මිනිසෙක් මියගොස් !

චිත්‍රපට අධ්‍යක්ෂ කේසව්රාජන් නවරත්නම් ඊයේ (08) පස්වරුවේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන්, රාත්‍රියේදී මියගිය බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
උතුරේ මහ පොළොව අතනොගා කොළඹ සිට කලාව කරනවා වෙනුවට, ඔහු ඒ මහ පොළොවේ මිනිසුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් තම නිර්මාණ කරන්නට වෙහෙසිණි. මිනිසෙකු වන ඔහුගේ භාවිතාව සම්බන්ධයෙන් ප්‍රශ්න තිබිය හැකිය. එහෙත් සාපේක්ෂව වැඩක් කරන්නට වෙහෙසුණු මිනිසෙකු මිය ගොස් තිබේ.
ඔහුගේ පනමරක්කාඩු (තල් වනය) චිත්‍රපටය ප්‍රදර්ශනයට පෙර, සත්හඬ පුවත්පත වෙනුවෙන් කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

අපිට මේ කැලෑවෙන් එළියට එන්න ඕනෙ – චිත‍්‍රපට අධ්‍යක්ෂ කේසව්රාජන් නවරත්නම්

ආණ්ඩුව සහ දෙමළ ජාතික සන්ධානය යාපනය කියන තල් වනය ගැන විවිධ කතා මවනවා. ඔබ කියන මේ තල් වනය, එහෙම නැත්නම් පනියමරක්කාඩු චිත‍්‍රපටයේ කතා කරන්නෙ මොකක්ද, තල් වනයේ ඇත්ත කතාව මොකක්ද?

මේක කැලෑ වැදුණු සමාජයක් ගැන කතාවක්. කැලෑ වද්දපු සමාජයක් ගැන ඇත්ත කතාවක්. යුද්ධයට කලින් වගේම යුද්ධයෙන් පස්සෙත් මේ රටේ ආණ්ඩු එක-එක කතා මවලා කියනවා. දෙමළ ජාතික සන්ධානයත් මෙහෙ දේශපාලනය කරනවා විතරයි. ඒ දේශපාලනයෙන් මිනිස්සුන්ගෙ ඇත්ත ප‍්‍රශ්නවලට විසඳුමක් ලැබෙන්නෙ නෑ.
අපේ ජීවිත කාලෙම කැලෑවක් කළා. මුලින් ඒක කළේ යුද්ධය. දැන් කරන්නෙ දේශපාලනඥයන්. දකුණට ඒක දැනෙන්නෙ කොහොමද. දවස් කීපයක ට්‍රිප් එකක් යාපනේට එන කෙනෙකුට ඒක දැනෙන්නෙ කොහොමද. ඇත්තටම ඔවුන්ට ඒක දැනෙන්නෙ නෑ. ඒකෙ අසාධාරණයක් නෑ. මාධ්‍ය, කලාව හුඟක් දේවල් දේශපාලනය විසින් අයිති කරගෙන ඉවරයි. ඒක නිසා මිනිස්සු වැරදි නෑ. ඒ ගේම් එකට අපි ඔක්කොම අහු වෙලා. ඒකට උතුරද, දකුණද කියලා භේදයක් නෑ.
ඒත් උතුරේ ප‍්‍රශ්න සංකීර්ණයි. අම්මලා-තාත්තලා නැති දරුවො මෙහෙ කොච්චර ඉන්නවද. ස්වාමියා මැරුණු වැන්දඹුවො මෙහෙ කොච්චර ඉන්නවද. මේවා ගැන අඩුතරමෙ හරියට සංඛ්‍යා ලේඛනවත් ආණ්ඩුව ළඟ තියෙනවද. මං කතා කරන්නෙ ඒ නොපෙනෙන සහ හංගන්න හදන ඇත්ත.

ඩයස්පෝරාව උතුරට සල්ලි දෙනවා, උතුර ගොඩනගනවා කියන කතාව ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නෙ, ඔබ කතා කරන්නෙ අහිමි පැත්ත විතරද…?

