ආයුබොවන්ඩ මෛත්‍රි,

තමුන්නැහැත් මේ දවස්වල පුවත් මවන පොරක් වෙලා කියලයි රට හැම තැනම කතා වෙන්නෙ. ඉන්දියාවෙ හින්දු පත්තරෙත් එක්ක මුන්නැහැ කොරපු කතාබහත් නැගල යන බව පේනවා. ගෝඨගෙ දෑත සක්තිමත් කොරලා පිහිටවපු ආණ්ඩුවෙ සිරිලංකාකාරයන්ට කුඩම්මාගේ සැලකිලි දක්වන එකනං අන්තිම බාල වැඩක් තමා ආයිබොවන්ඩ. මන්තිරිගොල්ලො දුසිමකටත් වැඩිය ඉන්න තමුන්නැහැලට කබල් ඇමති පට්ටන් දෙක තුනක් දීලා රාජපක්ස පවුලෙ කස්ටිය ලොකු හැන්දෙන් බෙදාගත්තු එක ගැන සිරිලංකා පාක්සිකයො මාර කලකිරීමෙන් තමයි ඉන්නෙ.

බණ්ඩාරනායකලට සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගයම ඒකරාසි කොරලා පනස් හයේ මහා පෙරළියක් කොරන්ඩ ඇහැක් වුණේ තමුන්නැහැ පහුගිය

ඉලැක්සොමේදී රාජපක්සලාට උගස් කොරපු සිරිලංකා නිදහස් පක්සෙන්මයි නේද මෛත්‍රී? දෙදහස් පහළොවේදී රනිලුත් එක්ක යහපාලනයක් අටවගෙන රුයිතෙට ගිය ගමන කෙළවර උනෙත් මේ වගේම ඉල්ලන් පරිප්පු කෑමකින් බව අමතක නැහැනෙ මෛත්‍රි. ‘නටපු තොයිලෙකුත් නැත, බෙරේ පලුවකුත් නැත’ කිව්වා වගේ බැංකු මංකොල්ලෙන් තැවරිච්ච කුණු පැල්ලම විතරයි සිරි ලංකා පක්සෙටයි තමුන්නැහැටයි ඉතුරුවුණේ… නැද්ද ආයිබොවන්ඩ.

අන්තිමට යන එන මං නැති උනාට පස්සෙ පොහොට්ටු නැට්ටේ එල්ලිලා ඔහෙල නඬේම ගොඩ ගිය එක ගැන නං විලි ලැජ්ජෑවෙ බැහැ. හැබෑටම මෛත්‍රි, රාජපක්සලා මුන්නැහැව අඩි හයක් යට කොරන්ඩ බලං ඉන්නවා කියල නේද ඒ දවස්වල නාහෙන් අඬ අඬා උන්නෙ. අනේ ඉතිං ආප්පයක්, කෝපි උගුරක් වගෙ සොච්චං දෙයක් ඇරෙන්ඩ කොමිස් කුට්ටි වගේ හොර මැරකන් ගැන හීනෙකින්වත් නොහිතපු අපේ දාඩිය සුවඳ අඳුරන ගොවි පුත්තරය රැකගනිමු කියලනෙ නැති බැරි -ඇති හැකි උන් ඔක්කොම එකතු වෙලා තමුන්නැහැව රාජාසනේ ඉන්දෙව්වෙ.

එතන ඉඳල ඔහෙයි- රනිලුයි කොරපු කෙරුවාවෙ දිග පළල ඇබිංදන් එවුන් පවා දන්න හංදා ඒ පරණ රැකෝඞ් ආයෙ ආයෙත් වාදනය කොරන්නෙ මොන කෙංගෙඩියකටද? ඒ කොහොම උනත් රාජපක්සලාව පාරට බස්සන්ඩ පාරම් බාපු මෛත්‍රි ලොක්කා අන්තිමට පාරට බැස්සුවෙ අඩි හයේ ඉරණමෙන් තමුන්නැහැව ගලවාගත්තු හුදී ජනතාවම නේද..? හැබැයි ආයිබොවන්ඩ සිරිලංකා පක්සෙ ගොඩ ගන්න මුවාවෙන් තමුන්නැහැලා ආයෙත් අල්ලන්ඩ ලෑස්ති වෙන්නේ මොන වගේ කස්තිරමක්ද කියලා දැන්නං රටේ තොටේ කවුරුත් හොඳ හෝදිසියෙන් බලා ඉන්නේ.

අපි දැක්කා පහු ගිය දවසක පොහොට්ටු පොපෙසර් තමුන්නැහැ රටරටවලට ගතු කේලම් කියන එක ගැන දෝස්මුරයක් දාපු හැටි. ඔහේගේ මහාලේකම් දයාසිරි ගොයියගෙ මාද්දිය සන්දර්සනෙත් අපි බඩවල් අල්ලගෙන හිනා වෙවී රූප පෙට්ටියෙන් නැරඹුවා. තමුන්නහැලා ආයෙත් පොඩි අඩව්වක් අල්ලන්ඩ සූජානං වෙන්නේ රාජපක්සලා දිගටම පේල් කියන කතාව රට වටෙන්ම ඇහෙන්ඩ පටන්ගත්තට පස්සෙ නේද ආයිබොවන්ඩ. අපි ඕවට ගෑවිලවත් නැහැ කියලා ලකුණක්-දෙකක් දාගන්ඩ මිසක් ඕවා රටට ආදරේට කියන ඒවා නොවන බව දැන් කවුරුත් දන්නවා..

පහු ගිය දවස්වල දහනවය පැත්තකට විසික්කා කොරලා විස්ස ගේන කොට, පරණ නඩු ටික එක පිට එක නිදොස්කොට නිදහස් කොරන කොට, නෑ සනුහරේටයි ගජ මිත්තරයන්ටයි වරදාන පුදනකොට මුන්නැහැලා කාගෙවත් පපු කූඩු පත්තු උනේ නැත්තෙ ඒවා රත් වෙන්නේ තමන්ට අවාසියක් වෙනකොට විතරක් හන්දද ..? ඒ පුරස්නවලට කෙළින් උත්තර නොදී ‘හින්දුට’ තියා ‘රොයිටර්ට’ ගතු කේලම් කිව්වත් වැඩක් වෙන එකක් නැහැයි කියන එක මතක් කොරලා දෙන්ඩත් එක්කයි මේ ලියමන ලිව්වේ මෛත්‍රි●

විශ්ව මිත්‍ර

Leave A Reply

Your email address will not be published.

six + 15 =