කවුද මේ උදයංග?

යුක්‍රේන ජාතික සංචාරකයන් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නම කියැවෙන උදයංග වීරතුංග යනු රාජපක්ෂ පවුලේ ඥාති සොහොයුරෙකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මව, උදයංග වීරතුංගගේ මවගේ වැඩිමහල් සොහොයුරිය වේ. වීරකැටිය, මැදමුලනේ උපත ලබා හැදී වැඩුණු ඔහු පසුව කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා.
ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා සෝවියට් දේශයෙන් ලැබුණු ශිෂ්‍යත්වයක් මත උදයංග වීරතුංග යුක්‍රේනයේ කීව් අගනුවර පිහිටි ඉංජිනේරු විශ්වවිද්‍යාලයකට ඇතුළත් වුණා. එහි දී උසස් අධ්‍යාපනය හදාරන කාලයේ දී ම ඔහු ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට පටන් ගෙන තිබුණා. යුක්‍රේන සරසවියෙන් උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ද තවත් ශ්‍රී ලාංකිකයකු සමඟ එක්ව ඔහු කීව් අගනුවර ශ්‍රී ලාංකික බොජුන් හලක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
2005 වසරේ දී මහින්ද රාජපක්ෂ මෙරට විධායක ජනාධිපති ධුරයට පත් වූ පසුව 2006 වසරේ දී උදයංග වීරතුංග රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කරනු ලැබුවා. ඉන් අනතුරුව 2015 රාජපක්ෂ ආණ්ඩුව බිඳවැටෙන තුරුම ඔහු එම තනතුරේ කටයුතු කළා.
තානාපති පදවිය හෙබැ වූ සමයේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රුසියානු හා යුක්‍රේන සංචාර ද සංවිධානය කළේ උදයංග වීරතුංගයි. එම එක් සංචාරයක් වන රුසියාවේ මොස්කව් සංචාරයේ දී පැටි්‍රස් ලු‍මුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂට ආචාර්ය උපාධියක් ද පිරිනැමීමට කටයුතු කළා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඵෂඨ-27 ප්‍රහාරක යානා මිල දී ගැනීමේ ගනුදෙනුවේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 7.833කට ආසන්න මුදලක් වංචා කළ බවට ඔහුට චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කරුණුවලට අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අවස්ථා කිහිපයක දීම වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
කෙසේ වෙතත්, වරෙන්තු නිකුත් කර තිබිය දීත්, උදයංග වීරතුංග අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට මෙරටට නොපැමිණි අතර, පසුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් ද නිකුත් කර තිබුණා.
විදෙස්ගතව සිටි ඔහු දෙවතාවක් අත්අඩංගුවට පත් වූ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඩුබායි ගුවන්තොටුපළේ දී ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී මෙරට ආරක්ෂක බලධාරීන් ඔහුව ලංකාවට ගෙන ඒමට උත්සාහ කළ ද එරට රජය ඔහු බන්ධනාගාරගත කර පසුව මුදාහැරීමට කටයුතු කළා.
මහින්ද රාජපක්ෂ විදේශ සංචාරවල නියැළුණු ඇතැම් අවස්ථාවල දී වරෙන්තු පිට අධිකරණය මඟහරිමින් සිටි උදයංග වීරතුංග සමඟ සිටින ඡායාරූප ද එකල මාධ්‍ය ඔස්සේ පළ වුණා.
යහපාලන රජය බිඳවැටීමෙන් අනතුරුව උදයංග වීරතුංගගේ ඥාති සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ 2019 වසරේදී 7වන විධායක ජනාධිපතිවරයා ලෙස පත් වූවා.
කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූ පසුව ඒ වන තෙක් අධිකරණය මඟහරිමින් සිටි උදයංග වීරතුංග පසුගිය වසරේ පෙබරවාරි 14 වනදා මස්කට් සිට ආ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් දිවයිනට පැමිණියා.
එදිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත් වූ ඔහු පසු දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූවා. කෙසේ වෙතත්, බන්ධනාගාරයට නොව ගෙවන වාට්ටුවකට ඇතුළත් කිරීමට කටයුතු යොදා තිබුණා.
■ මෙම මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් වසර 5කට අධික කාලයක් පුරා විමර්ශන සිදු කර අධිකරණයට කරුණු වාර්තා කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් 2020 ජනවාරි 29 වැනිදා මීගමුව කොට්ඨාසයට මාරු කර යැවුණා.
■ උදයංග වීරතුංග සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් අධිකාරී පවිත්‍ර දයාරත්න පොලිස් සන්නිවේදන කොට්ඨාසයේ අධ්‍යක්ෂයවරයා ලෙස මාරු කර යැවුණා.
■ එතෙක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පී. කේ. ඩී. ප්‍රියන්ත කිලිනොච්චියට මාරු කර යැවුණා.
■ එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි ශානි අබේසේකර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස තනතුරෙන් පහතට හෙළා පසුව ඔහුව අත්අඩංගුවටද ගැනුණා.
ඉන් අනතුරුව මෙම නඩුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කරන ආකාරය පිළිබඳව එවකට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ දැඩි විවේචනයට ලක් වුණා.
කෙසේ වෙතත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි උදයංග වීරතුංග මහතාට පවත්නා කොවිඞ් 19 තත්ත්වය ද සලකා බලා ඇප ලබා දෙන ලෙස ඔවුන්ගේ නීතිඥයන් ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුව කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා පසුගිය අප්‍රේල් මස 3 වැනිදා මාස දෙකක කාලයක් පමණක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි උදයංග වීරතුංග මහතා රුපියල් ලක්ෂ 25ක ඇප මුදලක් සහ ලක්ෂ 500ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළා.
-අසංක කරුණාරත්න

Leave A Reply

Your email address will not be published.

2 × three =