ට්‍රම්ප් සුළඟ පුස්සක් වෙයි, Twitter ගිණුම සදහටම වහයි

ලෝකෙටම ලොක්කා වුණත් නෝටි වැඩ කරනවානම් ලංකාවෙ නිසංක මැක්ස්ට කරපු සන්තෑසියම ට්‍රම්පච්චිටත් කරන්න පුළුවන් බව සකර්බර්ග් පෙන්වා දුන්නා. ට්‍රම්ප් මහත්තයාගෙ Facebook ගිණුම සති දෙකකට තහනම් කරලයි තියෙන්නේ. සති දෙකේ තහනම හමාර වෙන කොට ට්‍රම්ප් ගෙදර. බයිඩන් තමා ජනාධිපති. Twitter සමාගම ඊටත් එහා ගිහින් ට්‍රම්ප්ගේ @realDonaldTrump ගිණුම සදහටම වහල දැම්මා.
2017 දිවුරුම් දුන් දවසෙ උදෑහැනෙක්කෙන්ම පටන් ගත්ත ට්‍රම්ප් මහත්තයාගේ සුපුරුදු Twit ගැහැල්ල මේ අනුව ඊයෙන් හමාර වුණා. ලෝකයේ බලවත්ම රාජ්‍යය විසින් ගන්නා වූ ප්‍රතිපත්ති තීරණ ගැන විතරක් නෙවෙයි උන්නැහේට අල්ලන්නෙ නැති ඕනෑම කෙනෙක්ට Twit එකක් ගහලා ආතල් ගන්න එක ට්‍රම්ප්ගෙ පුරුද්දක් වෙලා තිබුණේ. ට්‍රම්ප් කොහොමත් කියන දේ මූණටම කියන දඩබ්බරයෙක්. තුවක්කු ගැන විස්වාස කරනවට වඩා කටින් ගහලම බිම දාන එක තමයි ඔහුගේ ක්‍රමය. එහෙන් මෙහෙන් කැමරා උස්සගෙන ඇවිත් වොයිස් කට් ගන්න දඟලන මාධ්‍ය අයිඩෙන්ටි කාරයෝනම් උන්නැහේට පේන්න බැහැ.

කොහොම නමුත් ට්‍රම්පච්චිව දෙයියන් වගේ අදහන කැපුවත් ට්‍රම්ප්වාදී වෙච්ච මහා බලකායක් දැන් ඇමෙරිකාවෙ ඉන්නවා. ඔවුන්ට පහල වෙච්චි දියසේන කුමාරයා තමයි ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් කියන්නේ. ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් තමන්ගේ ජනමූල නායකයාට අසාධාරණයක් වුණ බව ඔවුන් තදින්ම විශ්වාස කරනවා. ඒකට ලොකුවටම බලපෑවෙ ට්‍රම්ප්ගේ Twit ගැහැල්ල.

හැබැයි ඕනැ එකටයි එපා එකටයි හැම දේටම Twit ගහන්න ගිහින් ට්‍රම්ප්ගේ Twitter ගිණුම සිරස Breaking News වගේ වෙලා තිබුණේ.හැමදාම උදේට කොහේ හරි දාපු හොර චන්දයක් දෙකක් අල්ල ගෙන ඒකට අතිනුත් දාලා Twitter පණිවුඩ යවන එක උන්නැහේ පහු ගිය කාලයේම කර ගෙන ගියා.
ඒකෙන් සුදු අන්තවාදයට තදින්ම නැඹුරු වෙලා ඉන්න ට්‍රම්ප්වාදීන්ගෙ ලේ රත් වෙලා තිබුණෙ. එහෙව් නසරානි සෙට් එකකට වොෂින්ටන් වලට පාද යාත්‍රා එන්න කිව්වම වෙන සන්තෑසිය අමුතුවෙන් කියන්න උවමනා නැහැ.
කොහොම උනත් ජීවිත 5ක් අහිමි වූ Capitol Hill යකා නැටිල්ල නිසා මෙතෙක් නාහෙට නාහන මතයක හිටපු ට්‍රම්ප් මහත්තයා පසු බා ගියා. තමන් නීත්‍යානුකූලව සටන් කරනවා මිසක ගහ මරා ගෙන ප්‍රශ්ණ විසඳන්න යන නොසණ්ඩාලයෙක් නොවන බව ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කිව්වා.