ඩයස්පෝරාව වැඩ කරන්නෙ මොකටද. ඔවුන් මේ මිනිස්සුන්ගෙ ඇත්ත ප‍්‍රශ්න විසඳන්න මොනවද කරලා තියෙන්නෙ. දේශපාලනඥයන් ඩයස්පෝරාවට දෙන තොරතුරු මත තමයි ඔවුන් වැඩ කරන්නෙ. ඇත්ත කතාව තමයි, ඔවුන් මේ ප‍්‍රශ්න විසඳෙනවට කැමැති නෑ. එහෙම වුණොත් ඔවුන්ට පැවැත්මක් නෑ. ඇත්තටම ඔය ඩයස්පෝරාව කියන්නෙ මොකක්ද. ඔවුන්ට ඕනෙ කරන්නෙ මේ මිනිස්සුන්ගෙ ප‍්‍රශ්න විකුණන්න මිසක් විසඳන්න නෙමෙයි. ඔය ඩයස්පෝරාව කියන වචනෙ ආවෙ කොහොමද කියලා මම දන්නෙ නෑ. හැබැයි විවිධ කණ්ඩායම් මේ ප‍්‍රශ්න විකුණනවා. ඒ හරහා යම් යම් සහන දෙනවා තමයි. වැඩ කෙරෙනවා තමයි. ඒත් ඒවා හුදෙකලා වැඩ. මිනිස්සුන්ට ආපහු ජීවිතේ දෙන පොදු වැඩ නෙමෙයි ඒවා. එහෙම හුදෙකලා වැඩ කරන එකෙන් වෙන්නෙ මිනිස්සු තවත් කැලෑ ඇතුළෙ අතරමං කරන එක විතරයි. මං කතා කරන්නෙ උතුරේ දුප්පත් මිනිස්සු ගැන. යමක් කරගන්න පුළුවන් අයට මේවා අදාළ නෑ. යුද්ධයෙන් ඇත්තටම පීඩාවට පත්වුණු, යුද්ධයෙන් බැට කාපු මිනිස්සු තවමත් දුක් විඳිනවා. යුද්ධය ඉවර කරලා අවුරුදු මෙච්චර කාලෙකට පස්සෙත් තත්ත්වෙ ඕක නම්, සාමය කියන්නෙ ඕකටද. සාමයෙන් වෙන්නෙ තවත් දුක් විඳින්න ඉඩ හදලා දෙන එකද.
හැබැයි එකක් කියන්න ඕනෙ, ඩයස්පෝරාව කියලා ජාතිවාදීන් අර්ථ දක්වන විදිහ වැරදියි. ඔවුන්ට අනුව උතුරට උදව් කරන හැමකෙනාම කරන්නෙ ප‍්‍රශ්න විකුණගෙන කන එක. එහෙම නැත්නම් රට බෙදන්න හදන එක. ත‍්‍රස්තවාදය පෝෂණය කරන එක. එහෙම නෑ. පිටරටවල ඉඳලා ඇත්තටම උදව් කරන මිනිස්සුත් ඉන්නවා.
ඒ කියන්නෙ තල් වනයට ඉස්සරහට එන්න දෙන්නෙ නෑ, මං අදහස් කරන්නෙ ආණ්ඩුව මෙච්චර සංවර්ධනයක් කරනවා කියන කොට ඔබ තවදුරටත් චිත‍්‍රපටය හරහා වනාන්තර දිශාවට අපිව ඇදගෙන යන්න හදනවා…?
ඒක තමයි ඇත්ත. මං කැලෑවට ඇදගෙන යන්නෙ නෑ. මං කියන්නෙ මේ කැලෑවෙන් අපිව එළියට ගන්න කියලා. මේ මිනිස්සු ඒ කැලෑවෙන් එළියට එන්න ආසයි. ඒත් ඉඩක් දෙන්නෙ නෑ. ආණ්ඩුව සහ දෙමළ ජාතික සන්ධානය වෙන-වෙනම දේශපාලන ව්‍යාපෘතිවල ඉන්නවා. ඔබ මුලින් අහපු ඩයස්පෝරාවෙත් ඇතැමුන් ඒ වගේ ව්‍යාපෘතිවල තමයි ඉන්නෙ. ඉතින් මිනිස්සු අසරණයි.
