ස්මාරක, ස්……මාරක, ඩෝ-සර් සහ තවත් කතා

  • ගෝඨා පාලනයට වසරක් ගෙවෙන්නටත් පෙර සිටම එය ‘අසමත් පාලනයක්’ බවට මතයක් රටතුළ පැතිරෙමින් පැවැතිණි. දැන් එය තව තවත් උත්සන්න වෙමින්, සෝපහාසයකට ද පෙරැළී, වඩා වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ‍.

  • කොරෝනා වසංගතය පාලනය කරගැනීමේ අපහසුව ගැන කතාකරමින් ගෝඨාභය වරක් කීවේ යුද්ධයක් තිබුණා නම් එයට මුහුණ දෙන හැටි තමන් දන්නා බවත්, එහෙත් මෙය යුද්ධයක් නොව වසංගතයක් බවත් ය.

  • ඇතැම් පාලකයෝ නොදන්නා කලාපවල අසාර්ථක වී වැඩ අනාගන්නා විට තමන්ට වැඩ පෙන්විය හැකැයි සිතන කලාපයකට පසුබැසීමට අරඇඳීම ලෝක දේශපාලන ඉතිහාසයේ විරල දෙයක් නොවේ.

  • යුද්ධයෙන් මියගියවුන් සිහිකිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ඉදිකර තිබූ ස්මාරකය ඩෝසර් කර දැමීමට එරෙහිව සිසුන්ගෙන් මෙන්ම ප්‍රදේශවාසීන්ගෙන් හා දෙමළ දේශපාලනඥයන් වෙතින් දැඩි විරෝධයක් එල්ලවිය. ඩෝසර් කිරීම සිදුවූයේ ඒ විරෝධය මැඩපැවැත්වීමට ආ පොලීසියේ හා පොලිස් ආරක්ෂක බලකායේ මර්දනය මධ්‍යයේ ය.

  • ඝාතනයට ලක්වූවන් සැමරීම සඳහා ස්මාරක පිහිටුවා තිබෙන එකම උසස් අධ්‍යාපන ආයතනය යාපනය විශ්වවිද්‍යාලය නොවේ. දකුණේ තරුණ ඝාතන සැමරීම උදෙසා සිසුන්ගේ මැදිහත්වීමෙන් පේරාදෙණිය, ජයවර්ධනපුර හා වයඹ යන විශ්වවිද්‍යාලවල ද ස්මාරක ඉදිකර තිබේ. ඒ කිසිදු ස්මාරකයක් ඩෝසර්කරණයට හසුව නැත.

  • 88-89 භීෂණ සමයේ තරුණ ඝාතන සිහිපත් කිරීම සඳහා 1999 දී පාර්ලිමේන්තුව පෙනෙන මානයේ අහිංසකයන්ගේ ආරාමය ඉදිකැරුණේ චන්ද්‍රිකා ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය මැද ජගත් වීරසිංහ නම් ප්‍රකට චිත්‍රශිල්පියා අතිනි.

  • 2012 දී අහිංසකයන්ගේ ආරාමය ඩෝසර් කර දමන ලද්දේ මහින්ද ආණ්ඩු සමයේ, ගෝඨාභයගේ මැදිහත්වීමෙනි. ඒ ‘දියවන්නා ඔය අවට සංවර්ධනයට සහ එහි පරිසරයයේ දර්ශනීය පෙනුමට අහිංසකයන්ගේ ආරාමය බාධාවක්’ බව පවසමිනි. රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහි ස්මාරකයක් වුවත්, බලයේ සිටියේ එම රාජ්‍යත්‍රස්තවාදී මනුෂ්‍ය ඝාතනවලට එරෙහි රැල්ලෙන්ම බලයට ආ පාලනයක් වුවත්, ඒ ඩෝසර් කිරීමට එරෙහිව කිසිවකුගෙන් සැලකිය යුතු ක්‍රියාශීලී විරෝධයක් එල්ල නොවුණි. නිදැල්ලේ පැමිණි ඩෝසරයෝ නිදැල්ලේ සිය විනාශය සිදුකර නිදැල්ලේ පිටව ගියහ.

  • ගෝඨාභය ආරක්ෂක ලේකම්ව සිටි සමයේ සිය දෙමාපියන් හා මුතුන්මිත්තන් සැමරීම පිණිස ස්මාරකයක් පමණක් නොව කෞතුකාගාරයක් ද සහිත ස්මාරක සංකීර්ණයක් ඉදිකළේ රජයේ මුදල්වලිනි. * ඒ සම්බන්ධයෙන් ‘රාජ්‍ය මුදල් අවභාවිතය’ යටතේ ඔහු දඬුවම් නොවිඳීමේ එකම හේතුව, රටතුළ නීතියේ ආධිපත්‍යය කියා දෙයක් නැතිකම හා දේශපාලන සබඳතා සහිත සොරුන්, මිනීමරුවන් ඇතුළු අපරාධකාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දේශපාලන අභිලාෂයක්, කැපවීමක් හෝ එවැනි සංස්කෘතියක් නැතිකමය.
    -සනත් බාලසුරිය

Leave A Reply

Your email address will not be published.

15 + 12 =