“ප්‍රචණ්ඩත්වයට එරෙහිව මම සිටින්නේත් මුළු ඇමෙරිකාවම සිටින මතයේ තමයි. මේ විනාශය කරපු අය ඇමෙරිකානුවන් වෙන්න බැහැ. නීතිය කඩපු අය ඒකට වන්දි ගෙවිය යුතුයි. මම කල්පනා කරන්නේ සුහදව බලය හුවමාරු කරන්නේ කොහොමද කියලා. දැන් මැතිවරණය ඉවරයි. අපි සන්සුන් විය යුතුයි. ශ්‍රේෂ්ඨ ඇමෙරිකාවක් වෙනුවෙන් අපි එකතු විය යුතුයි.”
ට්‍රම්පච්චිගේ ඒ ප්‍රකාශයෙන් පස්සෙ ඔබ හෙළනා ඩා දිය බිඳු රටක් දන්නවා. ඔබ තනි නෑ ඔබත් එක්ක අපිත් ඉන්නවා කියලා අං තට්ටු ගහ ගෙන අගනුවරට පෙළපාලි ආපු රටට හිතැති පරම්පරාව අන්දුන් කුන්දුන් වුණා. ඒත් තමන්ගෙ ගෝල බාලයන්ගෙ නාඩි වැටෙන හැටි හොඳින් දන්න ට්‍රම්ප් මහත්තයා අන්තිමට මෙහෙමත් කිව්වා.
“මගේ අපූරු පාක්ෂිකයනි, මට ඔබේ වේදනාව තේරෙනවා. අපේ ගමන අපි යනවා. ඒ සඳහා ඔබලාගේ මේ පියවර ඇදහිය නොහැකි ආරම්භයක්.”
ඒ වගේම Twitter මුදලාලිටත් ට්‍රම්ප් රතු එළියක් පත්තු කළේ තමන් ප්‍රයිවට් කම්පැනි කාරයන්ට ‍යට නොවෙන බව ඉඟි කරමින්.
“අපේ අදහස් හුවමාරු කර ගන්න ඉදිරියේදී අපේම මාධ්‍යයක් හදා ගන්නවා.”
ඒ අනුව ඇමෙරිකාවෙ ධන කුවේරයෙකු වෙච්චි ට්‍රම්ප් මහත්තයාගේම Social Media කොම්පැනියක් නුදුරේදීම එළි දකින්නත් බැරි නැහැ.
Capitol කන්දේ යකා නැටිල්ල ගැන ට්‍රම්ප් එක්ක උරණ වෙච්ච ඔහුගේම Republican සගයන් ට්‍රම්ප් මහත්තයාගෙ Facebook හා Twitter ගිණුම් බ්ලොක් කරපු එක ගැන නම් මනාප නැහැ. ඒක ඔහුගේ භාෂණයේ නිදහස උල්ලංඝනය කිරීමක් ලෙසට ඒ අය දකිනවා.
“අනෙකුත් රටවල ජනතාව සමූල ඝාතනය කරන බව තර්ජනය කරන සමලිංගිකයන් මරා දමන ඉරානයේ අයතුල්ලා කුමේනි වගේ අයටත්, ආණ්ඩු වලටත්, ඒකාධිපතියන්ටත් කිසි ලෙඩක් නැතිව ට්විටර් ගිණුම් තියා ගෙන ඉන්න පුළුවන්. නමුත් එක්සත් ජනපද ජනාධිපතිවරයාට බැහැ. මේක මාර වැඩක්නේ. මාඕ සේතුං හිටියනම් ආඩම්බර වේවි.”
තමන්ගෙ අප්පච්චිට කරපු මදි පුංචි කම ගැන අමනාපයෙන් සිටින ට්‍රම්ප් පවුලේ ලොකු බේබි වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් එහෙම කියනවා.

-ශානක ලියනගම -( ලෝකය එකම යායක් )

Leave A Reply

Your email address will not be published.

14 + 15 =