මං මේ චිත‍්‍රපටයට පදනම් කරගත්තෙත් කිලිනොච්චියේ ඉඩමක් පැහැරගත්තු විදිහ ගැන කතාවක්. ඒක උසාවියෙන් නැවැත්තුවා. එක පවුලකට අයත් ඉඩමක්. දකුණෙන් ඇවිත් සුපර් මාර්කට් එකක් හදන්න ඒ ඉඩම ගන්න හැදුවා. ඒකට සපෝට් කළේ උතුරේ දේශපාලනඥයන්. මොන ප‍්‍රශ්න තිබුණත් උතුරේ මිනිස්සුන්ට නිදහස තිබුණා. ඕනෙ වෙලාවක පාරෙ නිදහසේ යන්න ඉඩකඩ තිබුණා. ඒත් යුද්ධෙ ඒ නිදහසෙන් කොටසක් උදුරාගත්තා. ඊට පස්සෙ දැන් දේශපාලනඥයො ඉතුරු කොටස තවදුරටත් උදුරා ගනිමින් ඉන්නවා. මං මගේ ප‍්‍රකාශන මාධ්‍යයෙන් අදහස් දක්වන්නෙ ඒ ක‍්‍රමයට විරුද්ධවයි.
චිත‍්‍රපට කිරීමෙන් විතරක් ඔය තත්ත්වය වෙනස් කරන්න පුළුවන් කියලද ඔබ හිතන්නෙ, මං අදහස් කළේ ඊට වඩා සක‍්‍රීය මැදිහත්වීමක් ගැන…?
මං එදත් ආයුධවලින් සටන් කිරීම ප‍්‍රතික්ෂේප කළා. ඒත් මං එල්ටීටීඊය එක්ක වැඩ කළා. ඒ දෙමළ ජනතාව මුහුණ දෙන අසීරුතා ගැන ලෝකෙට කියන්න චිත‍්‍රපටි හදන්න. මට තවමත් දෙමළ ජනතාව ගැන මහා වේදනාවක් තියෙනවා. ඔවුන්ගේ ප‍්‍රශ්න විසඳිලා නෑ. ආණ්ඩුවට හෝ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව කියන කණ්ඩායම්වලට ඒවා විසඳන්න වුවමනාවක් නෑ. මට කරන්න පුළුවන් දේ මං උපරිමයෙන් කරනවා. එල්ටීටීඊය එක්ක සම්බන්ධ වෙන්න කලිනුත් මං චිත‍්‍රපටි හැදුවා. සමාජය ගැන කතා කළා. යුද්ධෙ කාලෙත් මං චිත‍්‍රපටි හැදුවා. දැනුත් හදනවා.
ඔබ කියන කතාව හරි. චිත‍්‍රපටි හැදුවා කියලා මේක වෙනස් වෙන්නෙ නෑ. ඒත් මං මගේ රාජකාරිය කරනවා. හැමෝම එහෙම තම-තමන්ගෙ රාජකාරිය කරනවා නම් මේක හරි ලේසි වැඩක්. මේ ප‍්‍රශ්න විසඳන්න පුළුවන්. එහෙම එකතු වුණොත් තවදුරටත් මිනිස්සුන්ගෙ අසරණකම පාවිච්චි කරලා ඡන්ද ගන්න දේශපාලනඥයන්ට ඉඩක් ලැබෙන්නෙ නෑ. ඔවුන්ටත් නිවැරදි මාවතට ප‍්‍රවේශ වෙන්න සිද්ධ වෙනවා.

