝ වෙනසක් පවතින්නේ ද!
සුනිල් කොස්තා ඇතුළු පිරිස රූපවාහිනී මාධ්‍යයේ උඩුගම්බලා පිහිනමින් ‘Can you here me’ නාට්‍යය නිර්මාණය කර තිබෙන්නේ මෙවැනි සමාජයකට ය. මෙම සමාජයට වඳ වීගෙන යන සත්ව කොටසක් වී සිටින දේශපාලන සත්ත්වයන්ට ‘ඔබට ඇසුණා ද මාව’ යන ප්‍රශ්නයෙන් තියුණු කම්පනයක් ජනිත වේ. අම්මව විකුණලා හරි සල්ලි හෙවීම එකම අරමුණ කර ගත් සමාජයේ නිරුවත් යථාර්ථය මේ තුළින් විද්‍යමාන නොවන්නේ ද?  අන්තිමට තමාට තමාව පවා අහිමි වූ සමාජයක ශෝචනීය ඛේදනීයත්වය කෙතරම් ද යන්න මෙම නිර්මාණය තුළින් මනාව විද්‍යමාන වේ.

මෙම නාට්‍යය පුරා හමුවන චරිත එකක් දෙකක් හැර ඉතිරි සියල්ල තුළම පවතින ආත්මීය ශක්‍යතාව බර අවි සැඟ වූ සිත් සහ ගිනි මූණිස්සම් ඇස් යන්නෙන් කියවෙන්නේ ය. මේ අතර හමුවන එකම එක නොහික්මුණු චරිතයක් ප්‍රශ්න කිරීමට පටන් ගනී. ඒ තමා සම්බන්ධයෙන් ය. ඔහු ෆිනෑන්ස් කොම්පැනිය අයිතිකාරයාගේ පුත්‍රයා ය. ඔහුගේ ප්‍රශ්න කිරීම කෙරෙන ආකාරය දරදඬු ය. නොහික්මුණුසුලු ය. එහෙත්, ඔහු තමාගේ ජීවිතය අත්පත් කර ගැනීම වෙනුවෙන් කිසියම් ආකාරයක බොඳවුණු දැක්මක් සහිතව අරගලයක යෙදී සිටී. එය පැහැදිලි මාවතක ගමන් කරන්නක් නොවේ. දශක හතරක නව ලිබරල් ධනවාදී සිස්ටම් එක තුළ මෙවැනි තරුණයන් සමාජයෙන් දැකගත හැකි ය. ඔවුනට පැහැදිලි මාවතක් සොයාගැනීම අසීරු වී ඇත. එහෙත්, ඔවුහු කුමක්දෝ සොයමින් සිටිති.

මෙවැනි තරුණයෝ දේශපාලන දැක්මක් සහිතව, දේශපාලන ශික්ෂණයක් සහිතව 1953දී බැටිස්ටාගේ පාලනයට එරෙහිව මොන්කාඩා බැරැක්කයට ප්‍රහාර එල්ල කළහ. එයින් වසර 06කට පසුව 1959 ජනවාරි 01 වැනිදා කියුබානු විප්ලවය ජයග්‍රහණය කළේය. එතැන් සිට මේ දක්වා පුරා දශක 06ක් කියුබානු ජනතාව තමන්ගේම වූ සමාජ-ආර්ථික ක්‍රමයක ජීවත් වෙමින් සිටින්නාහ. එරට ජනතාවගේ සිත් තුළ බර අවි සැඟවී නැත. ඇස්වලින් සැර මූණිස්සම් විදින්නේ නැත. තුරඟ වේගයෙන් දුවන පිරිසක් ද නොවන්නාහ. මහගම සේකර සහ කියුබානු විප්ලවය හා ‘Can you here me’ ටෙලිනාට්‍යයට බද්ධ වන්නේ මෙම පදනමින් ය.

මෙම නිර්මාණය තුළින් රූපවාහිනී රචනය සහ අධ්‍යක්ෂණයෙන් සුනිල් කොස්තා කර තිබෙන්නේ සුළුපටු අත්හදා බැලීමක් නම් නොවේ. විශේෂයෙන්ම දශක හතරක සමාජ ආර්ථික දේශපාලනික ක්‍රියාවලියේ හරස්කඩ කැපුමක් ඉතා සියුම් ආකාරයෙන් සිදු කර තිබේ. ඒ සඳහා ආලෝකකරණය සහ කැමරා අධ්‍යක්ෂණයෙන් සිසිකිරණ පරණවිතාන දක්වා තිබෙන්නේ විශිෂ්ට දායකත්වයකි. එසේම කලා අධ්‍යක්ෂවරයාගේ දේශපාලන දාෂ්ටිය මෙම නිර්මාණය ඉල්ලා සිටින ආකාරයෙන් ස්ථානගත කිරීමට සමත් වී ඇත. ඒ අජිත් අලහකෝන් ය. විශේෂයෙන්ම අවසාන කොටස තුළ බොඳ වී ඒ මේ අත දිව යන මිනිස් රූප සහ මිනිසා විසින් ගොඩනැඟූ පරිසරය බොඳ වී කැරකෙන ආකාරය කලා අධ්‍යක්ෂණයේ දේශපාලන දාෂ්ටිමය කූටප්‍රාප්තිය සටහන් කරන්නක් ය. චින්තක කුලතුංගගේ නිෂ්පාදනයෙන්, දිනේෂ් සුබසිංහගේ සංගීතයෙන් සහ වසන්ත පූර්ණවංශගේ අංගරචනයෙන් මෙම නිර්මාණය ප්‍රස්තුතයට අදාළ කේන්ද්‍රීය ඒකාත්මික දෘෂ්ටිය සමඟ සමපාත කර තිබෙන්නේ ය. ගී පද තුළින් මෙම සමස්තය කැටි කිරීමට නුවන් ජූඞ් ලියනගේ සමත් වී සිටී.
එසේම නළු නිළි කැළ තම තමන්ගේ භූමිකාවට අදාළ කියවීමක් සහිතව ප්‍රතිනිර්මාණය කිරීමට සමත් වී ඇති බව පෙනේ. මෙම නාට්‍යයේ

පළමු අදියර නිමා වන්නේ එවැනි වූ ගැඹුරු, සංකීර්ණ දේශපාලන කියැවීමක් සඳහා ප්‍රේක්ෂකයා යොමු කිරීමෙනි. හාත්පස බොඳ වී ගිය පරිසරයක ගොදුරු කර ගැනීමට හඹා යාම සහ ගොදුරු වීමෙන් බේරීමට දිව යාම මිනිස් ජීවිතය කර ගත යුතු ද? මෙම ම්ලේච්ඡත්වයෙන් මිදුණා වූ මානව සමාජයකට මිනිසා ගමන් කළ යුතු නොවේ ද? කොටින්ම මට මාව හමු විය යුතු නොවේ ද? මගේ හඬ සමීපතමයාටත්, සමීපතමයාගේ හඬ මටත් දැනිය යුතු නොවේ ද? මානව සබඳතා යළි සුපුෂ්පිත කළ යුතු ය. ඒ වෙනුවෙන් අප එකිනෙකා තනි තනිවත්, සාමූහිකවත් කළ යුතු අරගලය සුළුපටු එකක් නම් නොවේ. මෙවන් නිර්මාණ ඒ වෙනුවෙන් යම් ආලෝක ධාරාවක් සපයන්නේ ම ය.
 -ප්‍රයදර්ශන දයාරත්න 

Leave A Reply

Your email address will not be published.

4 × two =