අසමත් කවුද?

“විදුනැණ බලෙන් ලොව පරදනා

මිනිස් පවුර සදනා

රට දැය සදා මවිත කරන්නට

දුරදැක්මෙන් සිතනා..

බිය සැක නැති යුගයක් මවා

නැවුම් හෙටක් ගෙනෙනා

වෙනෙකකු නැති

ඔබ හැර අපේ අනාගතේ සදනා..

වැඩ කරන අපේ විරුවා…

පසුගිය කාලය පුරා නිතර අසන්නට ලැබුණු, වත්මන් ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ තේමා ගීතයේ කොටසක එසේ කියැවේ. සැබැවින්ම එයින් ජන අභිලාෂය වූයේ කුමක් ද යන්න කදිමට කියැවෙයි.

එහෙත් එසේ බලාපොරොත්තු තබාගෙන ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්කිරීමට දරදිය අදිනු ලැබූ පාර්ශ්ව බොහොමයක් අද බලවත් කනස්සල්ලට පත්ව සිටිනු දැකිය හැකි ය. ඇමති මණ්ඩලයේ කිහිප දෙනකු හැර බොහෝ දෙනෙක් මේ පිරිසට අයත් ය. පවතින තත්ත්වයෙන් රට ගොඩගත හැකිවෙනු ඇතැයි ද, විද්වත් පිරිස් වෙත රට භාර කෙරෙනු ඇතැයි ද බලාපොරොත්තු වූ වියතුන් වැඩි පිරිසක් අද මහත් කලකිරීමෙනි. ආණ්ඩුව බලයට ගෙන ඒමට පෙරමුණේම වැඩ කොටසක් සිදු කළ භික්ෂූන් වහන්සේලා ද අද මහත් කලකිරීමෙන් ද, කෝපයෙන් ද පසුවෙනු දැකිය හැකි ය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ “ආණ්ඩුවක් තිබෙන බව අපි දන්නවා. ඒත් අපි ඉන්න බව ආණ්ඩුව දන්නෙ නෑ” යනුවෙන් ය. තවත් හිමිනමක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ තමන් මේ ආණ්ඩුව පත් කළේ අනුරාධපුරේ ඥානක්කාට ඕනෑ විදියට රට පාලනය කරන්න නොවන බව ය. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලින් ද ඇත්තේ විවිධාකාර මැසිවිලි හා විරෝධතා ය. ආණ්ඩුවත් සමඟ එක්ව සිටින හිටපු ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රීලනිප පාර්ශ්වය ද ආණ්ඩුවේ ගමන ගැන ප්‍රසිද්ධ විවේචන කිරීමට පටන්ගෙන ඇත. ඒ අතර පොදු ජනතාව ද සිටින්නේ කබලෙන් ළිපට වැටී, හතේ හත වැදිලා ය.

මේ සියලු විරෝධයන්ගේ කේන්ද්‍රය බවට අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්ව තිබේ. සියලු ප්‍රකාශයන්ගේ හරය වන්නේ “ගෝඨාභය අසමත්” බව ය. එක් අතකින් බහුතරයක් ජනතාව එසේ සිතීම ගැන පුදුම නොවිය යුත්තේ, ඔහු කෙරෙහි එතරම් ප්‍රතිරූපයක් නිර්මාණය කර තිබීම නිසා ය. එහෙත් ප්‍රශ්නය එවැනි පටු අර්ථයකින් තේරුම් ගන්නවා වෙනුවට මෙය වඩා පුළුල්ව විමසා බැලිය යුතු බව අපේ අදහසයි.

සැබැවින්ම ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත නවලිබරල් ප්‍රතිපත්තියෙන් අබමල් රොණකවත් වෙනසක් වී නොමැති බව පැහැදිලි ය. පී. බී. ජයසුන්දර එහි එකම තීරකයා යැයි කීව ද එහි වරදක් නොමැත. එසේම තම ගජමිතුරන්ට ගජවාසි ගෙන දෙන පැරැණි පිළිවෙතේ ද කිසිදු වෙනසක් වී නැති බව මෑතක සිදුවීම් ගණනාවකින් පැහැදිලි විය. වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අතිවිශාල බලයක් හිමිව ඇත. 20වන සංශෝධනය හරහා සියලු බලය ජනාධිපති අතට ගෙන ඇත. මේ සියල්ල නිසා ආණ්ඩුවේ අතිශය වැරැදිසහගත තීරණවලට පවා පාර්ලිමේන්තුවේ බලපෑමක් නැති වී  තිබේ. එපමණක් නොව කැබිනට් ඇමතිවරුන්ගේ මැසිවිලිවලින් පෙනෙන්නේ සිදු වන බොහෝ දේ ගැන ඔවුන් ද නොදන්නා බව ය. මේ නිසා අද ආණ්ඩුවේ ආණ්ඩුකරණය ජනාධිපතිවරයා සමීපයේ සිටින ගජමිතුරන් කිහිප දෙනකුගේ කටයුත්තක් වී තිබේ. එය අන්ත දක්ෂිණාංශික, මිලිටරි, ඒකාධිපති ස්වභාවයක් දක්වා යමින් තිබෙන අතර, මිථ්‍යාවන් ද ඇතුළු වූ ගෝත්‍රික ස්වරූපයකින් කටයුතු කරන්නක් ද වී තිබේ.

ඒ නිසා අසාර්ථක වී ඇත්තේ, ‘ගෝඨාභය රාජපක්ෂ’ ලෙස ගැනීම බරපතළ වරද්දා ගැනීමකි. අසාර්ථක වන්නේ අන් කවරක්වත් නොව ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරන ක්‍රමවේදයයි. එය හරයාත්මකව ගත් කල මෙතෙක් පැවැති ක්‍රමවේදයම ය. සමාජ විෂමතාව තව දුරටත් රකින, සමාජ අසාධාරණය තව දුරටත් රකින, කිහිප දෙනෙක් අත ධනය හා බලය කේන්ද්‍රගත වන ක්‍රමවේදයකට කිසිදු සමාජ ප්‍රශ්නයක් අබමල් රොණකින් හෝ විසඳිය නොහැකි බව එක වරක් නොව වාර ගණනාවක් ඔප්පු කර අවසන් ය. දැන්වත් මේ නවලිබරල්වාදී එමෙන්ම ගෝත්‍රික අසූචි වළෙන් ද ගොඩ ආ යුතු ය.

නව ලිබරල්වාදයටත්, අධිරාජ්‍යවාදයටත් එරෙහි සමාජ සාධාරණත්වය සඳහා වූ  සැබෑ ජන බලවේගය ශක්තිමත් කළ යුතු ය. විදුනැණ බලෙන් ලොව පරදනා මිනිස් පවුර සෑදිය හැක්කේත්, වැඩ කරන සැබෑ විරුවන් මතු වන්නේත් ඒ තුළින් පමණකි●

Leave A Reply

Your email address will not be published.

12 − 2 =