යුද්දෙ ඉවර වෙලා වසර ගණනාවකට පස්සෙ ඔබ කොළඹ සමාජයත් එක්ක එකතු වෙලා උද්ඝෝෂණ කරනවා. ඒ කියන්නෙ උතුරේ මේ කියන සාමූහිකත්වය ගොඩනගන්න බැරිද…?

උතුරෙ විතරක් නෙමෙයි, දකුණෙත් එහෙම සාමූහිකත්වයක් තියෙනවද, නෑ. උතුරෙ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන ප‍්‍රශ්නම දකුණේ සාමාන්‍ය මිනිස්සුන්ටත් තියෙනවා. යුද්ධයකින් පස්සෙ තියෙන තත්ත්වය නිසා උතුරට ඒක වඩා වැඩියි. සාමූහිකත්වය ගොඩනගන්න බැරි නෑ. ඒක කරන්න පුළුවන්. ඒකට දේශපාලනඥයන්ගෙ අතකොළු නොවන ජනතාවක් හදන්න ඕනෙ. ඒකට කලාව පාවිච්චි කරන්න පුළුවන්. මං ඒකෙ කොටස්කාරයෙක්.
ඇයි මේ හැම ආණ්ඩුවක්ම මිනිස්සුන්ගෙ ප‍්‍රශ්න විසඳන එක පමා කරන්නෙ. සමහර ප‍්‍රශ්නවලට විසඳුම් නෑ කියලා අපි දන්නවා. උදාහරණයක් විදිහට අතුරුදන් කරපු දරුවො ආපහු දෙන්න බෑ. ඒත් පරීක්ෂණ කරන්න බැරි ඇයි. ඒ අම්මලගෙ-තාත්තලගෙ හිත් හදන්න බැරි ඇයි. අතුරුදන්වූවන්ගෙ කාර්යාලය පිහිටුවන්න මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අත්සන් කළේ කොයිතරම් බලපෑම් කළාට පස්සෙද. අතුරුදන්වූවන් පිළිබඳ පනත තවම නෑ. ඒක ගේනවා කියලා කොච්චර කල් ද. ඒ නිසා මේ ආණ්ඩුවලට බලපෑම් කරන්න ඕනෙ. ඒකට උතුරයි, දකුණයි එකතු වෙන්න ඕනෙ. හුදෙකලා සටන්වලින් ලබාගන්න පුළුවන් ජයග‍්‍රහණ සීමිතයි. ඒත් සාමූහික සටන්වලින් හුඟක් දේ දිනන්න පුළුවන්.

ජනතාව දැනුවත් කරන්න ඔබ කලාවෙන් පුළුවන් බව කිව්වා. උතුර ගැන ලංකාවෙ කලා නිර්මාණ විශාල සංඛ්‍යාවක් නිර්මාණය වුණා. චිත‍්‍රපටත් එහෙමයි. ඒවගෙන් වෙනසක් වෙලා තියෙනවද…?

උතුර ගැන ඇත්ත කතා කරන, උතුරෙ මිනිස්සුන්ගෙ ඇත්ත ප‍්‍රශ්න කතා කරන කලා නිර්මාණ තියෙන්නෙ කීයද. ඒ වගේ චිත‍්‍රපට කීයද හැදුණෙ. දෙමළ ජනතාව ගැන බොරු කියන චිත‍්‍රපට තමයි වැඩියෙන් හැදුණෙ. යාපනයෙ මහ පොළොව අත ගාන්නෙ නැතුව යාපනය ගැන නිර්මාණ කරන්නෙ කොහොමද. එහෙම කරපු සමහර නිර්මාණ දැක්කහම ජනතාව දැනුවත් වෙනවා නෙමෙයි, ජනතාවට හිනා යනවා. ඊට පස්සෙ දුක හිතෙනවා. ඒක නිසා මං කියන්නෙ යාපනයෙ පොළොවෙන් ඒ නිර්මාණ බිහිවෙන්න ඕනෙ.
-ශාලික විමලසේන / ශිවන්ති ප්‍රනාන්දු

Leave A Reply

Your email address will not be published.

17 − eight =