මෙය ජාතිවාදයේ නරුමකම සේ දකිනු හැර අන් කුමක් කරන්නද?

යුද්ධයක විරුවන් සහ ද්රෝහීන් සිටිති

යාපනය සරසවියෙහි ඇති ස්මාරකය බිඳ හෙලීමත් සමගින් යළි උතුරෙහි අසහනකාරී තත්වයක් ඇතිව තිබෙන බවට තොරතුරු පලවෙමින් තිබේ. ඒ සමගම යළි ජාතිවාදය අවුස්සාලන ප්‍රකාශයන්ද පලවෙමින් තිබේ. ඇති පදම් පීඩනයන්ට ලක්ව සිටිනා රටක යළි ජාතිවාදයේ ගිනි ඇවිලවීම පිණිස කෙරෙනා අමනෝඥ ක්‍රියාවන් සහ ඒ සමග දුර දිග නොබලා කරනු ලබනා ප්‍රකාශ අප ගෙන යනු ලබන්නේ නරකාදියේ පත්ලටම බව ඇතැමුන් කල්පනා නොකරන සෙයකි. දේශපාලනය යනු ජාතිවාදයේ පිහිට පැතීම යයි අප සිතන්නේ නම් අප අයත්වන්නේ බුද්ධිමත් ජන කොටසකට නොවේ. මීට පෙර අවධියක ජයවර්ධනපුර සරසවියෙහි සිසු ස්මාරකය බිඳහෙලීමත් සමග ඇතිවූ තත්වය අපට මතකය. එසේම සිසුන්ගේ මැදිහත්වීමෙන් එය යළි ඉදිකෙරුන ආකාරයද අපට මතකය. එය ඉවසා සිටි දකුණෙහි අය උතුරෙහි ස්මාරකය බිඳ හෙලීම වීරකමක් සේ සලකන්නේ නම් එය අපරිණතකම හෝ ජාතිවාදයේ නරුමකම සේ දකිනු හැර අන් කුමක් කරන්නද?
යුද්ධයක විරුවන් සහ ද්රෝහීන් සිටිති. එය දෙපාර්ශවයටම පොදුය. එහෙත් මේ කවර පාර්ශවයක වුව ලබැඳියන්ට තමන්ගෙන් වියෝවූවන් ළබැදියන්මය. එමෙන්ම වියෝවූ තම ළබැඳියන් සිහිකර පහනක් දැල්වීමේ අයිතිය ඒ සැම කෙනකුටම තිබේ. අපට ක්‍රියාමාර්ගයන්හී වැරදි නිවැරදිකම ගැන දේශපාලනිකව තර්ක කළ හැකිය. එහෙත් මලගියවුන් වෙනුවෙන් ශෝක වීමට ඇති අයිතිය පැහැරගත නොහැකිය. එසේම එය පැහැරනොගත යුතුය. අහිංසකයන්ගේ ආරාමය කඩා ඉවත් කළ අවස්ථාවේ දකුණේ අසරණකම සහ ශෝකය නිහඬව පලවෙනුද අපි දුටිමු.

කඳුලට ගලා යන්නට ඉඩ නොතබන විට එය ගලක් සේ බරට හදපත්ලෙහි තැන්පත් වෙයි

ජාතිවාදය දේශපාලනයේ තුරුම්පුව ලෙස භාවිතා කිරීම මගින් අප අත්කරගත් විනාශය දැන් හොඳටම ප්‍රමාණවත්ය. අනෙකා ඉවසීම යනු දුර්වලකම නොව මහත්මාගතිය බව අප උගත යුතුව තිබේ. ස්මාරකය බිඳහෙලූ පසුව යාපනය සරසවිය ඉදිරිපිට නැගෙන හඬෙහි මෙවන් කොටසක් තිබේ. තයව සෙයිදු වෙලීල වාංගො. ඒ උපකුලපතිට කෙරෙන ඉල්ලීමයි. එහි සිංහල අරුත මෙසේය. කරුණාකර එළියට එන්න. කරුණාකර- අප ඒ කොටස නොතකා හරිමින් සිටිමු.
ඇස නැගෙන කඳුලට ගලා යන්නට ඉඩ නොතබන විට එය ගලක් සේ බරට හදපත්ලෙහි තැන්පත් වෙයි. එය ලොව කොයි ජාතියකට වුව පොදුය. එහෙත් අපට ඒ කඳුල ඉවසන්නට හැකිනම් එතන මිනිසත්බව උපදියි. අප උදාකරගතයුතුව ඇත්තේ මිනිසත්බවේ හෝරාවයි.
අප තේරුම්ගත යුත කටුක සාත්‍යයක් තිබේ. ඒ අප කළ යුතුව ඇත්තේ ස්මාරක බිඳ හෙලීම නොව ස්මාරක ඉදිකිරීමට කිසිවකුට හෝ අවශ්‍ය නොවනා සමාජයක් බිහි කිරීම බව වටහා ගැනීමය. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමය.

තුවාල යනු පෑරීමට ඇති දෙයක් නොවේ

අප හට ඒ උදෙසා ඉතාම සුළු ක්‍රියාවකින් ආරම්භයක් ගත හැකිය. ඒ පසුගිය කුරිරු යුද්ධය හේතුවෙන් උතුරේ මෙන්ම දකුණේද මියගිය සියළු දෙනා වෙනුවෙන් සියළු සීමා මායිම් නොතකා එක පොදු පහනක් දැල්වීමට ඉදිරිපත්වීමය. ඒ සියල්ලෝම අප දෙරණේ උන් බව සිහිපත් කිරීමය. එවන් දෙයක් කිරීමට සමත් දේශපාලන ක්‍රමයක්, දේශපාලන නායකත්වයක් අපට හමුවන දවසට අපේ බොහෝ තුවාල සුවපත්වීම ඇරඹෙනු ඇත. තුවාල යනු පෑරීමට ඇති දෙයක් නොව සුවපත් කළ යුතු දෙයක් බව වටහා ගැනීමට අපට හැකිනම් ඒ අප මිනිසත්බව හඳුනන බවට සංඥාව වන්නේය.
-චුලානන්ද සමරනායක

Leave A Reply

Your email address will not be published.

five × five =